Print this Article


හිත මිතුරු ගුණ පිරුණු දැහැමි සමාජය

සමාජ ප්‍රගතිය යනු ඔවුනොවුන් සතු යුතුකම් සහ වගකීම් මැනැවින් ඉටුකිරීම බව පැහැදිලිය. යහපත් සමාජයක් උදෙසා දේශිත බුදුදහම නිරන්තරයෙන්ම අවධාරණය කළේ පුද්ගලයාගේ ධාර්මික පැවැත්මයි. පුද්ගලයා යහපත් නම් නිතැතින්ම සමාජය ද යහපත් වනු ඇත. බුදුන් වහන්සේ මුළුමහත් සමාජයම එක්වර හදන්නට උත්සාහ කළේ නැත. පුද්ගලයා හැදුනහොත් සමාජය ද හැදෙනබව උන්වහන්සේගේ පිළිගැනීම විය.

පුද්ගලයා හා සමාජය පිළිබඳ විවිධ මතිමතාන්තර අතීතයේ සිටම අප අතර පවතී. සමාජය යනු පුද්ගලයන්ගේ එකතුවකි. පුද්ගලාන්තර සම්බන්ධයක් නැතිනම් සමාජයක් ඇති නොවේ. පුද්ගලයා හා සමාජය වෙන් කළ නොහැකිය.මේ පිළිබඳ සමාජ විද්‍යාඥයෝ විවිධ මත පළ කරති. සමාජගත පුද්ගලයාගේ පැවැත්ම, ගමන්මඟ , චර්යාව සහ අපේක්‍ෂා ආදිය සොයා බලා විමසන්නේ සමාජ විද්‍යාඥයන්ය. ඔවුන් අතර ඇරිස්ටෝටල්, සී.එච්.කුලි සහ මාගරට් මීඩ් වැනි අය කැපී පෙනෙති. සී.එච්. කුලී නම් සමාජ විද්‍යාඥයා පුද්ගලයා හා සමාජය යනුවෙන් අදහස් වන්නේ වෙන් වෙන් සිද්ධි දෙකක් නොව එකම දේ එකතුව බෙදී තිබෙන අවස්ථාන්තර දෙකක් ලෙස පෙන්වා දේ.

නූතන සමාජ විද්‍යාඥයන්ට ගුරු කොට ගත හැකි අදහස් සමූහයක් පුද්ගලයා හා සමාජය පිළිබඳ බුදුන් වහන්සේ ඉදරිපත් කොට ඇත. ගැඹුරින් විමසන විට එබඳු චින්තනයක් ඉදිරිපත් කළ වෙනත් ශාස්තෘවරයකු ලොව නැත. සාමාන්‍ය සමාජීය පසුබිම දෙස බලන විට වෙනත් බොහෝ ආගම්වල උගන්වා ඇත්තේ අසාධාරණ වර්ගීකරණයන්ය. එහෙත් බුදුදහම ඒවා ප්‍රතික්‍ෂේප කොට තිබේ.

නිදසුනක් ලෙස, බමුණන්ගේ සමාජ වර්ගීකරණය කිරීම බුදුදහමේ විවේචනයට මෙන්ම ප්‍රතික්‍ෂේප වීමටද භාජනය වේ. බමුණන් විසින් බ්‍රාහ්මණ, ක්‍ෂත්‍රිය, වෛශ්‍ය සහ ශුද්‍ර යනුවෙන් බාහිර අංග ලක්‍ෂණයන් තුළ මිනිසා භේදභින්න කරනු ලැබ තිබුණි. එය හේතු සාධක සහිතව බුදුසමය තුළ ප්‍රතික්‍ෂේප වේ. එබඳු බෙදීමක් අසාධාරණ බවත් සැබෑ සමාජ සම්බන්ධයක් සහ යහපත් මානුෂීය පසුබිමක් ගොඩනැඟෙනුයේ පිරිපුන් මානුෂීය ආචාර ධර්ම පද්ධතියක් ගුරු කොට ගැනීමෙන් බවත් බුදුන් වහන්සේ උගන්වා තිබේ.

