Print this Article


පූජාච පූජනීයානං

 

සිටිනාමළුවේ ශ්‍රී පියතිස්ස නා හිමි

තංගල්ල වගේගොඩ රන්කොත්මළු පුරාණ විහාරය මිද්දෙනිය පුරාණ විහාරය, ඇඹිලිපිටිය මහින්දාරාමය තෝරගල ඉන්දසිරි බෞද්ධායතනය යන විහාරයන්හි භාරකාර විහාරාධිපතිව වැඩ විසූ විචිත්‍රභාණි සිටිනාමළුවේ ශ්‍රී පියතිස්ස නා හිමියෝ පසුගියදා අපවත් වී වදාළ සේක.

1924 වර්ෂයේ සිටිනාමළුව අලුත්වැව මුලන ග්‍රාමයේදී උපත ලබා ගමේ පාසලෙන් සහ කදුරුපොකුණ මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබීමෙන් පසු වගේගොඩ ස්වර්ණජෝති නා හිමියන්ගේ සහ මුරුංගාගස්යායේ පියරතන නා හිමියන්ගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් 1939 ජූලි 29 දින තංගල්ල වගේගොඩ රන්කොත්මළු පුරාණ විහාරයේදී ප්‍රවෘජ්ජා භූමියට පත්වූහ.

උන්වහන්සේ තංගල්ල ධම්මදින්න පිරිවෙන, පෑලියගොඩ විද්‍යාලංකාර යන පිරිවෙන් ආයතනයන්ට ඇතුළත් වී ත්‍රිපිටක අධ්‍යාපනය ලබාගත්හ.ත්‍රිපිටකවේදී රාජකීය පණ්ඩිත ආදි උපාධි සම්මාන හිමිකරගත් පියතිස්ස නාහිමියෝ 1944 වර්ෂයේදී මහනුවර මල්වතු මහා විහාරයේදී අධිශීල සංඛ්‍යාත උපසම්පදා සීලයට පත්වූහ.

කැලණි රජමහා විහාරාධිපතිව වැඩ විසූ විද්‍යාවේදී තලේවෙල විජිතධම්මරක්ඛිත නා හිමියන්ගේ ආරාධනයෙන් එගොඩ කැලණිය කිත්සිරිමෙවන් රාජමහා විහාරයට වැඩම කළ උන්වහන්සේ එම ප්‍රදේශයට මහඟු ශාසනික ආගමික හා සමාජ මෙහෙවරක් ඉටුකරනු ලැබූහ. එගොඩකැලණිය කිත්සිරිමෙවන් රජමහා විහාරයේ විහාරාධිපති තනතුරට පත්වූ උන්වහන්සේට මල්වතු පාර්ශ්වයෙන් සම්මාන නායක පදවියක්ද පිරිනමනු ලැබීය. කැලණි ප්‍රදේශයට අතිමහත් සේවාවක් සිදුකළ සිටිනාමළුවේ ශ්‍රී පියතිස්ස නා හිමියෝ ඇතිවූ රෝගාතුර තත්වය හේතුවෙන් කැලණි ප්‍රදේශයේ සිට 2007 වර්ෂයේ තම පැවිදි බව ලැබූ විහාරස්ථානය වූ තංගල්ල වගේගොඩ රන්කොත්මළු විහාරයට වැඩම කළහ. අපවත්වන තුරුම එම විහාරස්ථානයේ වැඩ සිටි උන්වහන්සේට හම්බන්තොට දිස්ත්‍රික් ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි ශාස්ත්‍රපති ඉත්තදෙමළියේ පඤ්ඤාරතන හිමියන් මැනවින් ඇප උපස්ථාන කළේය. නාහිමියන් අපවත් වී මාසයක් පිරීම නිමිත්තෙන් 2013 ජනවාරි 01 සහ 02 දෙදින පින්කම් මාලාවක් පැවැත්වීය.


