Print this Article


නිසැකව නිවුණා නම් වේ

නිසැකව නිවුණා නම් වේ

රහත්ඵල ලාභියාගේ සිත සන්සුන් සිතක් වේ. කැළැඹීම් නොමැති සිත වනාහි අර්හත් සිතකි. ඉන් ගම්‍ය වන්නේ අෂ්ටලෝක ධර්මය විෂයයෙහි කම්පානොවී සිටීමට හැකි උත්තුංග ගුණයයි. ඒ සන්සුන් සිත පවිත්‍රය. මල රහිතය. සූර්යයා මෙන් දීප්තිමත් වේ. කෙලෙස්වලින් ආතුර නොවූ එබඳු පුද්ගලයා නෙළුම් පතක් මත පතිත වූ ජල බිංදුවක් සේ නො ඇලෙන්නෙකි. ජලයේ හටගත්, එහිම වර්ධනය වු නෙළුම් මලක් ජලයෙන් මතුපිටට පැමිණ එම ජලය ස්පර්ශ නොකොට පවතින්නාක් මෙන් අර්හත් පුද්ගලයා ද පෘථග්ජන මිනිසුන්ගෙන් යුක්ත සමාජයෙහි ඉපිද එහි ම හැදී වැඩී සමාජය ඉක්මවා එහි නොගෑවී වාසය කරයි.

මිනිසා පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ අවබෝධඥානය සියුම් ය. ගැඹුරු ය. තීක්ෂ්ණ ඥානයෙන් විමර්ශනය කිරීමේ දී ලෝකය සංස්කාර පුඤ්ජයක් බවත් දුක් ගොඩක් බවත් උන්වහන්සේට ප්‍රත්‍යක්ෂ විය. සත්‍ය ගවේෂණයෙහි නැඹුරු වූයේ එහෙයිනි. බෝ මැඩ දී ඥානාධිගමය තෙක් එතුමෝ ආර්ය පර්යේෂණයක නිරත වූහ. එහි අවසාන ඵලය වූයේ අර්හත්වය සොයා ගැනීම යි. මෙය සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගේ වීර්යයෙහි සහ අධිෂ්ඨානයෙහි අග්‍රඵලයයි.

එතැන් පටන් ප්‍රත්‍යක්‍ෂ වශයෙන් අර්හත් ඵල ලාභියකු වන ආකාරය උන්වහන්සේ ලෝකයා ඉදිරියෙහි අනාවරණය කළහ. අර්හත්වලාභීත්වයත් සමඟ ම පුද්ගලයා ‘අර්හ’ හෙවත් පූජාවට සුදුසු වන බව බුදුදහමෙන් පෙනේ. මෙය දුක සේ ළඟා කර ගත යුතු තත්ත්වයකි. තථාගතයන් වහන්සේගේ දේශනා ඇසුරෙන් අර්හත්වය පිළිබඳ විමර්ශනයක යෙදීම මෙහි අභිලාෂයයි.

පෙළ දහමට මෙන්ම අට්ඨකථාවන්ට අනුව, අර්හත්ඵලලාභී උතුමෝ ත්‍රිභේදගතය හ.මේ ත්‍රිවිධ උතුමන් ‘අරහත්ත’යන නාමයෙන් වෙසෙසා දක්වනු ලැබේ.මේ සඳහා බුද්ධ,පච්චේකබුද්ධ, අරහත්තබුද්ධ, යන ශබ්දපෙළ දහමෙහි දැක්වේ.මේ උතුමන් වහන්සේ තත්ත්වය සහ ඥානය අනුව සමාන නොවුණද ලබන්නා වූ විමුක්තිය එකක් ම වෙයි. නිර්වාණය, කාල, අවකාශ, හේතුත්ව යන පදාර්ථයන්ගෙන් විනිර්මුක්තය, අනිර්වචනීය ය. සුත්තනිපාතයෙහි උපසීව මානව ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුරට අනුව, සිසිල් බවට පැමිණි පුද්ගලයාගේ (අර්හත්ඵලයට පැමිණි) විඤ්ඤාණය,නිවා දමන ලද ගිනිදැල්ල කොහි පවතීදැයි දැන ගත නොහැකි වන්නාක් මෙන් අභාවයට යන බවත්, සිදුවූ දෙයක් දැන ගත නොහැකි බවත්, ප්‍රකාශ වේ.

