Print this Article


විමාන වත්ථු කථා පුවත් 06

පිපාසිත වූ භික්‍ෂූන් වහන්සේලාට පැන් පූජා කිරීමෙන් නැව් විමන් ලත්

දෙවඟනගේ කථා පුවත

ඒ වස්සාන කාලයේ අවසන් සතියයි. බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වැඩ වෙසෙන සමයක භික්‍ෂුන් වහන්සේලා දහසය නමක් ඈත පිටිසර ගම්බද ප්‍රදේශයක වස් වසා සිටියහ. වස් කාලය නිමා වූ නිසා බුදුරදුන් බැහැදැකීම සඳහා සැවැත්නුවරට යාමට උන්වහන්සේලා කතිකා කර ගත්හ. වස් කාලය තුළ තමන් ගත් අත්දැකීම් උන්වහන්සේට දැනුම් දීමත් තම ධර්ම ඥානය වර්ධනය කර ගැනීම සඳහා ධර්මාවවාද ලබාගැනීමත් උන්වහන්සේලාගේ අපේක්‍ෂාව විය.

සැවැත්නුවර බලා යන ගමන ඉතා දුෂ්කර එකක් විය. එක අතකින් දිගු දුරක් ගෙවිය යුතුය.අනික් අතින් ගමන් මඟ වැටී ඇත්තේ වාලුකා කාන්තාරයක් හරහාය. කාලගුණය අතිශයින් උණුසුම් විය. මේ නිසා උන්වහන්සේලාට මුහුණදෙන්නට සිදු වූයේ අනපේක්‍ෂිත අසීරුතාවයකටය. ආහාර හිඟය දැරිය හැකි වුවද ජල හිඟය දැරිය නොහැකි තරම් උග්‍ර විය. ජලය ලබා ගත හැකි මගක් නො වූයෙන්ද, උන්වහන්සේලා සතුව තිබූ ජලය අවසන්වී තිබූ හෙයින්ද බීමට තබා තොලකට තෙමා ගැනීමට තරම්වත් ජලය නොවීය.පිපාසය දැරිය නො හැකි තරම් දැඩිවුවද දිය බිඳක් ලබා ගත හැකි මගක් නොවීය.වරින් වර ක්ලාන්තව ඇද වැටෙමින් ද ඉදිරියට යා නොහැකි තරම් දුර්වලවීම නිසා තැන තැන නතරවෙමින් ද ඉදිරියට ගමන් කළ උන්වහන්සේලා ගම්මානයක සීමාවට පැමිණෙන විට දැඩිලෙස හෙම්බත් ව සිටියහ. ජලය නොලදහොත් පිපාසාවෙන් මිය යන තරමට උන්වහන්සේලා දුර්වලව සිටියහ.

කළයක් රැගෙන යන එක්තරා ස්ත්‍රියක් උන්වහන්සේලාට දකින්නට ලැබුණේ එබඳු පීඩාකාරි තත්වයක් යටතේය. කළයක් රැගෙන යන්නේ දිය ගෙන ඒමට බව වටහාගත් උන්වහන්සේලා ඉතා අපහසුවෙන් වුණත් නොපමාව එම ස්ත්‍රිය පසු පස ගියහ. සිතූ පරිදිම ඇය ගියේ නිල්වන් පිරිසුදු දියෙන් පිරි ළිඳක් වෙතයි.ඇය තම කළයට දිය පුරවා ගන්නා තුරු උන්වහන්සේලා ළිද අසළ රැඳී සිටියහ. දිය පුරවාගත් කළය උකුළට ගත් කාන්තාව ආපසු නිවෙස බලා එන්නට සූදානම් වෙද්දී, ළිඳ සමීපයෙහි වැඩ සිටින භික්‍ෂූන් දැක, මහත් ශ්‍රද්ධාවෙන් උන්වහන්සේලා වෙත පැමිණියාය.

අධික පීඩාවට පත්ව සිටි උන්වහන්සේලාගේ මුහුණුවලිනුත්, ශාරීරික ඉරියවු වලිනුත් නියත වශයෙන්ම උන්වහන්සේලා දිය පිපාසයෙන් පීඩාවට පත් ව සිටින බව අවබෝධ කර ගත් ඇය, වහා උන්වහන්සේලා වෙත සමීප ව ජලය පිළිගැන්වීමට කල්පනා කළාය.

භික්‍ෂූන් වහන්සේලා පසුම්බියෙන් පාත්‍රය ගෙන පෙරහන් කඩින් දිය පෙරා සිත් සේ පැන් පානය කොට පිපාසය සන්සිඳුවා ගෙන ඇයට පුණ්‍යානුමෝදනා කොට සැවැත්නුවර බලා නික්මුණාහ. වතුර කළයකින් දිය ස්වල්පයක් තවත් කෙනෙකුට දීම ඉතා සුලු දෙයක් වුවත් අවස්ථාවේ හැටියට ඇය කළ පැන් පූජාව මිල කළ නො හැකි තරම් උතුම් පින්කමක් විය. යමක් ලැබිය යුත්තේ එය අත්‍යවශ්‍ය තැනැත්තාටය.

