Print this Article


රත්මලාන ශ්‍රී රත්නාරාමය

රත්මලාන ශ්‍රී රත්නාරාමය

රත්මලානේ ශ්‍රී රත්නාරාම  විහාරස්ථානයේ තෙමහල් ධර්ම මන්දිරය විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවය මාර්තු 04 වැනිදාට (අදට) යෙදී ඇත. මීට සමගාමීව ඉදිරි දින කිහිපය පුරා තවත් පින්කම් රැසක් ද සිදු කිරීමට නියමිතය.

වනස්පතී වෘක්‍ෂයෙහි බීජය ඉතා කුඩා ය. ඒ කුඩා බීජයෙන් හටගන්නා නුග වෘක්‍ෂය විශාලභූමි පරාසයකට සිසිල ගෙනදෙයි. අඩසියවසක් පමණ වන රත්මලානේ ශ්‍රී රත්නාරාම ඉතිහාසය දෙස බලන විට, නුග බීජය නිතැතින්ම සිතට නැඟෙනුයේ ද අද රත්මලානට පමණක් නොව පළාතටත්, රටටත් විශාල මෙහෙවරක් සිදු කරන මේ විහාරයේ ආරම්භය ද ඉතා කුඩාවට සිදු වූ නිසා ය.


සිරි සදහම් පාය

වර්ෂ 1958 දී ඔලබොඩුවේ රතනපාල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් කුඩා බිම්කඩක මෙම විහාරස්ථානය අරඹන ලදී. උන්වහන්සේ අපවත්වීමෙන් පසු විහාරාධිපතිත්වයට පත් වූයේ නැඟෙනහිර පස්යොදුන් කෝරලයේ ප්‍රධාන සංඝනායක කෙවිටියාගල ධම්මසිද්ධි මාහිමිපාණන් වහන්සේ ය. උන්වහන්සේගේ ශිෂ්‍යවරයාණන් වූයේ සූරියගොඩ සිරිධම්ම හිමිපාණන් වහන්සේ ය. උන්වහන්සේ ගංගොඩවිල සුභද්‍රාරාම මහ පිරිවෙන්හි අධ්‍යාපනය ලබා 1977 වර්ෂයෙහි කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත්ව අධ්‍යාපනවේදී ගෞරව උපාධිය, අධ්‍යාපනපති උපාධිය ලබා අනුරාධපුර නොච්චියාගම විද්‍යාදර්ශ මහා විද්‍යාලයෙන් ගුරුසේවය ආරම්භ කළහ. අනතුරුව කොළඹ තර්ස්ටන් විද්‍යාලයට මාරු වී වත්මන්හි එම විද්‍යාලයෙහි සහකාර විදුහල්පතිව අධ්‍යාපන ක්‍ෂේත්‍රයට මහඟු සේවාවක් ඉටු කරගෙන යති.

තම ගුරුදේව කෙවිටියාගල ධම්මසිද්ධි නාහිමියන්ගේ අපවත්වීමෙන් පසු රත්මලාන ශ්‍රී රත්නාරාමයේ විහාරාධිපතිත්වයට පත් වූහ. ශ්‍රී රත්නාරාම විහාරස්ථානයෙහි ස්වර්ණමය යුගය උදාවන්නේ උන්වහන්සේගේ සම්ප්‍රාප්තියෙන් පසුවය. විහාරස්ථානයකට අවශ්‍ය සියලු අංගයන්ගෙන් සමන්විත විහාරයක් බවට පත් වූයේ සිරිධම්ම නාහිමිපාණන් වහන්සේගේ අප්‍රතිහත ධෛර්යය නිසාමය.

ස්වකීය ධනයෙන්, දියපත්තුගම ශ්‍රී සුධර්මාරාමයට තායි බුදුමැදුරක් තනවා දීම, දියපත්තුගම කනිෂ්ඨ විද්‍යාලයට බුදුමැදුරක් තනවාදීම වැනි මහා පින්කම් ද උන්වහන්සේ සිදු කළහ. විශේෂයෙන් අම්පාර, තණමල්විල, අනුරාධපුර ආදී දුෂ්කර පළාත්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ත්‍යාග හා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමෙන් උන්වහන්සේ අධ්‍යාපනික සේවාවෙහි තවදුරටත් නියැළී ඇතැයි කිව හැකි ය.

මාහැඟි පොත් පත් රචනා කළ වියත් ලේඛකයකු වශයෙන් ද චතුර ධර්මදේශකයකු වශයෙන් ද සූරියගොඩ සිරිධම්ම නාහිමිපාණන් පරසිදුය . පෞරාණික සම්ප්‍රදායය නොබිඳ ධර්ම ගරුත්වයෙන්, පෙළ දහම් අනුව දේශනා පැවැත්වීම උන්වහන්සේගේ සිරිතයි. එම දේශනා නූතන ධර්මදේශකයන් වහන්සේට ආදර්ශ සපයයි.