එබඳු පුද්ගලයාගේ ස්වභාව “සීති සියා විමුත්තෝ” යන පදයෙන් විශේෂණ වේ. එසේ සිහිල් වී නාමකායෙන් මිදුණා වූ අර්හත් පුද්ගලයාට මිම්මක් නැත. යමකින් ඔහු ගැන කතා කළ හැකිවේද, එය ඔහුට නැත. සියලු ධර්ම සම්පූර්ණයෙන් ම විනාශ කරන ලද කල්හි, සියලු වාද මාර්ග ද විනාශ කරන ලද්දේ වේ.

මේ සූත්‍ර විග්‍රහයට අනුව කාල, දේශ, අවකාශ, හේතුයන පදාර්ථ තත්ත්වයන් අර්හත් පුද්ගලයා සම්බන්ධයෙන් නො යෙදේ. අර්හත් පුද්ගලයා පහළ වන්නේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයෙන් අනතුරුව ය. උන්වහන්සේ හැඳින්වීම සඳහා පෙළෙහි ‘අරහං සම්මා සම්බුද්ධෝ’ යන පදය භාවිත වේ. ‘අර්හත් සම්‍යග් සම්බුද්ධ’ යන්න එහි අර්ථය වන අතර එසේ සම්‍යග් සම්බුද්ධ වන්නේ එබඳු පුද්ගලයකුගේ පහළ වීම ලොව දුර්ලභ වන හෙයිනි. (පාතුභාවො දුල්ලභො ලොකස්මිං) ඒ දුර්ලභ පුද්ගලයා ආශ්චර්ය මනුෂ්‍යයෙකි. (අච්ඡරිය මනුස්සො) එමෙන්ම අද්විතීය වේ. (අදුතියො) අසහාය වේ. (අසහායො) අප්‍රතිම වේ (අප්පටිමො ). දෙපා ඇතියනට අග්‍රව උපන්නේ වේ (දිපදානං අග්ගො) මේ වචන මඟින් අර්හත්වය හා බැඳුණු බුදුරදුන්ගේ සුවිශේෂත්වය ප්‍රකට වේ.

අංගුත්තර නිකායේ එම සූත්‍රයට අනුව,මේ අසමසම පුද්ගලයාගේ පහළ වීමත් සමඟ ලෝකයෙහි ඥාන චක්‍ෂුසයත්, ප්‍රඥා චක්‍ෂුසයත් පහළ වූ බව ප්‍රකාශ වේ. එපමණකුදු නොව සිවුපිළිසිඹියාවන්ගේ පසක් කිරීම, අනේක ධාතුන්ගේ (අටළොස් වැදෑරුම්) ප්‍රතිවේදය, විද්‍යා විමුක්ති ඵලයන්ගේ සාක්ෂාත් කිරීම සහ සෝතාපත්ති, සකෘදාගාමී, අනාගාමී, අර්හත් ඵලයන්ගේ සාක්‍ෂාත් කිරීම එහි ප්‍රතිඵලයක් බව පිළිගැනේ. ඒ අනුව අර්හත්වය පහළ වන්නේ බුද්ධත්වය අවබෝධ කිරීමත් සමඟ ම බව තහවුරු වේ.

අර්හත් පුද්ගලයා ‘ආර්ය’ යන නාමයෙන් වෙසෙසා දැක්වීම බුදුසමයේ අනන්‍ය වූ ලක්‍ෂණයකි. ප්‍රාග් බෞද්ධ භාරතයෙහි මේ පදය භාවිත වූයේ මනුෂ්‍ය වර්ණයක් හැඳින්වීම සදහා ය. වෛදික යුගයේ දී එය වර්ණාශ්‍රම ධර්ම හා සම්මිශ්‍රණය විය. ශුද්‍ර වර්ණයෙන් අනෙක් වර්ණයන් විශේෂණ කොට දැක්වීම සඳහා මේ පදය භාවිත වුවත් බුදුසමයෙහි එය අර්ථකථනය කළේ ‘උතුම්’ යන අර්ථයෙනි. මේ නිර්වචනයට අනුව ‘ආර්ය’ යන ගෞරව පදයෙන් වෙසෙසා දැක්වීම සඳහා පුද්ගලයා ආර්ය ගෝත්‍රිකයකු වීම අවශ්‍ය නොවීය.ගෝත්‍රය වශයෙන් ආර්ය,අනාර්ය යන කවර පුද්ගලයකු වූවද, ධර්මාධිගමය කළේ නම්, අර්හත් ඵලයට පත් වූයේ නම් මාර්ගඵලාවබෝධය කළේ වී නම් ‘ආර්ය ‘ යන පදයෙන් වෙසෙසා දැක්විය හැකිය.මෙම නව අර්ථ විග්‍රහය තුළින් භාරතීය චින්තනයෙහි සුවිශේෂ පරිවර්තනයක් සිදු කිරීමට බුදුරජාණන් වහන්සේට හැකි විය.

