UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

භික්ඛු සංඝස්ස - කොටස 01 සම්මත පුතාටත් මහණ වීමට යෝජනාවක්?

භික්ඛු සංඝස්ස - කොටස 01

සම්මත පුතාටත් මහණ වීමට යෝජනාවක්?


හැඳින්වීම

අසන්නන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් ගුවන් විදුලි නාට්‍ය සිය ගණනක් රචනා කරමින් ලංකාවේ ගම් , නියම්ගම් වෙත තම ප්‍රතිභාව විහිදුවාලූ මර්වින් සේනාරත්නයන් වෙසක් තොරණ දහස් ගණනකට ද කතා රචනා කළ ප්‍රතිභාපූර්ණ රචකයකු වශයෙන් කීර්ති නාමයක් දිනාගත්තෙකි.

දීර්ඝ කාලයක් මෙසේ වෙනත් ජනසන්නිවේදන මාධ්‍යයන් ඔස්සේ තම නිසඟ කුසලතාවය ප්‍රදර්ශනය කළද මර්වින් සේනාරත්නයන් මුද්‍රිත මාධ්‍යයකට කොටස් වශයෙන් දිග හැරෙන නවකතාවක් නිර්මාණය කරන්නේ ප්‍රථම වතාවට වීම විශේෂයකි.එහි සුවිශේෂත්වය වන්නේ සතර පෝයටම එළිදකින ලේක්හවුස් ආයතනය විසින් පළ කෙරෙන බුදුසරණ වෙනුවෙන් මෙම ප්‍රවීණ කතා නාට්‍ය රචකයා නවකතාවක් නිර්මාණය කිරීම ය.

අසන්නන් පේ‍්‍රක්‍ෂයන් වෙනුවෙන් නාට්‍යානුසාරයෙන් නිර්මාණයන් ඉදිරිපත් කරමින් නොමද පැසසුමට ලක්වූ මර්වින් සේනාරත්නයන් අද සිට සහෘද පාඨකයන් ඇමැතීමට සූදානම්ය. ‘භික්‍ෂු සංඝස්ස’නම් වූ මෙම නවකතාව මෙතැන් සිට සෑම බුදුසරණ පත්‍රයකම කොටස් වශයෙන් පළ කෙරෙයි.

මෙම අපූරු අද්දැකීම් වින්දනයට බුදුසරණ පාඨකයන් වූ ඔබට අපි සුහදත්වයෙන් ආරාධනය කර සිටිමු.


මේ හාමුදුරුවන් දෙස බලා සිටීමට දස හැවිරිදි සම්මත පුතා හරි කැමතිය. උන්වහන්සේ සිය නිවසට වැඩම කොට ආලින්දයේ අසුනක වැඩ සිටින හැමදිනකම,සම්මත කරන්නේ උන්වහන්සේ දෙස ඉතා සෝදිසියෙන් බලා සිටීමය. භික්‍ෂූන් වහන්සේගේ කහ පැහැති චීවරය එය ඇඟ නොපෙනෙන පරිදි පොරවා ගෙන සිටින ආකාරය අතේ ගෙන යන පාත්‍රය,දන් වළඳන විලාශය,බිමටම යොමුවූ දෑස, පැහැදිලි කතාව, සන්සුන් ගමන, පිරිපුන් දේහය ආදි ඉරියව්වලට සම්මත දක්වන්නේ දැඩි කැමැත්තකි. නමුත් හාමුදුරුවන් ඉඳහිට කරන “සම්මත මහණවෙමුද? “ යන යෝජනාවට ඔහු කැමති නැත. එම යෝජනාව කන වැකෙන හැම මොහොතකම ඔහුට සිහිපත් වන්නේ තමා සමඟ සෙල්ලම් කිරීමට සිය නිවෙස කරා දුව එන ලලිතා නංගී ය.

මෙම හාමුදුරුවෝ සිය මවගේ බාල සහෝදරයා නිසා තමාගේ මාමා බව සම්මත දන්නේය. උන්වහන්සේ ගෙවන්නේ අමුතුම ජීවිතයක් බවද සම්මත දැන සිටින්නේ අත්දැකීමෙනි. “සම්මත මහණ වෙමුද?” යන යෝජනාව නිසාම හාමුදුරුවන් නිවසට පැමිණෙනවාට සිය අප්පච්චි අසතුට බවද සම්මත දන්නේය. නමුත් හාමුදුරුවන්ට සම්මත ආදරේ ය. ගෞරවයක් දක්වන්නේ ය. ඒ ආදරය අම්මාගෙ මල්ලි නිසාම නොව, බුදුහාමුදුරුවන් නිසා ය. සම්මත විසින් හාමුදුරුවන් ගැන ගැඹුරින් සිතන බව දිනක් මැනවින් පසක් වූයේ “අම්මේ අපේ හාමුදුරුවෝ මේ තරම් ලස්සන නම් බුදුහාමුදුුරුවෝ මොන තරම් ලස්සනට සිටින්නට ඇද්ද?” යන ප්‍රශ්නය විමසූ නිසා ය. සම්මතගේ් මාමා, මහණ වූ නිසා පල්ලේබැද්දේ සෝම හිමි විය.