බුදුදහම සමාජ සංස්ථා ගැන අවධානය යොමුකොට ඇත. මුළු මහත් සමාජය ගිහි සමාජය සහ පැවිදි සමාජය වශයෙන් ද අනතුරුව භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක සහ උපාසිකා වශයෙන් ද සලකා කටයුතු කොට ඇත. පුද්ගලයා හා සමාජය අතර දැඩි සම්බන්ධයක් පවතින බැව් බුදුදහම පිළිගනී. පුද්ගලයා උපතින්ම පවුල නමැති සමාජයේ සාමාජිකයෙකි.වයස මුහුකුරා යද්දී මොහු පාසල, පන්සල ආදී ආයතන සමඟ ද විවිධ සමිති සමාගම් වලද සබඳතා ඇති කර ගනී.

පුද්ගලයා නිශ්චිත අරමුණක් ඇතිව නීති - රීති පද්ධතියකට අනුව ජීවත්වීම සිදුවේ. සමාජයේ යුතුකම්, වගකීම් සහ සුහදශීලි විවෘතභාවය මුල්කරගෙන සංවර්ධනීය පිරිපුන් සමාජයක් නිර්මාණයවන බව සිඟාලෝවාද සූත්‍රයේදි මැනැවින් පෙන්වා දී තිබේ.එබඳු යහපත් සමාජයක් උදෙසා යුතුකම් හා වගකීම්,ආචාරධර්ම සහ පාලනමය ප්‍රතිපත්ති මනාව සුරැකීම සිදු විය යුතුය. එසේම සාමූහිකව නැඟී සිටීම, පිරිසුදු විවෘත භාවය පවත්වා ගැනීම, උත්සාහය, වීර්යය, ප්‍රඥාව සහ ත්‍යාගවන්ත බව ආදී ගුණාංග වර්ධනය කරගැනීමත් අත්‍යවශ්‍ය වේ.

සිඟාලෝවාද සූත්‍රයේදී සමාජ පුද්ගලවර්ගීකරණය කිරීමෙහිදී මවුපිය - දූ දරු, ගුරු - ශිෂ්‍ය, ස්වාමි - භාර්යා, සේව්‍ය - සේවක සහ ගිහි - පැවිදි ආදි වශයෙන් විවිධ සමාජිය පැති කඩ පිළිබඳ සාකච්ඡා කොට තිබේ. සමාජයේ ජීවත් වන ඕනෑම පුද්ගලයකු සිඟාලෝවාද සූත්‍රයෙහි උගන්වන සමාජ සංස්ථාවන්ගෙන් එකකට හෝ අනිවාර්යයෙන්ම අයත්වේ.සිඟාලෝවාද සූත්‍රය සමාජ සම්බන්ධතා පිළිබඳ අපූරු වූ සංකලනයක් පදනම් කරගත් සමාජීය ගුණධර්ම මාලාවක් ලෙස දැක්විය හැකිය.

බුදුසමය අවධාරණය කරන සමාජීය යුතුකම් සහ වගකීම් සමාජයේ දියුණුව සහ සුබසිද්ධිය ඇති කරන්නේය. සිඟාලෝවාද සූත්‍රය පමණක් නොව පරාභවසුත්‍රය, මංගල සූත්‍රය, වසලසූත්‍රය, ව්‍යග්ඝපජ්ජ සුත්‍රය,වාසෙට්ඨ සූත්‍රය සහ චක්කවත්ති සීහනාද සූත්‍රය වැනි සූත්‍රදේශනාද සමාජ ධාර්මිකත්වය සහ යහ කළමනාකරණය උගන්වා ඇති සූත්‍ර දේශනයන්ය. මේවායින් මූලික වශයෙන්ම බලාපොරොත්තු වී ඇත්තේ සමාජ ප්‍රගතියයි. යහපත් පුද්ගල සම්බන්ධතාවයි. බුදුදහමෙන් අපේක්‍ෂා කරන අවසාන ඉලක්කය වන පුද්ගල විමුක්තිය සඳහා එබඳු යහපැවැත්මක් අනුබල දෙයි.

මෙලොව ජීවිතය අසාර්ථක නම් පරලොව ජීවිතය සාර්ථක විය නොහැකිය. දෙලොව සාර්ථක පුද්ගලයාගේ විමුක්තිය ලාභය ඉක්මන්වේ. ප්‍රමාදි බව මැඩ අප්‍රමාදි බව වැඩේ.