‘ආර්ය’ යන පදයට අර්ථ සපයන සුත්ත නිපාත අටුවාව මෙසේ දක්වයි. “අනයෙ න ඉරීයතීති අරියො” යනුවෙන් පිරිහීමේ ඉරියව් ප්‍රකට නොවන උතුමා ආර්ය නම් වේ.උපක්ලේෂ ප්‍රහීණ කළ අතිශයින්ම පාරිශුද්ධ වූ යන අර්ථයෙන් ආර්ය යයි ව්‍යවහාර වේ. නිර්දෝෂී බව ආර්ය යැයි ද කෙලෙස්වලින් වෙන් වූයෙන්, පිරිහීමේ ඉරියව් නොපැවැත්වීමෙන් සහ දියුණුවේ ඉරියව් පැවැත්වීමෙන් මෙන් ම දෙවියන් සහිත ලෝකයෙන් නොබැඳීමෙන් ද බුදු, පසේබුදු, මහරහත් උතුමෝ ආර්ය නම් වන්නාහ. සෝවාන් ආදී ඒ ඒ මාර්ගයන්ට ඇතුළත්ව, ක්ලේශ ධර්මයන්ගෙන් වෙන්වීමෙන්, ආර්ය ප්‍රතිලාභය කිරීමෙන් ආර්ය නාමය ලැබීමට සුදුසු වේ.අට්ඨකථාවන්හි ඇතුළත් මෙම අර්ථ නිරූපණ මඟින් විෂද වන්නේ ක්ලේෂ ධර්මවලින් මුළුමනින්ම මිදුණු, ගුණයෙන් පරිහානියට පත් නොවූ ශ්‍රේෂ්ඨ පුද්ගලයා ආර්ය යන පදයෙන් වෙසෙසා දක්වා ඇති බව යි. බුදුරජාණන් වහන්සේ මෙන් ම පසේබුදු සහ අර්හත් උතුමෝ උත්තම චරිතවලින් ප්‍රතිමණ්ඩිත වෙති. මේ ආර්ය උතුමන් වහන්සේ බ්‍රහ්මභූ®ත, අනාසව, අනුපලිත්ත, අන්තිමදේහධාරි, කතකිච්ච, ඛීණාසව, ඕහිතභාර, කතකරණිය, පරික්ඛීණ භව සංයෝජන, පුනබ්භව විප්පමුත්ත,සම්මදඤ්ඤාවිමුත්ත යනාදී විශේෂණ පදවලින් හඳුන්වන ලද බව පෙළ දහම පරීක්‍ෂා කිරීමේදී සනාථ වේ. මේ නිසා භාරතීය දර්ශන සම්ප්‍රදායට නව වචන කෝෂයක් එකතු වූ අතර එය දාර්ශනික පාරිභාෂික ශබ්ද මාලාවකට මෙන් ම භාරතීය වාග්විද්‍යාවේ සංවර්ධනයටද ප්‍රමාණාත්මක මෙහෙවරක් සිදු කර ඇත.

