Print this Article


මිසදිටු අඳුර - 3

මිසදිටු අඳුර - 3

කයක් නොමැතිව සිතක් හුදෙකලා වී ඇති හෙයින් එහි ආත්මයක් ඇතැයි තර්කයක් ඉදිරිපත් කර ඇත. මෙම කාරණාව පටලවා නොගත යුත්තකි. සිත සමඟ කය ද ඇතිමුත් එම කය අප කතාකරන ඝනබල ශරීරයක් නොව, අක්‍රීය වූ සියුම් වූ ශරීරයකි. මෙහිදී සිත තරම් කය ප්‍රබල නොවේ. එමෙන්ම කය මිස සිත නොමැති අවස්ථා ඇති අතර, එහිදී සිත අක්‍රිය වී කය ප්‍රබල වේ. ඉහත කී අවස්ථා දෙකේ දී ම ධර්මශ්‍රවණයට බාධා ඇතිවේ

මේ ලිපියේ දෙවන කොටස පෙබරවාරි 03 දා පත්‍රයේ පළ විය. අද පළවන්නේ එහි අවසන් කොටසයි.

අද ගුණදම් පුරණ භික්‍ෂූන් වෙත යන සමහර බෞද්ධයන් උන්වහන්සේලාගෙන් විමසන්නේ තමන්ගේ අනාගතය කිව හැකි ද? එසේ නැතහොත් තමන් සිතන දේ කිව හැකිද? ආදී වශයෙන් බොළඳ ගැටලු පිළිබඳවය.

බුදුරදුන් වහන්සේගේ ශාරීරික ධාතු තැන්පත් කර ඇති සෝමාවතිය, දළදා මාලිගාව වැනි උත්තරීතර සිද්ධස්ථානවල යම් යම් අවස්ථාවල බුදුරැස් විහිදේ. දළදා වහන්සේ වැඩම කරන අවස්ථාවලදී ධාරානිපාත වැසි ඇද හැලෙයි. එවන් විශේෂතා බුදුරදුන් වෙත ඇත. අද එවන් උතුම් බුද්ධ ලක්‍ෂණ තමන්ගේ කුණුවන ශරීරයට ආරූඪ කරගනිමින් කටයුතු කරන පුද්ගලයන් හා ඒ හරහා තමන්ගේ ආධ්‍යාත්මය උසස් කරන බෞද්ධ පිරිස යන දෙපිරිසම සිදුකරනු ලබනුයේ මහා අපරාධයකි. බුදුදහමෙන් අප විජ්ජා පෙන්වීම අපේක්‍ෂා නොකළ යුතු අතර, බුදුදහමට අනුව අපගේ ඇතුළාන්තය සකස් කොට ගෙන විමුක්තිය සලසා ගැනීමට උත්සාහවන්ත විය යුතු ය.

සිල්ව්‍රත නිසා ආඩම්බර නොවන්න. විවිධ ධ්‍යාන ලැබූ, මාර්ගඵල ලැබූ භික්‍ෂූන් වහන්සේලා හැකිතරම් ඉක්මනින් කෙලෙස් නසා රහත් බව ලැබීමට උත්සාහවන්ත නොවී ‘හත්‍ථං පත්තං වෙදං’ යනුවෙන් රහත් බව තමන්ගේ ඇතැයි මානයෙන් ක්‍රියා කළ අවස්ථා ඔබට මතක ඇත.

සෝවාන් ඵල ලැබූවෙකුගේ උපරිම භව ගණන හතකි.

සකෘදාගාමී ඵල ලැබූවෙකුගේ ඉදිරි භව ගණන උපරිම එකකි.

අනාගාමී ඵල ලැබූවෙකු ශුද්ධාවාසවලට ගමන් කරනවා විනා යළි මනුලොවට පැමිණීමක් නැත.

අර්හත් බව ලැබුවෝ මේ භවයේම සසර අවසන් කරති.

මාර්ගඵල ලබා ඇතැයි කිසිවෙක් ආඩම්බර නොවිය යුතුය. අශුචි ස්වල්පයක් වුවද, අශුචි ගොඩක් වුවද එහි දුගඳ සමාන වන්නා සේ සසර කෙටි වුවද සසර දිගුවුවද සසර දුක එක සමාන වේ. සසර දුක් නිවා ගැනීම පිණිස කටයුතු කරනු විනා ලෝකයා විසින් ඉල්ලුම්කරන ලෝකයා විසින් අගය කරනු ලබන විවිධ ධ්‍යාන ප්‍රාර්ථනා නොකරන ලෙසත්, ධ්‍යාන ලබා යළි පරිහානියට යාමට ඉඩ ඇති බවත් බුදුන්වහන්සේ දේශනා කර ඇත.