විමුක්තිය ලැබූ බුදුන් වහන්සේ නගර, ගම්, නියම්ගම් සැරිසරමින් සමාජයේ නොගැටෙමින් ජීවත් වූ බව පෙනේ. සමාජගත පුද්ගලයකුට විවිධ සමාජ සංස්ථා සමඟ සම්බන්ධතා පැවැත්වීමට සිදු වේ. පුද්ගලයාට ළමා ජීවිතය, වෘත්තීය ජීවිතය, විවාහ ජීවිතය, ආගමික ජීවිතය, සාමාජීය ජීවිතය සහ දේශපාලන ජීවිතය ආදි විවිධ ජීවිත අවස්ථා ඇත. එහිදී ඔහුට මවුපියන්, ගුරුවරුන්, ඥාතීන් සහ හිත මිත්‍රයන් ආදින් ඇසුරු කරන්නට සිදුවේ. මෙසේ එකිනෙකා සමඟ ඇති කර ගන්නා සම්බන්ධතා දැහැමි විය යුතු වේ.

ධාර්මික සම්බන්ධතා පවත්වා ගෙන යෑමට පරාභව ආදි සූත්‍ර රැසක් අපට උපදෙස් ලබාදෙයි. ගාථා 25 කින් යුක්ත පරාභව සූත්‍රය මිනිසා පිරිහෙන කරුණු 21 ක් දක්වයි. ඒ කරුණු අතරට යහපත් ධර්මය අපි‍්‍රය කිරීම, අසද්පුරුෂයන් පි‍්‍රය කිරීම, සද්පුරුෂයන් අපි‍්‍රය කිරීම, අසද් ධර්මයට කැමැති වීම, නිදන සුළු බව, දොඩමළු බව, වීර්යෙන් තොරවීම, අලසකම, ක්‍රෝධ කිරීම, මවුපියන්ට නොසැලකීම, මහණ බමුණන්ට වංචා කිරීම, ආහාරයෙහි ගිජුකම, ජාති කුල ගෝත්‍ර පිළිබඳ උඩඟුව, ස්ත්‍රීලොල් බව, සුරාලොල් බව, දූ කෙළිය, මහල්ලකු තරුණියක සරණ පාවා ගැනීම, අරපිරිමැස්ම නැති අයකු ප්‍රධානියකු බවට පත් කර ගැනීම සහ පහත් කුලයක ඉපිද දුප්පතකුව රජකම පැතීම යනාදිය ඇතුළත් වේ. ධාර්මික සමාජ සබඳතාවක් ඇතිවීමට මේ දුසිරිත්වලින් වැළැකී සිටිය යුතුය. නරක මිනිසුන් ඇසුරු කිරීම නිසා පුද්ගලයා පිරිහෙන බව අපි දනිමු. මවුපියන්ට නොසැලකීම නිසා සමාජයේ ප්‍රශ්න රැසක් ඇතිවේ. සමාජ සංස්ථාවේ මූලික ඒකකයවූ පවුල් සංස්ථාව සුරක්‍ෂිත කර ගැනීමට අඹුසැමියන් අතර අන්‍යෝන්‍ය විශ්වාස තිබිය යුතුය.පිරිහෙන කරුණු පිටුදැකීමෙන් පුද්ගල ජීවිතය සාර්ථක වන බව හොඳින් අනාවරණය වේ.

සැවැත්නුවර අග්ගික භාරද්වාජ බමුණා ගිනි දෙවියන් පිදීමේ යෙදී සිටියදී ඔහු හමුවීමට වැඩම කළ බුදුන්වහන්සේට බමුණා බැණ වැදුණේය.බුදුන් වහන්සේ වසලයකු ලෙස හැඳින්වීය. ඒ සියල්ල අසා සිටි බුදුන් වහන්සේ වසලයකු වීම සඳහා බලපාන හේතු දන්නේ දැයි බමුණාගෙන් විමසූහ. ඔහු නොදත් බව කීය. ඔහු උදෙසා දේශනා කළ සූත්‍රය වසල සූත්‍රයයි. ගාථා 27කින් වසල කරුණු 31 ක් මෙහි ප්‍රකාශ කෙරේ. වසලසූත්‍රයේ දැක්වෙන වසල කරුණු අතහැරීමෙන් මනා සමාජ සම්බන්ධතා පවත්වාගත හැකිය.

කොධනො උපනාභි ච
පාපමක්‍ඛි යො නරො
විජනන දිට්ඨි මායාවි
තං ජඤ්ඤා වසලෝ ඉති...