මේ එක් එක් වචනයන්හි අර්ථ විශ්ලේෂණය කිරීමේදී අර්හත් ඵලලාභී උතුමන්ගේ ජීවන ප්‍රතිපදාව පිළිබඳ විවිධාකාර පැහැදිලි කිරීම් අනාවරණය කර ගත හැකිවේ. ලෝකෝත්තර තත්ත්වයෙන් බලන කල අර්හත් ඵලලාභීහු ආධ්‍යාත්මික වශයෙන් ශ්‍රේෂ්ඨ තත්ත්වයක් හිමි කර ගත් උත්තමයෝ වෙති. ඒ නිසා ම උන්වහන්සේ බ්‍රහ්මභූ®ත යන සුවිශේෂ නාමයෙන්ද හඳුන්වා ඇත. බ්‍රහ්මභූ®ත යන්නෙහි අර්ථය ද ශ්‍රේෂ්ඨ වූ පුද්ගලයා යන්නයි. ඉන් අදහස් වන්නේ දෙවියන්, බ්‍රහ්මයන්, මිනිසුන් යන සියලු ජන කොට්ඨාසයන් අතර අග්‍ර වූ,උත්තම වූ පුද්ගලයා යන අර්ථයයි.

බහුබ්බීහි සමාසයට අයත් පදයක් වන අනාසව යන්නෙන් ‘ න ආසවො යස්ස සො අනාසවො’ යනුවෙන් ආසවයන් නැත්තේ යමකුට ද හෙතෙම අනාසව නමින් හඳුන්වයි. විසුද්ධිමග්ගයෙහි, භවාග්‍ර නොවූ පුද්ගලයාගේ තුන්දොරින්,සිදුරු කරන ලද කළයකින් නිතර ජලය වැගිරෙන්නාක් මෙන් සාංසාරික දුක්ඛය වගුරුවන නිසා ආස්‍රව නම් වන බව දැක්වේ. කාමරාග, භවරාග, මිත්‍යා දෘෂ්ටි, අවිජ්ජා යන පදයන්ට පර්යාය පදයක් වශයෙන්ද මෙය දැක්විය හැකිය. චිරපරිවාස (බොහෝ කල් පැස වු) මදිරාව (මත්පැන්) බඳු හෙයින්ද ආශ්‍රව යයි කියනු ලැබේ. පෙළ දහමට අනුව කාමාසව, භවාසව,දිට්ඨාසව, අවිජ්ජාසව වශයෙන් ආසවධර්ම සතරක් වේ. අර්හත් උතුමෝ මේ සියලු ආකාර ආසව ධර්මයන් ප්‍රහීන කළ හෙයින්ද ඒවා ශේෂ නොවන පරිදි මුලින් උදුරා දැමූ හෙයින් ද නැවත නූපදින ලෙස ඒවා අවසන් කළ හෙයින් ද ‘අනාසවෝ’ නම් වෙති. තථාගතයන් වහන්සේ ද බෝ මැඩ දී වෙසක් පුර පසළොස්වකදා අලුයම අවසාන වශයෙන් ආසවක්ඛය ඤාණය ලැබූ සේක. මෙය බුදුසමයට පමණක් අනන්‍ය වූ සාධාරණ ඥානයක් වශයෙන් සැලකේ. අර්හත්වය ලබන තැනැත්තා ඒකාන්ත වශයෙන් ම ආසවයන් ක්‍ෂය කළ යුතු ය. එසේ නොවන යමකු වේ නම් හෙතෙමේ අර්හත් ඵලලාභියකු නොවේ.

පටිසම්භිදා වග්ගයට අනුව පුද්ගලයා සෝවාන් මාර්ගයට පත් වූ පසු සියලු දිට්ඨාසවක්‍ෂය වේ.අපායගාමී වීමට නියත කාරණා වන කාමාසව, භවාසව, අවිජ්ජාසව ද ප්‍රහීන වේ. සකෘදාගාමී තත්ත්වයට පත්වීමේ දී ඕලාරික කාමාසව ප්‍රහීන වන අතර ඒ සමඟම පවත්නා භවාසව, අවිජ්ජාසවද ක්‍ෂය වේ.අනාගාමි මාර්ගයට පත්වීමත් සමඟ කාමාසව ක්‍ෂය වේ. ඒ හා සමඟ පවත්නා භවාසව සහ අවිජ්ජා යන ආස්‍රවයන්ද ක්‍ෂයවේ.අර්හත් මාර්ගයේදී සියලුම භවාසව සහ අවිජ්ජාසවයන්ද මුළුමනින්ම ප්‍රහීන වේ. මෙලෙස සියලු ආකාරයේ ආශ්‍රවයන් ප්‍රහීණ කළේය යන අර්ථයෙන් අර්හත් පුද්ගලයා අනාසව යනුවෙන් හඳුන්වන බව අට්ඨකථාචාරීන් වහන්සේගේ මතයයි.