බළන්ගොඩ සිරි සුධම්මවංශ මහා නාහිමි

අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ මහා නායක බළන්ගො ඩ තුඹගොඩ ශ්‍රී සුදර්ශන මහා විහාරාධිපති ශ්‍රී සුමනජෝතිවංශාවතංස සද්ධර්ම කීර්ති ත්‍රිපිටකවාගීශ්වර ජිනශාසන කීර්ති ශ්‍රී සද්ධම්ම වංශපාල ගණාචරිය මහෝපාධ්‍යාය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී බළන්ගොඩ සිරි සුධම්මවංශ මහා නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ අපවත්වීම බලවත් පාඩුවකි.

රත්නපුර ඕපනායක තානායම්වත්ත වලව්වේ ඉඩම් හිමි වැවිලිකරුවෙකු වූ ඇල්ප්‍රඩ් දසනායක තුමාට හා ඇමිටියගොඩ විජයරත්න වලව්වේ විජයරත්න මුදියන්සේලාගේ ලීලාවතී විජයරත්න මහෝපාසිකාවට අතිජාත පුත්‍ර රත්නයක් ලෙස 1927 පෙබරවාරි 16 වන දින ඕපනායක තානායම්වත්ත වලව්වේ දී උපත ලද පින්වත් කුමරුවා මූලික අධ්‍යාපනය ඇමිටියගොඩ රජයේ විදුහලෙන් ලබා ගත්හ. කණිෂ්ඨ අධ්‍යාපනය නිම කරද්දී පුරාකෘත පුණ්‍ය මහිමය නිසාම ශාසනික ප්‍රවෘජ්ජාව ලබා ගැනීමේ වාසනාව තොම්සන් දසනායක කුමරුට උදාවිය. ඒ අනුව බළන්ගොඩ තුඹගොඩ ශ්‍රී සුදර්ශන මහා විහාරාධිපතිව වැඩ විසූ අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ සපරගමු පළාතේ ප්‍රධාන සංඝනායක ධුරය හෙබ වූ බළන්ගොඩ සුමණජෝති නාහිමියන්ගේ භාරකාරත්වයට පත්වීම වූ කලී දෛවෝපගත සිද්ධියකට මුල පිරීමකි.

ආචාර්යපාදයාණන් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ ශාසනික වත් පිළිවෙත් ද මූලික බණ දහම් හැදැරූ සුධම්මවංශ සාමණේරයන් වහන්සේ පන්සල් අධ්‍යාපනය ශතක පොත් ආදියත් ඉතා ඉහළින් ප්‍රගුණ කළ බැවින් පන්සලේ වැඩි කලක් රඳවා නොසිට පැල්මඩුල්ල සුධර්මෝදය පිරිවෙණට භාර කර පිරිවෙණින් උගතයුතු සිංහල පාලි සංස්කෘත භාෂා හදාරා ද්විතියික පාරිවේණික අධ්‍යාපනය සඳහා ගෝණගල සුධර්මාකර පිරිවෙනට වැඩම කළහ. සුධම්මවංශ පොඩි හාමුදුරුවෝ ධර්ම විනය ශබ්ද ශාස්ත්‍ර ඉගෙන විද්‍යෝදය විද්‍යාලංකාර පිරිවෙන්වලින් උසස් අධ්‍යාපනය හදාරා රාජකීය පණ්ඩිත උපාධියත් හිමිකර ගත්හ. මේ වන විට විසිවයස් සම්පූර්ණ කර සිටි බැවින් 1948 පොසොන් පුන් පොහෝදා බලපිටිය මාදුගඟේ උදකුක්ඛේප සීමා මාලකයේ දී උපසම්පදාව ලැබූහ. ඉංගී‍්‍රසි භාෂාව පිළිබඳ හසළ අවබෝධයක් ලබා ලන්ඩන් ඉංගී‍්‍රසි උසස් පෙළ විභාගයෙන් උසස් ලෙස සමත් වූ උන්වහන්සේ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය හිමිකර ගත්හ.

උන්වහන්සේට රාජකීය පණ්ඩිත පින්වත්තේ දේවානන්ද නාහිමියන්ගේ ඇරැයුම පරිදි පින්වත්තේ සද්ධර්මාකර පිරිවෙණෙහි පැවිදි ආචාර්යවරයෙකු ලෙස වසර දෙකක් කටයුතු කිරීමට සිදුවිය. 1959 දී රජයේ විදුහලකට අනුයුක්ත වූහ. 1982 දක්වා කාලය තුළ එවක බළන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලය හෙවත් වර්තමානයෙහි හඳුන්වන බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය ජාතික පාසලෙහි උප ගුරුවරයෙකු වශයෙන් ද පසුව වැඩ බලන විදුහල්පති ලෙසත් වර්ෂ 22 ක් පමණ කාලයක් විශ්‍රාම ලබන තුරු එම විදුහලෙහිම සිසු දරු දැරියන් දහස් ගණනකගේ නැණ පහන් දල්වා ලූ සේක.