මෙයින් කියැවෙන්නේ කිපෙන සුළු බව,බද්ධ වෛරය, පවිටු ගුණමකු ගතිය, මිසදිටු බව සහ තම වරද වසන මායා ගුණයෙන් යුක්ත වීම ආදිය වසල කාරණා බවයි. මේ කරුණුවලින් යුක්ත පුද්ගලයාට සමාජ සම්බන්ධතා පැවැත්වීම ඉතා අපහසු බව කිව යුතු නැත. මෙපමණක් නොව ප්‍රාණීන්ට හිංසා කිරීම, ප්‍රාණීන්ට දයාවක් නැතිබව, ගම්නියම් ගම් වැනසීම, පැහැර ගැනීම,කලබල ඇති කිරීම, අන්සතු දෙයක් තමා සතු කර ගැනීම, ණයට ගෙන නොදී සිටීම, මගීන්ට හිංසා පීඩා කොට මුදල් පැහැර ගැනීම ආදිය තවත් වසල ලක්‍ෂණ වේ.එසේම බොරු සාක්‍ෂි දීම, පර අඹුවන් කරා යෑම, වයස්ගත මවුපියන්ට නොසැලකීම, මවුපියන්ට සහෝදර සහෝදරියන්ට පරුෂ වචනයෙන් බැණීම, යමක් ඇසූ කල්හි බොරුවෙන් රැවටීම, හොරෙන් පව් කිරීම,මහණ බමුණන් බොරුවෙන් රැවටීම සහ කෑම ගන්නා විට පැමිණී අය පරුෂ වචනයෙන් බැණ පන්නා දැමීම යනාදිය වසල කාරණා ලෙස දක්වයි. තවද මානයෙන් යුතුව තමා උසස්කොට අන්‍යයන් පහත් කොට සැලකීමත් වසල ගුණයකි. එපමණක් නොව තද මසුරු කමින් යුක්ත වීම, පවිටු ගතිවලින් යුක්ත වීම සහ ලජ්ජා බය නැතිකමත් වසල ලක්ෂණ වේ. යමකු බුදුන්ට හෝ ශ්‍රාවකයන්ට හෝ එසේම ගිහියන්ට පහත් ලෙස කතා කරයි ද රහත් නොවී රහත් බව ප්‍රකාශ කරයි ද ඔහු වසලයෙකි. මේ ආදි වශයෙන් වසල කරුණු 31ක් මේ සූත්‍රයේ දක්වා ඇත. මේ කරුණු විමසීමෙන් පුද්ගල චරිතය කෙලෙසීමට මේ සැම කරුණක්ම අදාළ බව පෙනේ.මේවායින් වැළැකී සිටීම පුද්ගලයා පූජාවට සුදුස්සකු කරයි.

බුදුන්වහන්සේ කෝලිය ජනපදයේ කක්කරපත්ත නියම් ගමෙහි වාසය කරන කල්හි දීඝජානු කෝලිය පුත්‍රයා බුදුන් වෙත පැමිණියේය.දෙලොව දියණුවට අදාළ පිළිවෙතක් ඇත්නම් පැහැදිලි කරන ලෙස ඔහු අයැද සිටියේය. ඒ අනුව දෙසන ලද සූත්‍රය ව්‍යග්ඝපජ්ජ සූත්‍රයයි. පුද්ගලාන්තර සම්බන්ධය මනාව පවත්වා ගැනීමට අදාළ උපදෙස් රැසක් එහි ද දැක්වේ.මෙලොව දියණුව සඳහා අදාළ කරුණු සතරක් එහි දක්වා ඇත. උට්ඨානසම්පදා, කල්‍යාණමිත්තතා, ආරක්ක සම්පදා, සමජීවිකතා යනු ඒ සතරයි. පරලොව යහපතට අදාළ කරුණු ලෙස එහි දක්වා ඇත්තේ ශ්‍රද්ධා, සීල, චාග, පඤ්ඤා යන සතරයි.මෙලොව ජීවිතය සාර්ථක කර ගැනීමට උත්සාහය තිබිය යුතු බව ඉතා පැහැදිලිය. උත්සාහයෙන් ධාර්මිකව උපයන ධනය රජුන්ගෙන්,සොරුන්ගෙන් ,ජලයෙන් සහ ගින්නෙන් රැකගත යුතුය. සමාජ ජීවිතයේදී හොඳ මිතුරන් අසුරු නොකළහොත් පුද්ගලයා පිරිහේ. උපයන ප්‍රමාණය අනුව වියදම් නොකළහොත් ඔහු ණයකාරයකු වී සමාජයේ නින්දාවට පත්වේ .මේ අනුව ක්‍රියා කිරීමෙන් ඕනෑම පුද්ගලයකුගේ මෙලොව ජීවිතය සාර්ථක වේ. එමඟින් සමාජ සම්බන්ධතා මනාව තහවුරුවේ. පරලොව ජීවිතයත් සාර්ථක කර ගැනීමට පුද්ගලයා කය, වචනය,දෙකින් සංවර වියයුතුය.එය ශීලයයි. බුදුන් ,දහම්,සඟුන් කෙරෙහි අවබෝධාත්මක විශ්වාසය ශ්‍රද්ධාවයි. පරිත්‍යාගය නැති අයකුට මනා සමාජ සම්බන්ධතා ඇති කර ගත නොහැකිය. ශිල්ප ශාස්ත්‍රවලින් ලබන ප්‍රඥාවත් ලෝකය ඇති සැටියෙන් තේරුම් ගැනීමේ ප්‍රඥාවත් නැති අය මෙලොවත් පරලොවත් දෙලොවම පිරිහේ. මේ අනුව පෙනෙන්නේ ව්‍යග්ඝ පජ්ජ සූත්‍රයෙන් මනා ධාර්මික සම්බන්ධතාවයක් ඇති කරවන බවයි.