බහුබ්බීහි සමාසයට අයත් අනුපලිප්ත යන පදයෙන් ද අර්හත් පුද්ගලයා අදහස් වන බව අටුවා අර්ථකථනවලින් සනාථ වේ. ‘න උපලිප්තො යෙන සො අනුපලිප්තො’ උපලිප්ත නොවූයේ යමකු විසින්ද හෙතෙම අනුපලිප්ත වශයෙන් සැලකේ. උපලිප්ත යන කෘදන්ත පදයෙන් ආලේපිත යන අදහස ගම්‍ය වේ.අනුපලිප්ත පදයෙන් එහි න්‍යාෂ්ත්‍යාර්ථ බව හැඟෙයි. තණ්හා දිට්ඨී ආදි ක්ලේෂ ධර්මයන්ගෙන් ආලේප නොවු පුද්ගලයා අනුපලිප්ත නම් වේ. එසේ ආලේප නොවූ පුද්ගලයා නෙළුම් පතක් මත පතිත වූ ජල බිංදුවක් සේ නො ඇලෙන්නෙකි. ජලයේ හටගත්, එහිම වර්ධනය වු නෙළුම් මලක් ජලයෙන් මතුපිටට පැමිණ එම ජලය ස්පර්ශ නොකොට පවතින්නාක් මෙන් අර්හත් පුද්ගලයා ද පෘථග්ජන මිනිසුන්ගෙන් යුක්ත සමාජයෙහි ඉපිද එහි ම හැදී වැඩී සමාජය ඉක්මවා එහි නොගෑවී වාසය කරයි. එම අර්ථයෙන් අනුපලිප්ත යන පදය අර්හත් පුද්ගලයා සඳහා ව්‍යවහාර වේ.

රාග , ද්වේශ, මෝහාදී අකුසල ධර්මයන්ගෙන් ආතුර වූ පුද්ගලයන් අතර අනාතුර ව වාසය කරමින් පද්මාකාර ජීවිතයක් ගත කරන හෙයින් අර්හත් උතුමන් වහන්සේ අනුපලිප්ත වෙති. අන්තිමදේහධාරී යන්න අර්හත් පුද්ගලයාට තවත් පර්යාය පදයකි. පුනර්භවය අවසන් කිරීමෙන් භවයේ අවසාන පශ්චිම දේහය දරන්නේ අන්තිම දේහධරො නම් වේ. එමෙන් ම බ්‍රහ්මචරිය වාසයෙන් බ්‍රාහ්මණ ධර්මයන්ගේ පරිපූර්ණත්වයෙන් පශ්චිම ආත්මභාවය දරන අර්ථයෙන්ද අන්තිමදේහධාරි වන බව ඉතිවුත්තක අට්ඨකථාවේ දැක්වේ. පුනර්භවය අවසන් කිරීමෙන් භවයේ පශ්චිම දේහය හෙවත් ශරීරය දරන අර්ථය ගම්‍ය වන බව ඉතිවුත්තක අටුවාවෙන් තවදුරටත් විෂද වේ.