උක්‍ඛිතවා පුඤ්ඤතෙජෙන
කාමරූපගතිඞ්ගතා
භවග්ගතමපි සමපත්තා
පුනාගචඡන්ති දුග්ගතිං”

යනුවෙන් පින් මහිමයෙන් බ්‍රහ්ම ලෝකයට ගියද යළිත් දුගතිගාමී වීමට ඉඩ ඇති බව ප්‍රකාශ කර ඇත.

ධ්‍යාන ලැබූවෙක්ට බුදුකෙනෙකුන් මඟහැරෙන්නට අවස්ථාව උදාවිය හැකි ය. සිදුහත් කුමරුන්ට නම් තබන දින පැමිණි කාලදේවල තවුසා මුලින් සිනහ වී පසුව හැඬූ බව ප්‍රකාශිත ය. සිදුහත් කුමරු බුද්ධත්වය ලබන අවස්ථාව වන විට තමන් බ්‍රහ්ම ලෝකයේ සිටින හෙයින්, තමාට බුද්ධෝත්පාද කාලයක මිනිස් ලොව විසීමට අවස්ථාව නොලැබෙන හෙයින් තමාට සංවේගයක් හටගත් බැව් කාලදේවල තවුසා පවසා ඇත. අසඤ්ඤ තලයේ ඉන්නවුන්ට ධර්මශ්‍රවණයට හැකියාව නොලැබෙන බව ඉන් පැහැදිලි ය. ධර්ම ශ්‍රවණයට අවස්ථාව නොලැබෙන ක්‍ෂණ සම්පත්තියෙන් තොරවූ ලක්‍ෂ 8 ක් පිළිබඳව අප මෙම ග්‍රන්ථයේ ‘තෘෂ්ණාව නැතිකරමු’ යන පරිච්ඡේදයේ පැහැදිලි කර ඇත. බ්‍රහ්මලෝකවල ඉපදීම ද ධර්ම ශ්‍රවණයට බාධාවක් වන බව අප ඉගෙන ගෙන ඇත. සිත මිස කය නැති බඹලොව හා කය මිස සිත නැති බඹලොව යනුවෙන් ඉගැන්වීමක් ඇත. මෙම කාරණය සමහරු බුදුදහම ආත්මවාදයක් හා භෞතික වාදයක් ලෙස ගනිති.

කයක් නොමැතිව සිතක් හුදෙකලා වී ඇති හෙයින් එහි ආත්මයක් ඇතැයි තර්කයක් ඉදිරිපත් කර ඇත. මෙම කාරණාව පටලවා නොගත යුත්තකි. සිත සමඟ කය ද ඇතිමුත් එම කය අප කතාකරන ඝනබල ශරීරයක් නොව, අක්‍රීය වූ සියුම් වූ ශරීරයකි. මෙහිදී සිත තරම් කය ප්‍රබල නොවේ. එමෙන්ම කය මිස සිත නොමැති අවස්ථා ඇති අතර, එහිදී සිත අක්‍රිය වී කය ප්‍රබල වේ. ඉහත කී අවස්ථා දෙකේ දී ම ධර්මශ්‍රවණයට බාධා ඇතිවේ.

අෂ්ට දුෂ්ටක්‍ෂණ අතර වන ‘පංචේන්ද්‍රිය වෙකලලං’ හෙවත් අක්‍රීය පංචස්කන්ධය යන කාරණය ගෙන බලමු. මේ පිළිබඳව බුදුන්වහන්සේ මහාතණ්හාසංඞ්ඛය සූත්‍රයේ දී කතා කර ඇත.

“අඤ්ඤත්‍ර පචචයා නන්‍ථි විඤඤාණසස සමභවො” විඤ්ඤාණය සෙසු ප්‍රත්‍යවලින් තොරව හුදකලාව නොසිටියි. සිත සමඟ රූප ද තිබිය යුතු වේ. රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන කාරණාවලදී සංඥා, සංඛාර හා විඤ්ඤාණ මානසික තත්ත්වයන් වේ. රූපය භෞතිකය. එම භෞතිකමය ඇසුරු කොට සිත පවතින අතර, සිත ශක්තිමත් වී කය දුර්වල වීම හේතුවෙන් සිත මිස කය නැති බඹලොව වශයෙන් හැඳින්වේ.