සමාජ ප්‍රගතිය යනු ඔවුනොවුන් සතු යුතුකම් සහ වගකීම් මැනැවින් ඉටුකිරීම බව පැහැදිලිය. යහපත් සමාජයක් උදෙසා දේශිත බුදුදහම නිරන්තරයෙන්ම අවධාරණය කළේ පුද්ගලයාගේ ධාර්මික පැවැත්මයි. පුද්ගලයා යහපත් නම් නිතැතින්ම සමාජය ද යහපත් වනු ඇත. බුදුන් වහන්සේ මුළුමහත් සමාජයම එක්වර හදන්නට උත්සාහ කළේ නැත. පුද්ගලයා හැදුනහොත් සමාජය ද හැදෙනබව උන්වහන්සේගේ පිළිගැනීම විය. පුද්ගල යහපත උදෙසා පුද්ගලයාගේ ගිහි ජීවිතය එනම් කාමභෝගි ජීවිතය නිවැරැදි දිශාව ඔස්සේ ගමන් කරවීම සඳහා දේශපාලන, ආර්ථික, ආගමික, සාමාජික වශයෙන් සමාජයේ නොයෙක් පැතිකඩ සලකා බලමින් උන්වහන්සේ ධර්මය දේශනා කළහ.

ආර්ථික සංවර්ධනය උදෙසා සමාජයේ විවිධ අංශ විවිධ වූ ව්‍යාපාරවල යෙදේ.ආර්ථික සංවර්ධනය සමාජයේ ප්‍රබල සාධකයක් වේ.බ්‍රාහ්මණ සමාජය තුළ ප්‍රබල පිළිගැනීමක් ධනය සඳහා තිබුණි. ඔවුන් මිය ගිය පුද්ගලයා පවා හැඳින්වූයේ ධනය නැති වීමක් ලෙසය. ‘නිධානජ්පුත්ත’(ධනය නිෂ්පාදනය නොවීම, ධනය ආපසු නොපැමිණීම) යනු එයයි.මෙයින් අර්ථ දක්වා ඇත්තේ මිය යෑම යනු ධනය නැති වීම හා සමාන වන බවයි. එහෙත් බුදුසමය ජීවිතයේ සියලු අංශයන් ධනය සඳහා පවරන්නේ නැත.ධනය යනු ජීවිතයේ එක්කොටසක් පමණි.සිඟාලෝවාද සුත්‍රයේදී ධනය කළමනාකරණය කළ යුතු ආකාරය අර්ථ දක්වා ඇත.

