Print this Article


දුතිය පීඨ විමාන වස්තුව මැණික් අසුනක් ලත් දෙව් දුව

දුතිය පීඨ විමාන වස්තුව

මැණික් අසුනක් ලත් දෙව් දුව

අප බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙමින් සුවහසක් ජනයාගේ මෙලොව පරලොව සුබ සිද්ධිය සඳහා විමුක්ති මාර්ගය පෙන්වාදෙමින් කටයුතු කරන සමයෙහි විහාරස්ථානයට නුදුරෙහි එක්තරා දුප්පත් ස්ත්‍රියක් විසුවාය.

ඇය ධන සම්පත්තියෙන් දිළිඳු වුවත් රත්නත්‍රය කෙරෙහි ශ්‍රද්ධා භක්තියෙන් පොහොසත් වූවාය. කර්මානුරූපව දුගීව උපන්නත්, ලැබූ මනුෂ්‍ය ආත්ම භාවයෙන් උපරිම ප්‍රයෝජන ලබා මතු ආත්මභවයේ හෝ සුඛිත මුදිතව උපත ලැබීමේ අරමුණින් තම ශක්ති ප්‍රමාණයෙන් පින් දහම් කිරීම ඇගේ පුරුද්ද විය. දිනක්, සන්සුන් ඉරියව්වෙන් යුතුව උපශාන්තව වඩනා තෙර නමක් දුටු ඕ තොමෝ, උන්වහන්සේ කෙරෙහි පැහැද වැඳ නමස්කාර කර තම නිවසට වැඩම කර දන් පිළිගන්නා ලෙස ආරාධනා කළාය. තෙරුන් වහන්සේ ද මෛත්‍රි සිතින් අරාධනාව පිළිගත් සේක.

තෙරුන් වහන්සේට වැඩ හිඳීම සඳහා සුදුසු අසුනක් පැනවීමට යුහුසුළු වූ ඇය, තම පුටුවට නිල් පැහැති පිරිසුදු ඇතිරිල්ලක් එලා තෙරුන් වහන්සේට පිළිගැන්වූවා ය.අනතුරුව සංඝ ගෞරවයෙන් සියතින් දන් පිළිගැන්වූවා ය. එතැන් සිට නිරතුරුවම තම පින්කම පිළිබඳව මෙනෙහි කරමින් සතුටු වූ ඇය කර්මානුරූපව මිය පරලොව ගොස් තව්තිසා දෙව්ලොව දෙවඟනකව උපන්නාය.

මිනිස් ලොව දී සැදැහැයෙන් කළ පින්කමෙහි ආනිශංස වශයෙන් අලංකාර දිව්‍ය විමානයක් ද පරිවාර දිව්‍ය ස්ත්‍රීන් ද ලත් ඇයට වෛධූර්ය මාණික්‍යමය ආසනයක් ද පහළ විය. ඒ ආසනය කාන්තිමත් ය. නීල වර්ණයෙන් යුතු ය. මහත් ජව වේගයෙන් යුතු බැවින් එහි නැගී ගමනාගමනය කරන්නටද පිළිවන. එය එක් අතකින් සුඛෝපභෝගී ආසනයකි. තවත් අතකින් අපූර්ව රථවාහනයකි. මේ සියලු සම්පතින් ආඪ්‍යව අනෙකුත් දෙවඟනන් අතර විශේෂයෙන් කැපී පෙනෙමින් සුව පහසු දිවියක් ගත කරන්නට ඇයට හැකි විය.

මුගලන් මහ රහතන් වහන්සේ සිරිත් පරිදි තවුතිසා දෙව්ලොව චාරිකාවේ යෙදුණූ අවස්ථාවකදී මේ දෙවඟන මුණ ගැසිණි.

උන්වහන්සේ දැකීමෙන් මහත් පැහැදීමට පත් ඇය දිව්‍ය විමානයෙන් බැස පසඟ පිහිටුවා වැඳ එකත්පස්ව හුන්නාය. ඒ අවස්ථාවේදී මුගලන් මහ රහතන් වහන්සේ ඇයගෙන් මෙසේ විචාළහ.

