Print this Article


යුද ජයග්‍රහණයෙන් ලද තිළිණය සංඛපාල රජ මහා විහාරස්ථානය

රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ඇඹිලිපිටිය මාර්ගයේ පල්ලේබැද්දටත් ඇඹිලිපිටියටත් අතර මහා මාර්ගය අසල සංඛපාල රජ මහා විහාරස්ථානය පිහිටා තිබෙයි. කඳු වැටියක් පාමුල ගල් පර්වතයක් ආශි‍්‍රතව පිහිටි විහාරස්ථානය ඓතිහාසික වටිනාකමකින් යුක්තය. එසේම පිහිටි පරිසරය රමණීය වෙයි.

විහාරස්ථාන පසුබිම තුළ කටාරම් ලකුණු සහිත ලෙන්කුටි, වෙහෙර විහාරයන්හි නටබුන් ස්තූප, මෙන්ම පැරැණි බෝධි වෘක්‍ෂයක් ද දැක ගැනීමට ලැබෙයි.

මෙම විහාරස්ථානය පිළිබඳව ශිලා ලේඛන වංශ කතා ආදියේ ද සටහන් වන අතර ඉතා රසවත් ජන ශ්‍රැතීන් ද මේ වටා ගොඩනැඟී තිබෙයි. මහා වංශයේ හා ථූප වංශයේ සඳහන් විස්තර අනුව දුටුගැමුණු රජතුමාගේ දස මහා යෝධයන් අතර සිටි ඵුස්සදේව නම් යෝධයා ජීවත් වූයේ සංඛපාල ප්‍රදේශයේ ය.

ඔහු සංග්‍රාමයේදී ජය සංඛ නාද කරමින් දක්‍ෂ දුනුහේවායකු වශයෙන් යුද ජයග්‍රහණයන්ට උරදුන් යෝධයෙක් විය. ජයග්‍රහණයන් වෙනුවෙන් අඬහැර පෑ ඒ වටිනා ජය සංඛය සංඛපාල විහාරයේ කඳු මුදුනේ තැන්පත් කර ඇති බව ජනප්‍රවාදයේ පැවැසෙයි. එසේ තහවුරු කර ගැනීමට තුඩු දෙන හක්ගෙඩියක ලකුණක් පැරැණි ශිලාලේඛනවලට වම් පසින් ඇති කටාරම් ලකුණු යට සටහන් කර තිබෙයි.

මෙම පුදබිමෙහි ක්‍රි.පූර්ව දෙවන ශතවර්ෂයට පමණ අයත් බ්‍රාහ්මී අක්‍ෂර සහිත ශිලා ලිපි රාශියක් දක්නට ලැබෙයි. ඒවා බොහෝමයක් කාල විපත් සහ නොසලකා හැරීම් නිසා විනාශයට පත් වී ඇත. අපහසුවෙන් කිය විය හැකි ශිලා ලේඛන තුනෙක මෙසේ සඳහන්ව තිබේ.

1. පුත පුශ දෙවශ ලෙණෙ ශගශ
2. පුශ දෙවශ ගුතශ දාන ලෙණෙ
3. පුශ දෙවන පුත ගුතශ දෙනෙ ලෙණෙ

පුත්‍ර ඵුස්සදේවගේ ලෙණ මහා සංඝයාට පූජා කරන ලද බවත් ඵුස්සදේවගේ සහ ගෘහපති ගුප්තගේ ලෙන මහා සංඝයාට පූජා කළ බවත් ඉන් කියැවෙයි. මෙම සෙල්ලිපි වලින් කියැවෙන ඵුස්ස දේව නම් දුටුගැමුණු රජතුමාගේ දස මහා යෝධයන්ගෙන් කෙනකු වූ ඵුස්සදේව ම විය හැකි බව බහුතර වියතුන්ගේ මතයයි. එළාර හා යුද වැදී අප මාතෘ භූමිය එක්සේසත් කළ දුටුගැමුණු නරේන්ද්‍රයාණන්ගේ ඒ ඓතිහාසික යුධ ජයග්‍රහණයට ප්‍රබල දායකත්වයක් සැපැයූ සියලු සේනාධිපතීන්ට සම්මාන සහ ගම්වර ප්‍රදානය කිරීමට රජතුමා කෘතවේදී විය. එහිදී ඵුස්සදේව යෝධයාට පල්ලේ බැද්දගම ප්‍රසාද වශයෙන් ලැබුණි. පසුව පල්ලේ බැද්දට පැමිණි ඵුස්සදේව අවසන පැවිදි වී යෝගාචවර භික්‍ෂූන් වහන්සේ කෙනකු වශයෙන් භාවනායෝගීව වැඩසිටි බවක් කියැවෙයි.