අත්ථීසුඛය, භෝග සුඛය, අනන සුඛය සහ අනවජ්ජ සුඛය යනුවෙන් වන සැප සතරක් ගැන බුදුහිමියන් දේශනා කර ඇත. අත්ථී සුඛය යනු තමාගේ ජීවිතයට ප්‍රමාණවත් ධනයක් ඇතැයි සතුටු වීමයි.භෝග සුඛය යනු තමා ළඟ ඇති ධනය නිසි ලෙස කළමනාකරණය කොට පවත්වා ගැනීමයි.අනනසුඛය යනු ණය නැතිව ජීවත්වීමේදි ලබන සතුටයි. අනවජ්ජ සුඛය යනු නිවැරැදි කර්මාන්තයෙන්ගේ යෙදී ලබන සතුටයි.

මේ අනුව සමානාත්මතාව, සාධාරණ බව සහ නිරවුල් බව පදනම් කර ගනිමින් ධනය ඉපැයීම මහත් සේ වැදගත්වේ. සාධාරණ තෘප්තිමත් ලෞකික ජීවිතයක් ගත කිරීමටද ධාර්මිකව ධනය රැස් කිරීමද සාධාරණ ලෙස පරිභෝජනය කිරීමද අතිශයින්ම ප්‍රයෝජනවත්ය. සමාජයට කරදරයක් නොවන ලෙසින් ධනය රැස්කළ යුතුයි. මත්පැන්, වස විෂ, මස්මාංශ, ආයුධ සහ සතුන් වෙළෙඳාම ආදි ආසාධාරණ ව්‍යාපාරවල නොයෙදිය යුතු බවත් ඒවා සමාජයේ අනර්ථය සඳහා හේතුවන බවත් සඳහන් කරයි. කෘෂිකර්මාන්තය, ධාර්මික වෙළහෙළෙඳාම ආදිය බුදුන් වහන්සේ අගයකොට තිබේ. එසේ ජීවත්වන පුද්ගලයා සමාජය තුළ ශ්‍රේෂ්ඨයකු බවට පත්වන්නේය.

උට්ඨානවතො සතිමතො
සුචිකම්මස්ස නිසම්මකාරිනො
සඤ්ඤතස්සච ධම්ම ජීවිනො
අප්පමත්තස්ස යසෝභිවඩ්ඩති
(ධම්මපදය-අප්පමාද වග්ගය)

උත්සාහය, යහපත් සිහිය, නිසි කර්මාන්ත, සංයමය සහ ධාර්මික බව ඇති අප්‍රමාදි පුද්ගලයාගේ යසස වැඩෙන්නේය. මෙමඟින් පැහැදිලිවනුයේ ධාර්මිකව උත්සාහකරන පුද්ගලයා සැබවින්ම දියුණූ වන බවයි.

සිඟාලෝවාද සුත්‍රයෙහි දී ධනය කළමනාකරණය කළ යුතු ආකාරයත් එමඟින් සමාජ සුබ සිද්ධිය සැලැසෙන ආකාරයත් පැහැදිලි කරයි.

බාහු බල විරචිතා
සේධා වක්කිත්තේහි
ධම්මිකේහි ධම්ම ලද්දේහි...

කාය බලය යොදවා අතපය වෙහෙසවා දහදිය වගුරුවා ධාර්මිකව හරි හම්බ කිරීම අභිවෘද්ධිය සඳහා හේතු වේ.

“බඹරකු මලනොතලා රොන් ගන්නාක් මෙන් සමාජය පීඩාවට පත්නොකොට වේයා හීන් සැරේ තුඹස බදින්නාක්මෙන්, මී මැස්සා බොහෝ මහන්සි වී ක්‍රමානුකූලව පැණිරැස් කරන්නාක් මෙන් සමාජය නොපෙළා ධනය රැස් කළ යුතුය...”

චක්කවත්ති සීහනාද සූත්‍රයෙහි, රජතුමාගේ පටන් සාමාන්‍ය දිළිඳු පුද්ගලයා දක්වාම නිසි ලෙස ධනය කළමනාකරණය කළ යුතු බව සදහන් කරයි. විශේෂයෙන් රජතුමා නිරන්තරයෙන්ම රට වැසියාට කරුණු සතරකින් සංග්‍රහ කළ යුතුය.එනම් දානය,අර්ථ චර්යාව, පි‍්‍රය වචනය හා සමානාත්මතාව වශයෙනි. සතර සංග්‍රහ වස්තු මූලික වශයෙන් රජතුමාගේත් රටවැසියාගේත් සුබසිද්ධිය සඳහා වැදගත් වන්නේය.

