UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොරැල්ල අතුල දස්සන බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික පාරමිතා පෙරහර

බොරැල්ල අතුල දස්සන බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික පාරමිතා පෙරහර

බොරැල්ල අතුල දස්සන බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික ‘පාරමිතා පෙරහර’ 21 වෙනි වරටත් මැදින් පුරපසළොස්වක පොහෝ දින අත්‍යාලංකාරයෙන් පැවැත්වේ.

බොරැල්ල චන්ද්‍රාලේකා මාවතේ භික්‍ෂු ගිලානොපස්ථාන විහාරය, ‘අතුල දස්සන’ බෞද්ධ මධ්‍යස්ථානය, දෙහිඅත්තකණ්ඩිය දොළකන්ද ශ්‍රී සම්බෝධි විහාරය යන විහාරත්‍රයාධිපති, බුද්ධශාසන කීර්ති ශ්‍රී සද්ධර්ම භාණක ත්‍රිපිටකාචාර්ය ශ්‍රී සද්ධර්ම වාගීශ්වර ශ්‍රී සිද්ධාර්ථ මේධාලංකාර වංසාවතංස බොරැල්ලේ අතුල නාහිමිපාණන්ගේ මාර්ගෝපදේශකත්වය යටතේ මෙම පාරමිතා පෙරහර පැවැත්වේ.

1993 පුංචි මල් පෙරහරකින් ආරම්භ වූ පාරමිතා පෙරහර උඩරට පහතරට නැටුම් ආදියෙන් ද අලි ඇතුන් සහිත පෞරාණික සියලු සංස්කෘතිකාංගයන්ගෙන් ද සමන්විත පෙරහරක් බවට පත් වී ඇත. බුදුදහම, බෞද්ධ සංස්කෘතිය හා බැඳී පවතින වෙසක්, පොසොන්, ඇසළ ආදී පොහෝදිනයන්හි විවිධ පෙරහර මෙන්ම නොයෙක් විහාරස්ථාන සමිති සමාගම්, කේන්ද්‍රස්ථාන කොට ගෙන පවතී. එහෙත් ‘පාරමිතා පෙරහර’ සම්මා සම්බුදුවරයකු ලොව පහළ කරන බුද්ධකාරක ධර්මයන් හෙවත් දසපාරමිතා ධර්ම පදනම් කොට පැවැත්වෙන පෙරහරකි. සම්‍යක් සම්බෝධිය, ප්‍රත්‍යෙක සම්බෝධිය, ශ්‍රාවක බෝධිය, යන තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පත්ව නිර්වාණාවබෝධය ලැබිය හැකි බව ථෙරවාදී බුද්ධ ධර්මයේ සඳහන් වේ. එවන් උත්තම බුද්ධකාරක ධර්මයකට උපහාරයක් වශයෙන් මෙම පෙරහර පැවැත්වේ.

සංසාර සාගරයෙන් එතෙරව බෞද්ධයා ලබන උතුම් ධර්මතාව නිවනයි. දහමින් උගන්වන එම ධර්මතාව පිළිබඳ යථාර්ථය මනසින් ආවර්ජනය කිරීමට මෙම පාරමිතා පෙරහර මහඟු අවස්ථාවකි. බුදුදහමින් ඉගැන්වෙන එසේම සියලු දුක් කෙළවරවන නිර්වාණාවබෝධයට මූලික පදනම වූ පාරමිතා සම්බන්ධ පෙරහර විශේෂවූවක් බව සඳහන් කළ හැකිය.

බොරැල්ලේ අතුල නාහිමියන්ගේ මූලිකත්වයෙන් පවත්වනු ලබන සෙංකඩගල පුරවරයේ දළදා සමිඳුන් උදෙසා පැවැත්වෙන පූජෝපහාරයත් සැදැහැතියන් සම්බන්ධකොට පැවැත්වෙන වාර්ෂික දාන පින්කමත්, ශ්‍රී ලංකාවේ ඓතිහාසික පූජනීයස්ථානයන් ආදී සිද්ධස්ථානයන් කේන්ද්‍රකොටගෙන වාර්ෂිකව පැවැත්වෙන නෙළුම්මල් පූජාව ආදී පින්කම් ද අපමණ ය.

අතුල නාහිමියන්ට පාරමිතා පෙරහර ආදී සත්කාර්යයන් විචිත්‍රලෙස පවත්වාගැනීමට දායක සභාව, කුලඟන සමිතිය, ශ්‍රී ඤාණාලංකාර ධර්ම විද්‍යාලයයේ ආචාර්ය ශිෂ්‍ය දෙපක්‍ෂය, ප්‍රාදේශීය සභා, පළාත් සභා, නාගරික මන්ත්‍රීවරුන්, පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් සහ වෙනත් ප්‍රභූන්ගෙන් ලැබෙන නොමද සහයෝගය මහත් ශක්තියකි. මේ සියලු සංවිධානයන්ට සමගාමීව මෙම සත්කාර්යයන්ට හිතෛෂී වැඩවෙසෙන ස්වාමීන් වහන්සේලාත්, පැවිදි ශිෂ්‍යයන් වහන්සේලාගෙන් ලැබෙන අනුබලයද මහත් වාසනාවකි. ශ්‍රී ඤාණාලංකාර ධර්ම විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති බෝගහවැව රතන හිමි, ලන්ඩන් අතුලදස්සන බෞද්ධ මධ්‍යස්ථානයේ වඳුරඹ කස්සප හිමි ආදී ශිෂ්‍යවරයන් මහත් ආලෝකයකි. මාර්තු 26 වෙනි දින මෙම පාරමිතා පෙරහර පැවැත්වේ.

 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු මස 26 වැනිදා අඟහරුවාදා අපරභාග 04.22 ට ලබයි.
27 වැනි දා බදාදා අපරභාග 02.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මාර්තු මස 26 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
අප්‍රේල් 03 වැනිදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 26

Second Quarterඅව අටවක

අප්‍රේල් 03

New Moonඅමාවක

අප්‍රේල් 09

First Quarterපුර අටවක

අප්‍රේල් 18


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]