උන්වහන්සේ ආදාහනය කර සෑදූ ස්තූපයේ නටබුන් ද විහාරස්ථානයට ආසන්නයේ විශාල ගල් තලාවක අදට ද දක්නට ලැබෙයි. සංඛපාල විහාර භූමිය තුළ ඇති කටාරම් සහිත ගල්ලෙන් රාශියක් ඇති අතර ඒවා අරණ්‍යවාසී භික්‍ෂූන් වහන්සේ භාවනායෝගීව වැඩ සිටි ආවාස කුටි බව කියැවෙයි.

කාලයාගේ ඇවෑමෙන් නොයෙකුත් ආපදා වියවුල් නිසා මෙම ලෙන් වල් බිහි විය. සංඛපාල විහාරස්ථානය නැවැත ප්‍රතිසංස්කරණය කරන ලද්දේ කරතොට ධම්මාරාම හිමියන් විසිනි. ධම්මාරාම හිමියෝ රාජාධිරාජසිංහ රජතුමාගේ උදහසට ලක් වී සිරකරුවකු වශයෙන් කටුගස්තොට ප්‍රදේශයේ නිවාස අඩස්සියක සිටියහ. උන්වහන්සේ බහුශ්‍රත හිමිනමකි.

එකල ධම්මාරාම හිමියන් විසින් රචිත ‘බරණම ගබසක’ නම් ගැටපද සහිත සංකීර්ණ කාව්‍ය ප්‍රබන්ධයට පැහැදුණු රජතුමා පල්ලෙබැද්ද ගම්වරය ක්‍රි.ව. 1786 දී උන්වහන්සේ වෙත පරිත්‍යාග කළේ ය. නැවතත් 1787 දී කරතොට ධම්මාරාම හිමි රජතුමාගේ උදහසට ලක්විය. දොඩම්වල නිලමේගෙන් ඒ බව දැනගත් ධම්මාරාම හිමියෝ පල්ලේබැද්ද සන්නසත් – තුඩ පතත් වටා පතත් රැගෙන මාතරට පලා ගියහ.

ඉන් පසුව සංඛපාල විහාරය නැවතත් වල් බිහි විය. පසු කළෙක කදුරුපොකුණේ සුමනජෝති හිමියන්ගෙන් පසුව මහගම සුමනතිස්ස හිමියෝ මෙහි භාර කාරත්වයට පත් වූහ. මේ කාලයේ දි ධර්ම ශාලාවත් සත්සති විහාරයත් සංඝාවාසයත්, බෝධි ප්‍රාකාරයත් පිය ගැටපෙළත් ඉදිවිය.

1959 – 1979 දක්වා භාරකාරත්වය ඉසිලූ අත්තුඩාවේ ගුණරතන හිමියන්ගේ යුගයේ දී විහාරස්ථානයේ විශාල දියුණුවක් ඇති විය. ඓතිහාසික සංසිද්ධීන් රාශියකට කේන්ද්‍රස්ථානයක් වූ සංඛපාල රජ මහා විහාරස්ථානය සංචාරකයන්ගේ මෙන්ම වන්දනාමාන කරන සැදැහැවතුන්ගේ විශේෂ අවධානය දින ගන්නා ලද ආකර්ශනීය පුද බිමෙකි.

යුධ ජයග්‍රහණයක උදාරත්වය මෙන්ම බාරස කාව්‍ය අභියෝගයෙන් ලද ජයග්‍රහණයෙන් අභිමානවත් වූද මහරහතන් වහන්සේගේ පහසින් පරම පවිත්‍ර වූද සංඛපාල රජ මහා විහාරස්ථානය අපගේ වංශ කතාව වර්ණවත් කළ තවත් ඓතිහාසික පුද බිමකි.