ධනය පරිහරණය කිරීමේදී තමන් උපයන ලද ධනය කොටස් සතරකට බෙදා පරිහරණය කළ යුතුබව සිඟාලෝවාද සුත්‍රයේදි බුදුන්වහන්සේ පැහැදිලි කර තිබේ. එක් කොටසක් පරිභෝජනය සඳහාත්, කොටස් දෙකක් කර්මාන්තයේ ආයෝජනය පිණිසත් ඉතිරි කොටස ආපදාවකදි ගැනීම සඳහා තැන්පත් කර තැබීමත් සුවදායක ජීවිතයකට වැදගත්වේ. එලෙසම ධනය කළමනාකරණය කළ යුතු ආකාරය ව්‍යග්ඝ පජ්ජ සූත්‍රයේදීද පැහැදිලිව දක්වා තිබේ.

ධනය ලැබුණු පසු සමාජීය යුතුකම් සහ වගකීම් ඉටුනොකරන්නේ නම් එබඳු පුද්ගලයා පිරිහීමට පත්වන බව පරාභව සුත්‍රයේදි සඳහන් කර තිබේ. තමා හට හැකියාව තිබියදි මහලු මවුපියන් පෝෂණය නොකිරීම පරිහානියට හේතු වන්නකි. තමා ඉපැයූ ධනය අකාර්යක්‍ෂම ලෙස පරිශීලනය තුළින් ශීඝ්‍ර පරිහානියකට පත්වන බව පරාභව සූත්‍රයේදී පෙන්වා දී ඇත. ස්ත්‍රින් කෙරෙහි ලොල් වීම, මත්පැන් කෙරෙහි ඇලීම, සූදුව, අවේලාවේ වීථී සංචාරය කිරීම සහ අයහපත් මිතුරන් ඇසුරු කිරීම වැනි කරුණු නිසා පුද්ගලයාගේ පිරිහීම නිතැතින්ම සිදුවන්නේය.මෙමඟින්, ඔහු ඉපැයූ ධනය කෙතරම් වෙතත් වියැළි යන පොකුණක් සේ එම ධනය සිඳී විනාශයට පත්වේ.

දේශපාලන ප්‍රගතිය උදෙසා බුදුන් වහන්සේ ලබාදී ඇති උපදෙස්,පෙන්වා දී ඇති ආචාර් ධර්ම පිළිබඳ විමසා යහපත් සමාජ සම්බන්ධතා විෂයෙහි උන්වහන්සේ ලබාදී තිබෙන වැදගත්කම මනාව හඳුනාගත හැකිය.”ධම්මිකො ධම්ම රාජා” රජු ධාර්මික ප්‍රතිපත්ති අනුව රට පාලනය කළයුතුය. රාජ්‍ය පාලන ව්‍යුහය උදෙසා රජු අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති හා පරමාදර්ශි වූ පිළිවෙත් රාශියක් නොයෙක් අවස්ථාවල පෙන්වාදී තිබේ. නිදසුන් ලෙස දසරාජ ධර්ම,දස සක්විති වත්, සතර බ්‍රහ්ම විහරණය සහ සප්ත අපරිහානීය ධර්ම ආදිය දැක්විය හැකිය.

යහපත් ආචාර ධර්ම රාජ්‍ය පාලකයකු වෙත තිබිය යුතු මූලික ලක්‍ෂණ ලෙස දීඝ නිකායේ චක්කවත්ති සීහනාද සූත්‍රය සහ අග්ගඤ්ඤ සූත්‍රය අවධාරණය කරයි. රජු ජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් තම පාලන ප්‍රතිපත්ති සහ ව්‍යවස්ථා මාලා ජනතාවට ඉදිරිපත් කළ යුතුය. රජකෙනෙකු තුළ තිබිය යුතු අනිවාර්ය ගුණ ධර්ම 10ක් චක්කවත්ති සිහනාද සූත්‍රයෙහි අවධාරණය කොට ඇත. ඒවා දසරාජ ධර්ම ලෙස හැඳින්වේ.

