Print this Article


මාදම්පේ උස්මුදුලාව නිග්‍රෝධාරාම මහා විහාරය

මාදම්පේ උස්මුදුලාව නිග්‍රෝධාරාම මහා විහාරය

අම්බලන්ගොඩ ,මාදම්පේ උස්මුදුලාව නිග්‍රෝධාරාම මහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද ධාතුමන්දිරය සහ වාහල්කඩ විවෘත කිරීමේ පුණ්‍යමහෝත්සවය මාර්තු 3 වැනිදා සිට 10 වැනිදා දක්වා පැවැත්වේ. ධර්ම දේශනා , පිරිත් දෙසුම් සහ දානමය පින්කම් ඇතුළු පුණ්‍යක්‍රියා රැසක් මීට සමගාමීව පැවැත්වේ.

කොළඹ සිට දකුණු දෙසට සැතැපුම් පනස්හතරක්ද, ගාල්ල සිට උතුරට සැතැපුම් විසිදෙකක්ද ගමන් කරන්නකුට හමුවනුයේ මාදම්පේ හා මාදම්පාගම යන නම්වලින් හඳුන්වනු ලබන මනරම් වූ ග්‍රාමවරයයි. පෙර මෙම ප්‍රදේශය ඉතා සරුවට වැඩුණු මාදන් වෘක්‍ෂ සමූහයකින් අලංකෘත වූ නිසාම ‘මාදම්පේ’ යන නාමය ව්‍යවහාර වූ බව පැරැන්නෝ පවසති.

එසේම මේ ගම මැද මහා ධර්ම ප්‍රාසාදයක් තිබූ හෙයින් එය ශුද්ධ සිංහලට පෙරැළී ‘මහදම්පාය’ වී පසුව ‘මහදම්පා’ වී එයිනුත් පසුව සුඛෝච්චාරණයවස් ‘මාදම්පාගම’ වූ බව විද්වත් මතය යි. මෙම ග්‍රාමවරයෙහි එකිනෙකට සබැඳුණු විහාරස්ථාන හයක් පමණ ඇති අතර, එයිනුත් උස්මුදුලාව නිග්‍රෝධාරාම විහාරස්ථානය සුවිශේෂි පුණ්‍යභූ®මියක් ලෙස ප්‍රදේවාසීන්ගේ ගෞරව බහුමානයට පාත්‍ර වූවකි.

18 වන සියවසේ මුල් භාගයේ දී කන්ද උඩරට ප්‍රභූන් හා ශ්‍රී වික්‍රමරාජසිංහ රජතුමන් අතර හට ගත් ආරවුල් හේතුවෙන් රදළ ප්‍රභූන් සිය දරුවන්ගේ ආරක්‍ෂාව සඳහා පහතරට ප්‍රදේශවලට එවීමට කටයුතු කොට තිබේ.ඒ අනුව උඩරට සත්කෝරළයේ තල්ගහපොත්තේ ගමෙන් ආ දරුවකු පහත රට විහාරස්ථානයක දී තල්ගහපොත්තේ ගුණරතන නමින් පැවිදි වී ඇති අතර, පසුව සද්ධම්මවංසපාල ගණාචරිය මහාධම්මරාජාධිරාජගුරු කපුගම ධම්මක්ඛන්ධ තෙරුන් වහන්සේ ප්‍රධාන සංඝයා වෙතින් උපම්පදාව ලබාගෙන තිබේ. මුන්වහන්සේගේ ධර්ම දේශනාදිය කෙරෙහිත් ඇවැතුම් පැවැතුම් කෙරෙහිත් පැහැදුණු උස්මුදුලාව ප්‍රදේශයේ ප්‍රභූන් සිය ගමේ ආවාසයක් තනවා මුන්වහන්සේට පූජා කොට ඇත. ‘නිග්‍රෝධාරාමය’ ලෙස නම් කළ එම ආවාසය ක්‍රමක්‍රමයෙන් සංවර්ධන කළ උන්වහන්සේ ශාසනයේ ඉදිරි පැවැත්මට උරදෙනු වස් ශිෂ්‍ය භික්‍ෂුන් වහන්සේ කිහිප නමක ද තැනූහ.