රූපය ගලක් මෙන් ශක්තිමත් තිබී, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ ශක්තියෙන් හීන හෙයින් කය මිස සිත නැති තත්ත්වයක් හටගනී. මේ සඳහා සරල උදාහරණයක් දැක්විය හැකිය. බතක් පිසීමට හාල් මෙන්ම වතුර ද අවශ්‍ය ය. හාල් ප්‍රමාණය පිසෙන්නට අවශ්‍ය පමණට වඩා ජලය වැඩිවූ කල්හි එහි ඉදෙන්නේ බතක් නොව කැඳය. හාල් ඉදෙන්නට ප්‍රමාණවත් ජලය තිබූ කල්හි එහි පිසෙන්නේ බතකි. කැඳ හා බත යන ආහාර වර්ග දෙකටම හාල් හා ජලය යන එකම සංයෝගයක් ඇතුළත් වන මුත්, එම සංයෝගය අනුපාතයට අනුව වෙනස්වනු ඇත.

එසේ කයේ අනුපාතය අඩුවී සිත සියුම් වූ කල්හි සිත මිස කය නැති තත්ත්වය ද සිතෙහි අනුපාතය අඩු වී කය සියුම් වූ කල්හි කය මිස සිත නැති තත්ත්වය ද උපදියි. මෙසේ අරූපාවචර බ්‍රහ්මලෝකවල ඉපදුන පුද්ගලයන්ට ධර්මාවබෝධය කළ නොහැකි ය.

අසඤ්ඤතලයේ හෙවත් ප්‍රත්‍යෙක දේශවල ඉපදුන පිරිසට ද ධර්මාවබෝධයට අවස්ථාව නොලැබේ. ලෝකයේ ඇන්ටාර්ටික්, ආක්ටික් ද්‍රවාසන්න රටවල, අධික ශීතල, අධික උෂ්ණය පවතින රටවල බුද්ධි මට්ටම හීනවන හෙයින් ධර්මාවබෝධය නොලැබේ. එහි මිථ්‍යාදෘෂ්ටිය ප්‍රබලව දක්නට ඇත.

ලංකාවේ සම සීත දේශගුණයක් ඇති අනුරාධපුර, සිතුල්පව්ව වැනි ප්‍රදේශවල රහතන් වහන්සේලා ඉතා විශාල ප්‍රමාණයක් වැඩ සිටි බැව් අපි දනිමු.

“චක්ඛුං අනිච්චං, රූපං අනිච්චං” යන කාරණ අවබෝධ කර ගැනීමට ඉන්ද්‍රිය විකල්වූ අයට නොහැකි ය.

දරුණු මිථ්‍යාදෘෂ්ටිකයන්ට ද ධර්මාවබෝධය ලැබිය නොහැකි බව අපි සාකච්ඡා කළෙමු. ඔහුට යමක් අවබෝධ කරගැනීමට අපහසු කාරණාවකි. බුදුහාමුදුරුවෝ ආත්මය පමණක් නොව, ආත්මවාදය (වචනය) පවා පිළිකෙව් කළ සේක.

‘එතං මම එසො හමසමි එසො මෙ අතතාති’ ආදී වශයෙන් ගත් කල්හි එහි මිථ්‍යා දෘෂ්ටියක් ඇත. ඒ හෙයින් බුදුදහමේ අන්තර්ගත ධර්මය නියමාර්ථයෙන් ගත යුතු අතර, ධර්මය වරදවා වටහා ගැනීම සර්පයෙකු වල්ගයෙන් අල්වා ගත්තා මෙනි. වල්ගයෙන් අල්ලාගත් කල්හි සර්පයා දෂ්ට කිරීම වැළැක්විය නොහැකි ය.

මිථ්‍යාදෘෂ්ටික සමාජයක් තුළ, මිථ්‍යාදෘෂ්ටිය පි‍්‍රයකරන බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා පවා විසූ සමාජයක් තුළ, බුදුරදුන් වහන්සේ දේශනා කළ සම්මා දෘෂ්ටියේ ඇති වැදගත්කමත් පිළිබඳව අප මෙහිදී සාකච්ඡා කළෙමු.

ඒ හෙයින් මිථ්‍යාදෘෂ්ටිය හඳුනාගෙන, වැරැදි දැකීම අතහැර බුදුදහමින් පෙන්වන සම්මා දෘෂ්ටිය සොයායාමට බෞද්ධ අපට විශාල වගකීමක් ඇත. ඒ සඳහා අවශ්‍ය ධර්මය බුදුබණෙහි ඇතුළත් වේ. ඒ ධර්මය නිවැරැදිව ග්‍රහණය කොට, ඒ හරහා විමුක්තිය සලසා ගැනීමට අවශ්‍ය කරන වැඩ පිළිවෙළ සාර්ථක කර ගැනීමට සැවොම උත්සාහ ගත යුතු වේ.