එබඳු දීමනාව සර්ව ප්‍රකාරයෙන්ම අර්ථවත් වන්නේය. භික්‍ෂූහු පිපාසයෙන් පරිපීඩිතව සිටියහ. ඒ අවස්ථාවේ දී උන්වහන්සේලාට අත්‍යවශ්‍ය දේ ජලයයි.වෙන කවර පුජාවක් හෝ ඒ අවස්ථාවට වැදගත් නොවේ. ඒ අනුව තමන් කර ගත්තේ මහත්පල මහානිශංසදායි දුර්ලභ පින්කමක් බව වටහා ගත් ඇය නිරන්තරයෙන් ම එය සිහිපත් කරමින් අධිකතර පී‍්‍රති ප්‍රමෝදයට පත්වුවාය.

කර්මානුරූප ව මිය පරලොව ගිය ඇය, නිදා පිබිදීයාක මෙන් එකී පින් බලයෙන් තව්තිසා දෙව්ලොව මහාර්ථ වූ දිව්‍ය විමානයක් පහළ වූවාය. එය සිතු පැතු සම්පත් දෙන කල්ප වෘක්‍ෂයක් මෙන් දිව්‍ය ඓශ්චර්යයෙන් පිරී තිබිණ. දිව්‍ය විමානය වඩා මනහර ගංගාවකි. සුදෝසුදු වැලිතලාවෙන් බබලන ඒ ගඟ පස්වනක් පියුමෙන් සැදි තිබිණ. ඇගේ දෙව් විමනෙහි විශේෂත්වය වූයේ ඈ වෙනුවෙන් ම පහළ වූ ස්වර්ණමය නෞකාවක් ඒ ගංගාවෙහි තිබීමයි. දිව්‍යමය සැප සම්පත් භුක්ති විඳිමින් ද නෞකාවෙහි නැගි සිත්සේ ප්‍රීතිවෙමින් ද ඈ ඉතා සතුටින් කාලය ගත කළාය.

අනෙක් දෙවඟනන්ට වඩා වෙනස් දිව ඉසුරු විඳින දිව්‍යාංගනාව සිරිත් පරිදි දෙව්ලොව චාරිකාවෙහි යෙදුණු මුගලන් මහරතන් වහන්සේට එක් අවස්ථාවක දී දක්නට ලැබිණ. එබඳු විශේෂිත දිව්‍ය ඓශ්චර්යක් භුක්ති විඳින ඇයගේ වතගොත දැන ගනු රිසියෙන් ඇයට පෙනෙන ඉසව්වකට වී උන්වහන්සේ වැඩ සිටියේ ඇගේ අවධානය යොමු කර ගැනීම සඳහාය. සංසාරගත පුරුද්ද ලෙසින්ම අතිමහත් සංඝ ගෞරවයෙන් යුතු ඇය, මුගලන් මහතෙරුන් වැඩ සිටිනු දුටු වහා ම එහි පැමිණ වැඳ එකත් පස්ව සිටියාය. අනතුරුව උන්වහන්සේ ඇගෙන් මෙසේ විචාළහ.

පින්වත් දේව දියණියෙනි, ඔබ අනිකුත් දෙවඟනන් අතර විශේෂයෙන් කැපී පෙනෙන දිව්‍ය ඓශ්චර්යයක් භුක්ති විඳින්නෙහිය. රූප ශෝභාවෙන් අගතැන්පත්ය. සිතු පැතූ සම්පත්තියෙන් ආඪ්‍යය. සුන්දරත්වයෙන් සපිරි මනහර ගංගාවකින්ද සුවපහසු නෞකාවකින්ද ඔබේ දිව්‍ය විමානය ශෝභමානය. මෙබඳු මහත් දිව්‍ය ඓශ්චාර්යයක් ලබන්නට මිනිස්ලොව දී කවර නම් පින්කමක් කරන ලද්දේ ද? සම්පත්තියෙන් උද්දාමයට පත්ව සිටි ඇය. උන්වහන්සේගේ ප්‍රශ්නයෙන් වඩාත් උද්දාමයට පත්ව,තමන් මිනිස් ලොව දී කළ පින්කම් මහත් සතුටින් විස්තර වශයෙන් ප්‍රකාශ කළාය.

ස්වාමීනි මේ සා මහත් වූ දිව්‍ය ඓශ්චාර්යයක් ලැබීමට මා කළ අන් පින්කමක් නෑ. ම විසින් කරන ලද්දේ පිපාසාවෙන් පරිපීඩිතව සිටි භික්‍ෂූන් වෙත සැදැහැසිතින් පැන් පූජා කිරීම පමණකි” ඇගේ ප්‍රකාශය මුල් කර ගනිමින් රැස් ව සිටි පිරිසට දහම් දෙසූ මුගලන් මහ රහතන් වහන්සේ, පෙරළා මිනිස් ලොවට වැඩම කිරීමෙන් පසු මේ පුවත බුදුරජාණන් වහන්සේට සැළ කළහ. ඒ ප්‍රවෘත්තිය මාතෘකා කර ගනිමින් බුදුරජාණන් වහන්සේ විහාරයට රැස් ව සිටි පිරිසට කළ ධර්ම දේශනය බොහෝ දෙනාගේ මෙලොව පරලොව සුබ සිද්ධියට ඉවහල් විය.