ගිහි නම හෙට්ටිආරච්චිගේ සුගත් ය. ඔහු මහණ වූයේ කැමැත්තකින් නොවේ. පල්ලේබැද්දේ පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ වුවමනාව නිසා මහණවූ සුගත් අද චීවරය දරන්නේ ඉතා කැමැත්තෙනි. ලොකු හාමුදුරුවන්ගේ අවශ්‍යතාවන් පල්ලේබැද්දේ සෝම තෙරුන්ගෙන් ඉටු නොවීම නිසා උන්වහන්සේ සිටින්නේ තරමක අමනාපයෙනි. ඒ බව සෝම හාමුදුරුවන් නොදන්නවා නොවේ. තමා දැන් එදාට වඩා හොඳින් මහණදම් පුරන නිසා සිය ගුරු හාමුදුරුවන්ගේ උදහසට උන්වහන්සේ බය නැත.

********************

“අනේ හාමිනේ සුගත් දරුවා මහණ කර ගන්න ඉල්ලන්නේ පල්ලේබැද්දේ අපේ පන්සලට අයත් දේපොළ ආරක්‍ෂා කර ගන්න ඕනෑ නිසා. ඕන් මේ අප්පුහාමිගෙන් අහලා බලන්න පන්සලට මොන තරම් දේපොළක් තියනවද කියලා “එදා පල්ලේබැද්දේ නායක හාමුදුරුවෝ සුගත්ලාගේ ගෙදරට තකහනියක්ම වැඩියේ මේ විශේෂ යෝජනාව ඉදිරිපත් කරන්නට ය. “ඇත්ත තමයි හාමිනේ පන්සලට තියෙනවා මහා දේපොලක්!අප්පච්චී අප්පුහාමිද තම හඬ අවදි කළේය. “රජ කාලේ පන්සලක් නොවැ හාමිනේ? මායාදුන්නේ රජතුමා එය පන්සල හදලා මායාදුන්නාරාමය කියලා නම දාලා ගම්වරයක් පවා පූජා කරලා තියෙනවා! “

“ප්‍රශ්නය ලොකු හාමුදුරුවනේ සුගත් දරුවා අකමැතිවීම නෙවැ මහනවෙන්න!

“කැමති කර ගන්න නම් බැරි වෙනඑකක් නෑ අප්පුහාමි”

“අප්පුහාමි මම මේ කරන යෝජනාව ඔහේලාටත් හොඳයි! මට විශ්වාස පවුලකින් දරුවෙක් මහණ කර ගැනීමෙන් මායාදුන්නාරාමයේ දේපොළත් රැකෙනවා. විහාරයත් ආරක්‍ෂා වෙනවා. ඒ වගේම බුද්ධ ශාසනයක් රැකෙනවා” “හොඳයි හාමුදුරුවනේ මම කොහොමහරි සුගත් පුතා කැමති කරවාගෙන ලොකු හාමුදුරුවන්ට භාර දෙන්නම් මහණ කර ගන්න” සුගත්ගේ පියා අප්පුහාමි එසේ පැවැසුවේ නායක හාමුදුරුවන්ගේ ඉල්ලීමක් නිකම්ම අහක දමන්න බැරි නිසා වගේම කවදත් ගැමියා භික්‍ෂූන් වහන්සේට දක්වන ගෞරවය නිසාය. හාමිනේට තමයි ඒ වැඩේ කරන්න පුලුවන් මට වඩා හොඳට!”

“ඔව් ඉතින් අප්පච්චිලා කියන දේට වඩා අම්මලා කියනදේ අහනවා නොවැ පිරිමි දරුවෝ හාමිනේ?” අන්තිම වශයෙන් එම අදහස පළකළ ලොකු හාමුදුරුවෝ ආපසු වැඩියේ. ලැබුණූ යහපත් ප්‍රතිචාරය ගැන සතුටු සිතින්ය.

********************

එදා ලලිතා සෙල්ලම් කරන්නට ඇවිත් පැත්තකට වී සිටියා මිස සම්මත සමග සෙල්ලමට ආවේ නැත. වෙනදා මෙන් කතා බහක් ද නැත. සම්මත කීප වරක් ලලිතා දෙස බැලුවද, ලලිතා සම්මතගේ මුහුණවත් කෙළින් බැලුවේ නැති එක සම්මතට ප්‍රශ්නයකි.

