Print this Article


මුළු ලොවෙහි අධිපතිකමටත් වඩා උතුම් සෝවාන් ඵලය

මුළු ලොවෙහි අධිපතිකමටත් වඩා උතුම් සෝවාන් ඵලය

මෙම උත්තරීතර තත්ත්වයට පත්වීමේ දී පුද්ගල සන්තානගතව තිබෙන සංයෝජන ධර්ම තුනක් සමූලෝත්පාඨනය වේ. එනම් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන තුනයි. ඒ සමඟම අපායගාමී අකුසල ශක්තිය ද ප්‍රහීණවෙයි. සෝවාන් පුද්ගලයා කිසිවිට සතර අපායට නොවැටේ. ඔහු සුගති භාවයෙහි ද සත්වරකට වඩා නූපදියි. අටවැනි භවයක් ඔහුට නැත. ක්‍රමයෙන් ප්‍රතිපදාවට වඩා ඔහු සසර කෙළවර දකියි

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
පථව්‍යා ඒකරජ්ජේන
සග්ගස්ස ගමනේනවා
සබ්බ ලෝකාධි පච්චේන
සෝතාපත්ති ඵලං වරං

සුපින්වතුනි,

ලෝකය විවිධය, විසමය, ලෝ වැසියෝ ද විවිධ විසම චින්තා ඇත්තෝ ය. නානත්තකායා නානත්ත සඤ්ඤා යන ධර්ම පාඨයෙන් ද එය අවධාරණය කරනු ලබයි. කෙනෙක් එක් දෙයක් අගය කරති. තවකෙනෙක් වෙනත් දෙයක් අගයති. මෙලෙස ලොව යථාර්ථය නොදන්නෝ ලෞකික දේවල්ම අගය කරති. උසස් යැයි සලකති. ගේ දොර, ඉඩකඩම්, යාන වාහන, රන් රිදී, මුතු මැණික්, මිල මුදල් ආදී අචේතනික දේ පිළිබඳත්, දූ දරු නෑදෑ හිත මිතුරන් ආදී සචේතනික වස්තු පිළිබඳත් විවිධාකාරයෙන් අගය කොට කතා කිරීමට ඔවුහු පුරුදුව සිටිති. එපමණක් නොව තාන්න, මාන්න, ගරු නම්බු, ගෞරවනාම ආදිය කෙරෙහිත් ඔවුහු තදින් ඇලී සිටිති.

එහෙත් ධර්මයෙන් අපට අනුශාසනා කරන්නේ ඒවාට වඩා උත්තරීතර තත්ත්වයක් ලබාගැනීම සඳහා ය. ඉහත සඳහන් ගාථා ධර්මයෙන් ඒ බව මනාව පැහැදිලි වෙයි. එම ගාථාවෙන් දැක්වෙන අදහස මෙසේ ය. ‘සක්විති රජකම ලැබුණටත් වඩා ස්වර්ග ලෝකයට යෑමටත් වඩා, මුළු ලොවට දරන අධිපතිකමටත් වඩා සෝවාන් ඵලය ඉතා උතුම් ය.

පින්වතුනි, සක්විති රජකම මනුලොව ලැබිය හැකි උතුම් සැපතක් බව සැබෑය. සව් ඉසුරෙන් සපිරි සක්විති රජුට සප්තවිධ රත්නයක් ඔහුගේ පින් මහිමයෙන් පහළ වෙයි. චක්‍ර රත්නය, හස්තිරත්නය, අශ්වරත්නය, මාණික්‍ය රත්නය, ස්ත්‍රී රත්නය, ගහපති රත්නය, සහ පරිණායක රත්නය යනුවෙන් එම රත්නයන් දැක්වෙයි. අතීත භවයන්හි කරන ලද කුසල කර්මවලට අනුව පහළවන මෙම සම්පත් අනුභව කරමින් ඓශ්චර්ය සාගරයෙහි නිමග්නව ඔහුට ජීවත් විය හැකි එහෙත් ඒ සියල්ල අස්ථිරයි. විනාශවන සුළු යි. සනාතව පැවතීමක් නැත.

ස්වර්ග ලෝකවල ඉපදීම ද සැපයක් බව සත්‍යයක්. කාමාවචර, රූපාවචර, අරූපාවචර කුසල බලයෙන් සවිසිවැදෑරුම් ස්වර්ග ලෝකවල උපත ලැබිය හැකි ය. සදෙව් ලොව, සොළොස් රූපාවචර බඹතල සහ සතර අරූපාවචර බඹතල සවිසි ස්වර්ග ලෙස දැක්වේ. මිනිස්ලොව ද ස්වර්ගයක් ලෙස සැලකීමෙන් සියල්ල සත්විසි ස්වර්ගයක් වශයෙන් ගත හැකි ය. ‘ඉනො භො සුගතිං ගචං’ යන පාඨයෙහි සුගතිය යනුවෙන් මිනිස් ලොව අදහස් කළ බව සැලකිය යුතු ය. මේ කවර ලෝකයක උපත ලැබුවත් ඒවා අස්ථිරයි. සදාකාලිකව නොපවතීවියි අනිත්‍ය ස්වභාවයට පත්වෙයි.