ජාතක අටුවාවට අනුව, සිද්ධාර්ථ කුමාරයා උප්පත්තිය ලැබූ අවස්ථාවේ පැවැත්වූ සිංහනාදයෙහි තමන්ගේ මේ අවසාන ජාතිය බවත්, නැවත ඉපදීමක් නොමැති බවත් තහවුරු වේ. මජ්ඣිම නිකායේ අග්ගිවච්ඡගොත්ත සූත්‍රයෙහි තථාගතයන් වහන්සේගේ ස්වභාව විග්‍රහ කිරීමේදී තණ දර ආදියෙන් හටගත් ගින්න ඒවා දැවී යෑමෙන් නිවී ගිය පසු එම ගින්න ගිය තැනක් සඳහන් කළ නොහැක්කාක් මෙන් තථාගතයන් වහන්සේ ද රූප, වේදනාදී පඤ්චස්කන්ධයන් නැති වීමෙන් නැවත භවයක් ඇති කර නොගන්නා තත්ත්වයට පත් වන සේක්. මෙයින් පැහැදිලි වන්නේ අර්හත්ඵලලාභී උතුමන් අන්තිම දේහය දරන අතර නැවත උපතක් නොලබන බව ය. ‘කතකිච්ච’ යන්න ද අර්හත් උතුමන් සඳහා ව්‍යවහාර වන පදයකි. අටුවා විග්‍රහයන්ට අනුව ක්‍රියාව කරන ලද්දේ යමකු විසින් ද හෙතෙම කතකිච්ච වශයෙන් ද සතර මාර්ග ඵලලාභිත්වයෙන් කටයුතු කොට සිටියේ කතකිච්ච යනුවෙන් ද අර්ථ විවරණය කොට තිබේ. බුද්ධාදී රහත් උතුමෝ කටයුතු, නොකටයුතු දෙය ද ප්‍රහීන කළා වූ උතුමෝ වූහ. එම නිසා උන්වහන්සේ කතකිච්ච නාමයෙන් ව්‍යවහාර කිරීමට සුදුස්සෝ වෙති.

කළ යුතු, නොකළ යුතු දේ මනැසින් මෙනෙහි කිරීම අර්හත් ඵලයට පත් උතුමන්ගේ ලක්‍ෂණය වේ.විශේෂයෙන් සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් යන මාර්ගාංගයන් පරිඤ්ඤාණ ,පහීන, සච්ජිකත, භාවිත යන ආකාරයට කළ යුතු දේ කළ හෙයින් උන්වහන්සේට නැවත කළ යුතු දෙයක් නොමැත. උන්වහන්සේ සෝවාන් ආදි මාර්ගයන්ගෙන් දුක්ඛාර්ය සත්‍යය පිරිසිඳ දත්හ. අනතුරුව දුක්ඛසමුදයාරිය සත්‍යය ප්‍රහීන කළහ. එමෙන් ම දුක්ඛ නිරොධාර්ය සත්‍යය දැන දැක පසක් කරන ලද අතර දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදා ආර්ය සත්‍යය වැඩූහ. නො එසේ නම් භාවිත කළහ.මේ සියල්ල මැනැවින් සිදු කළ නිසා ‘කතකිච්ච’ නාමයෙන් සැලකිය හැකිය.

රහතන් වහන්සේ විශේෂ කොට දැක්වීම සඳහා “ ඛීණාසවො’ යන පදය ව්‍යවහාර වේ. ක්‍ෂය කරන ලද ආශ්‍රව ඇත්තේ ඛීණාසව වශයෙන් නිරුක්ති සපයයි. විශේෂයෙන් කාමශ්‍රව ආදී චතුර්විධ ආශ්‍රවයන් ක්ෂය වූයේ, සිඳුණේ, ඉපදීමට නුසුදුසු තත්ත්වයට පත් වූයේ , ඤාණය නමැති ගින්නෙන් ආශ්‍රවයන් දවන ලද්දේ “ඛීණාශ්‍රව“ වශයෙන් හැඳින්විය හැකිය. බහුල වශයෙන් මෙම වචනය පෙළ දහමෙහි යෙදී ඇත්තේ රහතන් වහන්සේ විශේෂකොට දැක්වීම සඳහාය. එහෙත් සුත්ත නිපාතයේ කසීභාරද්වාජ සහ සුන්දරික භාරද්වාජ යන සූත්‍රයන්හි බුදුරජාණන් වහන්සේ සඳහාද මෙම වචනය ව්‍යවහාර වේ. ඒ අනුව පොදුවේ අර්හත් උතුමන් සඳහා ම මෙම පදය භාවිත වන්නට ඇත. බුදු, පසේ බුදු සහ මහරහත් යන උතුමන් සියල්ලෝම චතුර්විධ ආශ්‍රවයන් ප්‍රහීන කළා වූ උත්තමයෝ වෙති. ඒවා නැවත නූපදින තත්ත්වයට පත් කරන ලද අතරම ඤාණය නමැති ගින්නේ දවන ලද්දේ ද වේ.

මේ ලිපියෙහි ඉතිරි කොටස 17 වනදා පත්‍රයේ පළවේ.