“අද ඇයි ලලිතා නංගී සෙල්ලම් කරන නැත්තේ , ඔහේ ඉන්නවා. කතා වකුත් නෑ! ඇයි අසනීපයෙන් වත්ද?”

“මොනවා කතා කරන්නද සම්මත අයියේ ?

“මොනවද කතා කරන්න බැරි කතා කරනවා නම්”

“අපිට සෙල්ලම් කරන්නවත් වෙන්නේ ටික කාලයයි නේද?”

“ඇයි?”

“ඇයි ඉතින් ඔයා මහණ වෙනවානේ ද? “

“කව්ද මම”

“ඔව් ඔයා තමයි”

“ මම මහණ වෙනවා?”

“ඔව් ! ඔයා මහණ වෙනව කියල අපි දන්නවා”

“කව්ද නංගි ඔය බොරුව කිව්වේ?”

“බොරු නොකියන කෙනෙක් කිව්වේ!”

“බොරු නොකියන්නේ කව්ද?”

“මං මේ කියන එක්කෙනා බොරු කියන කෙනෙක් නොවෙයි!”

ඈහ් ! කව්ද? ඔය කියන එකකෙනා?

“ඔයාම හිතා ගන්න!”

“අපේ හාමුදුරුවන් වත්ද?”

“ඔව් ! ඔයාගේ හාමුදුරුවෝ තමයි”

“කවද්ද කිව්වේ මම මහණ වෙන බව?”

“ඊයේ හවස අපි මායාදුන්නරාම පන්සල ගියවේලාවෙ සෝම හාමුදුරුවෝ තමයි කිව්වේ”

“අපේ සෝම හාමුදුරුවෝ?”

“ඔව් අයියේ ඔව්! ඔයාගේ මාමා හාමුදුරුවෝ තමයි අපිට කිව්වේ

“බොරු නොකියන සෝම හාමුදුරුවෝ මොකද මන්දා මේ ගැන එහෙම දෙයක් කිව්වෙ”

සම්මත දිගින් දිගටම සිතන්නට විය. කල්පනා කරන්නට විය.සම්මත පිළිබඳ කිසිදු සම්මතයක් තමා ළඟ නැතත්, ගෙදර අය විහින් තමාව මහණ කරවන සම්මතයකට එළඹ ඇත්දැයි ඔහු සැක සිතන්නට විය.

“සම්මත අයියේ ඇයි ඔයා කල්පනා කරන්නේ?”

“මම මහණ වෙන බවක් අපේ හාමුදුරුවෝ ඔය ගොල්ලො සමඟ කිව්වේ මොන හේතුවකට ද? කියලයි. මම මේ කල්පනා කළේ”

“ඇයි සම්මත අයියා මහණ වෙන්නේ නැද්ද?”

“අනේ නෑ නංගී ! මගේ හිතකවත් නෑ එහෙම අදහසක්!”

“එහෙම නම් ප්‍රශ්නයක් නෑනෙ ලලිතාගේ සිතට සැනසීමක් ලැබෙද්දී සම්මතගේ පුංචි සිත ප්‍රශ්න රැසකින් වෙලී ගියේ ය. එදා කතාවෙන්ම කාලය ගෙවුනා මිස සෙල්ලම් කරන්නට හිත් දුන්නේ නැත. සම්මතත් ලලිතාත් වෙන්වී යන විට, සම්මතගේ නිවසේ ගුවන් විදුලියෙන් දැන් වේලාව දහවල් දොළහයි” යනුවෙන් නිවේදනය විය.

ඒ සමඟම ඇරඹුණ වැඩසටහන “භික්ඛු සංඝස්ස” නම් විය. එයට සවන් දීමට අප්පච්චි සහ අම්මා සූදානම් වන හැටි මැද සාලයට පිවිසි සම්මත දුටුවේය.

“භික්ඛු සංඝස්ස” වැඩසටහන මෙහෙයවන්නේ පුජ්‍ය පල්ලේබැද්දේසෝම හිමිය. මාමාව දරුකමට හදා ගත් ඔහුගේ අම්මා, පසුව ලොකු හාමුදුරුවන්ගේ ඉල්ලීම පිට ඔහුව සසුන් ගත කළාය.

 

දුරුතු අමාවක පෝය

දුරුතු අමාවක පෝය පෙබරවාරි මස 09 වැනි දා සෙනසුරාදා අපරභාග 03.23 ට ලබයි.
10 වැනි දා ඉරිදා අපරභාග 12.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි මස 09 වැනි දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 17 වැනි දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 17

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 25

Second Quarterඅව අටවක

මාර්තු 04


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]