“පින්වත් දේවතාවිය, අනිකුත් දිව්‍යාංගනාවන් අතර ඔබ විශේෂයෙන් කැපී පෙනෙන රූප ශෝභාවෙන් හා සකල ඓශ්චර්යෙන් යුක්ත ය.ඔබේ සළුපිළි ආභරණ මෙන්ම නීල වර්ණ මාණික්‍යමය විමානය ද මනහරය.

මහත් ජව වේග ඇති ඔබේ ආසනය ද දකින්නන් විස්මයට පත් කරවයි.මේ සා විශාල දිව්‍ය සම්පත්තියක් ලැබුණේ මිනිස් ලොව දී කෙබඳු පුණ්‍ය කර්මයක් කිරීමෙන් ද? සිතු පැතූ සම්පත් ලබන්නට තරම් හේතු කාරණා වූ ඒ පින්කම් කවරේ ද? “ මුගලන් මහ රහතන් වහන්සේගේ පි‍්‍රය මනාප දර්ශනයෙන් ද කර්ණ රසායන වූ ආමන්ත්‍රණයෙන් ද උද්දාමයට පත් වූ ඒ දෙවඟන ඊට පිළිතුරු දුන්නේ මෙසේය “ මහ රහතන් වහන්ස, මිනිසුන් අතර මා ඉපදුණේ මිනිස් දුවක ලෙස යි.

අප සතු මහත් ධනයක් හෝ භව භෝග සම්පත්තියක් නොවූව ද, බුදුරජාණන් වහන්සේගේ අවවාද අනුශාසනා ඇසීමෙන් ශ්‍රද්ධා සම්පත්තියෙන් පොහොසත්ව විසූයෙමි. ඒ අනුව මගේ ශක්ති ප්‍රමාණයෙන් පින් දහම් කිරීමෙහි නියැළුණෙමි. “මෙසේ කාලය ගෙවී යද්දී එක් දිනක් ශීලයෙන්ද ගුණයෙන් ද පොහොසත් සන්සුන් ඉන්ද්‍රියයන්ගෙන් හා ප්‍රසන්න, පි‍්‍රයමනාප පෙනුමෙන් යුත් තෙර නමක් අපගේ නිවසට , පිඬු සිඟා වැඩම කළහ. මම මහත් ශ්‍රද්ධාවෙන් නීල වර්ණ ඇතිරිල්ලක් මගේ පුටුව මත එලා භික්ෂූන් වහන්සේට වැඩ හිඳීම සඳහා සූදානම් කළෙමි.

ඒ අවස්ථාවේ මගේ ශක්ති ප්‍රමාණයෙන් දන් සකසා භික්ෂූන් වහන්සේට පිරිනැමුයෙමි. මේ පින්කම සිහියට නැගෙන හැම මොහාතක ම මගේ සිතට ඇති වූයේ මහත් පී‍්‍රතියකි.

මිනිස් ලොව මගේ ආයුෂ ගෙවී යාමෙන් මිය පරලොව ගිය මා නිදා පිබිදීයාක් මෙන් උපන්නේ මේ තව්තිසා දෙව් ලොවෙහි ය. ඒ සමඟ මේ අලංකාර විමානයත්, නීල මාණික්‍යමය වූ ජව වේග සහිත පීඨිකාවත්, සිතු පැතු සියලු සම්පතුත් මට පහළ වූයේ ඉහත කී ආසනය පූජා කිරීමේ ආනිශංස බලයයි.

මුගලන් තෙරණුවෝ එහිදීම අවස්ථානෝචිතව දහම් දෙසා මිනිස් ලොවට පැමිණ,මේ සුවිශේෂීි පුවත බුදුරජාණන් වහන්සේට දන්වා සිටියහ.

උන්වහන්සේ එය තම ශ්‍රී මුඛයෙන් අවශේෂ ජනයාට පහදා දී කුසල් කිරීමේ ආනිශංස හෙළිදරව් කරමින් සුචරිතයෙහි යෙදීමට ජනතාව උනන්දු කරවූහ. එම දේශනාව බොහෝ දෙනාට සිත සුව පිණිසම හේතු වාසනා විය.