විහාරාධිපති
මාතලේ ජිනවංස හිමි

තල්ගහපොත්තේ ගුණරතන හිමියන් 1854 දී අපවත්වීමෙන් පසු විහාරාධිපති පදවියට පත් වූයේ ප්‍රධාන ශිෂ්‍ය මාදම්පේ සුමංගල තෙරුන් වහන්සේය. දශක තුනක් පමණ විහාරාධිපති පදවිය ඉසුලූ මුන්වහන්සේ ප්‍රදේශයේ දායක කාරකාදින්ගේ කුදුමහත් ආගමික කටයුතු කරමින් තව තවත් විහාරස්ථානය දියුණු කළ අතර, 1884 දී අපවත් වී ඇත. ප්‍රධාන ශිෂ්‍ය මාදම්පේ අත්ථදස්සී තෙරුන් වහන්සේ ඉන්පසු විහාරාධිපති පදිවියට පත් වී ඇති අතර, උන්වහන්සේ සංඝාවාස, දාගැබ් විහාරාදිය ඉදිකොට අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කළහ. 1891 දී උන්වහන්සේ අපවත් වූහ. එතැන් පටන් මාදම්පේ විමලතිස්ස, මාදම්පේ සෝමානන්ද, මාදම්පේ විමලජෝති යන තෙරුන් වහන්සේ පිළිවෙළින් 1960 දක්වා විහාරාධිපති පදවිය දැරූහ. නිග්‍රෝධාරාම විහාරස්ථානයේ ස්වර්ණමය යුගය ඇරැඹෙන්නේ 1960 දී මාදම්පේ සුගතවංස මාහිමියන් විහාරාධිපති පදවියට පත්වීමත් සමඟය. උන්වහන්සේ ‘ගාමිණී සමාජසේවා සංගමය’ සහ ‘නිග්‍රෝධ ළමා හා තරුණ සමාජ’ පිහිටුවා එමඟින් විහාරස්ථානයේ මෙන්ම ගමේ ද අභිවෘද්ධිය තීව්‍ර කළහ.

මාදම්පේ සුගතවංස හිමියෝ 1954 දී නිග්‍රෝධ දහම් පාසල ආරම්භ කොට ගුණ නැණ සපිරි දරු පිරිසක් තනන්නට ගම මෙහෙයැවූහ. නව සංඝාවාසය සහ දාන ශාලාව ඉදි කර වූ උන්වහන්සේ විහාර මන්දිරය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කරවූහ. දශක තුනකට අධික කාලයක් විහාරාධිපති පදවිය හෙබ වූ සුගතවංස මාහිමියෝ 1991 දී අපවත් වූහ. උන්වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය ත්‍රිපිටකවේදී ශාස්ත්‍රපති මාතලේ ජිනවංස හිමියෝ වර්තමානයේ විහාරාධිපති පදවිය උසුලති. උන්වහන්සේ සිය ගුරුදේවයන් වහන්සේ ගෙන ගිය සේවාව නිසියාකාර ව ඉටු කරමින් ගමත් පන්සලත් දියුණු කිරීමෙහිලා උත්සුක වෙති.

විශේෂයෙන් ම විහාරස්ථානයේ පැරැණි විහාරාංගයන් ප්‍රතිසංස්කරණය කර වූ උන්වහන්සේ ප්‍රදේශයේ දායක කාරකාදීන්ගේ අනුග්‍රහය මත දර්ශනීය ධාතු මන්දිරය සහ වාහල්කඩ ඉදි කර වූහ. එය විවෘත කිරීමත්, අපවත් වී වදාළ ගුරුදේවයන් වහන්සේ හට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා පෙරහර ,ධර්මදේශනා, පිරිත් පින්කම් ,ශතාධික මහ සඟරුවන විෂයෙහි දානමය පින්කම් සහ දේව පූජා පැවැත්වීමත් මාර්තු 3 වැනිදා සිට 10 වැනිදා දක්වා විහාරස්ථානයේ දී පැවැත්වේ.