එසේම මුළු ලොවට අධිපති බව ලැබුවත් වැඩක් නැත. ඒ කිසි තැන ස්ථිර පැවැත්මක් නැත. සැකෙවින් සැලකීමේ දී ‘ලෝක’ නමින් දැක්වෙන කිසිදු තැනක සදාකාලිකත්වයක් විද්‍යාමාන නොවේ. නිර්වාණ ධාතුව ‘ලෝකුත්තර’ යන ව්‍යවහාරයෙන් හඳුන්වනු ලබන්නේ තත්ත්වයෙන් එතෙරව පවතින නිසායි. එය ස්ථිරය, සදාකාලිකය, සත්‍යයය.

එබැවින් යථෝක්ත ගාථාවෙහි සඳහන් ‘සොතාපත්ති ඵලංවරං’ යන පාඨය පිළිබඳ ඔබ අප සැමගේ විශේෂ අවධානය යොමුවීම වැදගත් ය. එයින් අදහස් කෙරෙන්නේ ලොව සියලු සැපයට වඩා සෝවාන්වීම අතිශයින්ම උතුම් බවය. මෙහි ‘සොත’ යන්නෙන් දැක්වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නමැති සැඩ පහරයි. එයට හසු වූ පුද්ගලයා, නතර වන්නේ උතුම් නිර්වාණ ධාතුව ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් ය. ‘සොත’ වචනය වෙනත් අර්ථයන්හිද යෙදේ. පංච ඉන්ද්‍රියන් හැඳින්වීමේ දී චක්ඛු, සොතාදි වශයෙන් දැක්වෙන තැන ‘සෝත’ වචනය කර්ණේන්ද්‍රියට භාවිත වේ. ඡන්ද සෝතං පරක්තම්ම යන තැන තෘෂ්ණා නමැති සුඛ පහර යන අදහස් ගෙන දෙයි. සෝතාපත්ති යන තැන අරි අටඟි මග නමැති ප්‍රවාහය ගැනේ.

මෙම උත්තරීතර තත්ත්වයට පත්වීමේ දී පුද්ගල සන්තානගතව තිබෙන සංයෝජන ධර්ම තුනක් සමූලෝත්පාඨනය වේ. එනම් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන තුනයි. ඒ සමඟම අපායගාමී අකුසල ශක්තිය ද ප්‍රහීණවෙයි. සෝවාන් පුද්ගලයා කිසිවිට සතර අපායට නොවැටේ. ඔහු සුගති භාවයෙහි ද සත්වරකට වඩා නූපදියි. අටවැනි භවයක් ඔහුට නැත. ක්‍රමයෙන් ප්‍රතිපදාවට වඩා ඔහු සසර කෙළවර දකියි. එසේවීම සඳහා සකදාගාමි, අනාගාමි සහ අර්හත් තත්ත්වයට අනුක්‍රමයෙන් පත්විය යුතු ය. කාම රාග, ව්‍යාපාද සංයෝජන ද්වය සකෘදගාමි විරෝධී දුර්වල වී අනාගාමි ඵල ප්‍රාප්තියේ දී සම්පූර්ණයෙන් ප්‍රහීණ වේ. අනතුරුව උතුම් අර්හත් භාවයට පත්වීම සඳහා උද්ධම්භාගිය සංයෝජන වශයෙන් දැක්වෙන රූප, රාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා යන සංයෝජනයන් ප්‍රහීණ කළ යුතු වේ.

මෙසේ දස සංයෝජන ධර්ම සමුච්ඡේද වශයෙන් ප්‍රහීණ කිරීමෙන් අති උතුම් අර්හත්ඵල සංඛ්‍යාත ආර්ය භූමියට පත් වූ සදාකාලික සැනසිල්ල අත්පත් කර ගනී.

එබැවින් ප්‍රථම ආර්ය භූමිය වූ සෝවාන් ඵලයට පත්වීම යනු සක්විති රජකම ලැබීමටත්, දෙව් ලොව යෑමටත්, මුළු ලොවෙහි අධිපතිකමට පත්වීමටත් වඩා ශ්‍රේෂ්ඨ වේ. ඒ සඳහා අනුවාදීව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව කාරුණිකව සිහිපත් කරනු කැමැත්තෙමි.

පූර්වෝක්ත ගාථා ධර්මය අනේපිඬු සිටුතුමාගේ පුතණුවන් එනම් කාළ සිටුපුත් අරබයා දේශනා කළත් පින්වතුනි, අප සැමදෙනා වෙනුවෙන් දෙසන ලද්දක් බව සැලකිය යුතු යි. ඔබ අප මෙම භයානක සසරේ සැරිසරන්නේ උතුම් ධර්මාවබෝධය සාක්‍ෂාත් නොකළ නිසා ය. එබැවින් ලොව්තුරු සුවය පසක් කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපදා සම්පූර්ණ කරගත යුතු ය. ඒ සඳහා බුදු දහමේ අනු පූර්ව ප්‍රතිපදාවක් දක්වා ඇත එනම් සීල, සමාධි, ප්‍රඥාවයි ආර්ය අෂ්ටාංගික මාර්ගය වශයෙන් විභාග වන්නේ. මෙම ප්‍රතිපදාර්ථ වැඩි එම මාර්ගයේ ගමන් කිරීමෙන් උතුම් ලෝකෝත්තර සුවයෙන් සැනසිය හැකි ය. එය මුළු ලොවෙහි අධිපතිකම ලැබීමටත් වඩා ශ්‍රේෂ්ඨය.