දානං සීලං පරිච්චාගං
අජ්ජවං මජ්ජවං තපං
අක්කොධො අවිහිංසා ච
ඛන්ති ච අවිරොධතා

මෙහි සඳහන් වන කරුණු වලට අනුව, දානය පරිත්‍යාගය සැමගේ සතුට පිණිසත් රජුගේ විශ්වාසය තහවුරු වීම පිණිසත් වැදගත් වන සාධකයකි. රජුගේ විශාල ධනස්කන්ධය සාධාරණ ලෙස පරිභෝජනය කිරීම මෙයින් අදහස් කරයි. ඍජු බව නිසා පාලකයා අපක්‍ෂපාතීව,සැමවිටම සාධාරණව නීතිය හා දඩුවම ක්‍රියාත්මක කරයි. අල්ලස් ලාභ ගැනීමෙන් වළකී. සැම විටම මධ්‍යස්ථව කටයුතු කිරීම අවිරෝධතාව තුළින් ඉස්මතු වේ.

ක්‍රෝධය, නොඉවසීම පාලකයකු තුළ තිබුණහොත් ජනයා සමඟ කටයුතු කිරීමේදි විශාල හානියක් සිදුවේ. ක්‍රෝධ නොකිරීම ශාන්තිය වැනි ගුණ ධර්ම නිසා රජු ජනතාව කෙරෙහිද ජනතාව රජ කෙරෙහිද අචල විශ්වාසයක් තබා ගනී. තපස යන්නෙන් අර්ථවත් කෙරෙනුයේ රජු තුළ ඇති අධ්‍යාත්මික ගුණයයි. ලෞකික ධන සම්පත් මෙන්ම අධ්‍යාත්මීය ගුණයද පාලකයකු සතු විය යුතුය.ජනතාවගේ ඒකීයභාවය ගොඩනඟමින් ජාති කුලගෝත්‍රවාදය ප්‍රතික්‍ෂේප කිරීම සහ පෞද්ගලික ලාභ අපේක්ෂා නොකිරීම ඉතා වැදගත්ය. බුද්ධ කාලයේ සිටි ඇතැම් පාලකයෝ සප්ත ආචාර් ධර්ම හෙවත් සප්ත අපරිහානීය ධර්ම අනුගමනය කළෝය. එකතුවීම, සාකච්ඡාව, තීරණ ගැනීම,ක්‍රියාත්මක කිරීම, නීති පැනවීම සහ නීති පිළිපැදීම වැනි කටයුතු ඔවුන් සිදු කළේ සමඟිය පදනම් කරගෙනය.බුදුන් වහන්සේ සමඟිය අගයකළ ශාස්තෘවරයෙකි. ලිච්ඡවින් වැනි සමුහ ආණ්ඩු පාලකයන් මෙබඳු ප්‍රතිපත්ති අනුගමනය කිරීම නිසා සෙසු රජවරුන්ට ඔවුන් පරාජය කිරීමට පවා නොහැකි විය. තම රටේ වැඩිහිටි පුද්ගලයන්ගෙන් ඔවුහු නිතර අවවාද අනුශාසනා ලැබූහ.

බුදුසමය මහත්සේ ප්‍රායෝගිකව සමාජය දෙස බලයි. කුමන දර්ශනයකට කුමන ආගමකට අයත් වුණත් සමාජ සම්මත යහපත් දැ බුදුසමය අගය කරයි. බුද්ධකාලීන සමාජයෙහි වෙනත් ඇතැම් ආගමික චින්තාවන් තුළ සදාචාරාත්මක පසුබිමකින් තොරව දාර්ශනික ප්‍රස්තුතයන් සාකච්ඡා කොට තිබේ. එහෙත් බුදුසමයෙහි එම ආගමික සම්ප්‍රදායන් තුළ මෙන් ඒකාධිකාරි චින්තනයක් දක්නට නොමැත. මිනිසාගේ නිදහස් චින්තන ශක්තිය බුදුදහමෙහි ආරක්‍ෂා වී තිබේ. සියලු දෙනාට යහපත් වන සමාජයක් ගොඩනැඟීම සඳහා බුදුහිමියන් සිදුකර ඇති මඟ පෙන්වීම අතිශයින් සිත්ගන්නා සුළුවේ. මිනිසා තම කාමභෝගි ජීවිතය ගත කළ යුත්තේ කිසිවකින් අන්තයට ගොස් නොව මධ්‍යම ප්‍රතිපදාවට අනුව බවත් එසේ කළහොත් තම මෙලොව ජීවිතය පමණක් නොව පරලොව ජීවිතයද සාර්ථක වන බවත් ඉහත කී විස්තරවලින් අවබෝධ කොට ගත හැකිය.