විහාරස්ථානයකින් දායක දායිකාවන්ට ඉටු විය යුතු ආගමික මෙහෙය ශ්‍රී රත්නාරාමයෙන් නොඅඩුව ඉටුවනු දැකීම සතුටට කරුණෙකි. මෙසේ සිදු කෙරෙන ආගමික වූත්, සමාජ සේවාමය වූත්, අධ්‍යාපනික වූත්, සේවා පිළිබඳ ප්‍රසාදයට පත් මල්වතු මහා විහාරිය මහා නා හිමිපාණන් වහන්සේ ප්‍රධාන විංසත් වර්ගික සානු නායක කාරක සංඝ සභාව ‘සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මසිද්ධි’ යන ගෞරව නාම සම්මුතිය සමඟ බස්නාහිර පළාත සහිත කොළඹ නව තොටමුණේ ප්‍රධාන අධිකරණ නායක පදවියද 2007 දී සූරියගොඩ සිරිධම්ම හිමියන් වෙත පිරිනැමීය.

විශේෂයෙන් ශ්‍රී රතනපාල ධර්ම විද්‍යාලය පිළිබඳ සඳහන් කළ යුතුව ඇත. සූරියගොඩ සිරිධම්ම හිමියන්ගේ කෘතහස්ත භාවයත්, දැනුම් සම්භාරයත්, අධ්‍යාපන පරිචයත් උපයෝගී කරගෙන දහම් පාසල දිස්ත්‍රික්කයේ මුල් පෙළේ දහම් පාසලක් බවට පත්කර තිබීම පළාතේ කොයි කාගේත් පැසැසුමට හේතුවී ඇත. ඔලබොඩුවේ මාහිමිපාණන් වහන්සේ විසින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පස්දෙනෙකුගෙන් ආරම්භ කරන ලද ශ්‍රී රතනපාල දහම් පාසලෙහි, වත්මන් විහාරාධිපති සූරියගොඩ සිරිධම්ම නා හිමිපාණන් යටතේ පන්සියයකටත් අධික ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් දහම් අධ්‍යාපනය ලබති. මඩ සහිත පොළොවක ටකරන් මඩුවක ආරම්භ කරන ලද රතනපාල දහම් පාසල අද බොහෝ පහසුකම්වලින් සමන්විත වීම නාහිමියන්ගේ සංවිධාන ශක්තිය, කාර්ය ශූරත්වය නිහඬව කියාපෑමෙකි.

ශ්‍රී රතනපාල දහම් පාසල 2004 දී ශ්‍රී ලංකාවේ හොඳම දහම් පාසල බවට පත්වූයේ ප්‍රධානාචාර්ය සිරිධම්ම නාහිමියන්ගේ සහ ආචාර්ය මණ්ඩලයේ කැපවීම නිසාත්, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ බුද්ධිමත් හැදියාව නිසාත් බව කිව යුතු ය. අද වන විට දහම් පාසලේ ගුරුවරුන්ගේ සහ දරු දැරියන්ගේ පහසුව සඳහා තෙමහල් ධර්ම මන්දිරයක් තනා නිම කොට ඇත. එය විවෘත කිරීමේ මහෝත්සවය මාර්තු 4 වැනිදාට (අදට) යෙදී ඇත. ඒ නිමිති කරගෙන පින්කම් මාලාවක් පවත්වනු ලැබේ.

‘සිරි සදහම් පාය’ ලෙස නම් කර ඇති මෙම ධර්ම මන්දිරය සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ අතිගෞරවනීය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පින්බර සුරතින් අද පස්වරුවේ විවෘත කෙරේ. ඉන් අනතුරුව කෙටි උත්සව සභාවකි. මෙහිදී විහාරාධිපති නායක ස්වාමීන්වහන්සේ විසින් සම්පාදිත ‘අසිරිමත් සදහම් ගඟ’ නම් ධර්ම ග්‍රන්ථය ද එළි දැක්වේ.

මාර්තු 5, 6 සහ 7 යන තෙදින පස්වරු 7.30 ට සුමධුර ධර්මදේශනා පවත්වනු ලබන අතර මාර්තු 8 වැනිදා පැවැත්වෙන සර්වරාත්‍රික පිරිත් දේශනාවකින් සැමට සෙත් පැතීමට නියමිතය. මාර්තු 10 වැනි දා අර්ධශතාධික මහ සඟරුවන විෂයෙහි සපිරිකර සංඝගත දක්‍ෂිණාවක් පිරිනමනු ලැබේ.