මේ කාලය තුළ විශේෂයෙන්ම සපරගමු පළාතේ ජාතික ශාසනික හා අධ්‍යාපනික කටයුතුවල දී අවශ්‍ය උපදෙස් ලබාදෙමින් කළ සේවය අති මහත් ය. තම ගුරුදේවයන් වහන්සේ අපවත් වීමෙන් පසුව විහාරාධිපති ධූරයේ ද කටයුතු කිරීමට සිදුවිය. රජයේ නිලධාරීන්, ආගමික නායකයින් සමඟ සහයෝගයෙන් ක්‍රියා කළ උන්වහන්සේගේ සේවාවන් අගය කරනු වස් 1980 දී අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ මහාසංඝයා වහන්සේගේ සමානච්ඡන්දයෙන් කාරක සභික ධුරය පිරිනැමුණු අතර 1983 දී සපරගමු පළාතේ ප්‍රධාන සංඝනායක ධුරය ද පිරිනැමිණි.

උන්වහන්සේ අතිශයින් ම කාරුණිකය. අනුන්ගේ දුකෙහිදී පිහිට වන උන්වහන්සේ සමාජ සේවා කටයුතු කෙරෙහි ද ජනතාවගේ ප්‍රසාදය හිමිකර ගෙන ඇත. පි‍්‍රයශීලීව සැම දෙනාගේම සම්භාවනාවට පාත්‍ර වූ මහා පඬිරුවනක් වූහ.

නාහිමියන් ව්‍යක්ත ධර්ම දේශකයන් වහන්සේ නමක් වූ අතර ලේඛක කලාවේද නිපුණත්වයක් පෙන්නුම් කළහ.


රද්දොළුවේ අමරවංස නා හිමි

ගම්පහ දිස්ත්‍රික්කයේ සීදුව රද්දොළුව ප්‍රදේශයේ දැහැමින් දිවි ගෙවූ වතු පාලක කේ. විල්සන් රොවෙල් මහතාගේ හා කේ. පුංචි නෝනා මහත්මියගේ පුත්රුවනක්ව 1933 ජනවාරි මස 19 වන දින කේ. රෝලන් රොවෙල් නමින් උපත ලැබූහ. රද්දොළුව මෙතෝදිස්න පාසලින් මූලික අධ්‍යාපනය ලබා රද්දොළු ශ්‍රී ප්‍රඥනන්ද ජාතික පාසලින් අධ්‍යාපනය ලබාගෙන වයස අවුරුදු 11 දී පමණ රද්දොළුව සුබෝධාරාම මහා විහාරාධිපතිව වැඩ විසූ පණ්ඩිතාචාර්ය කොටුගොඩ ශ්‍රී ධම්මානන්ද ස්වාමිපාදයන් වහන්සේගේ ශිෂ්‍යයෙක් ලෙස 1944 වර්ෂයේ දී සසුන් ගත විය. තම ගුරු දේවයන්ගෙන් මූලික අධ්‍යාපනය ලබාගෙන වැඩිදුර අධ්‍යාපනය ලබා ගැනීම සඳහා කොළඹ මාලිගා කන්ද මහා පිරිවනට ඇතුළත් වී සිංහල පාලි සංස්කෘත භාෂා දැනුම හා සූත්‍ර අභිධර්ම විනය යන ත්‍රිපිටකය පිළිබඳව දැනුමද ලබා ගෙන විද්‍යෝදය අවසන් පරීක්‍ෂණයෙන්ද සමත් වී විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමේ සුදුසුකම් ලබා ගන්නා ලදී. තම ගුරු දේවයන්ගේ හා පැවිදි සහෝදර රද්දොළුවේ ආරියවංස හිමිපාණන් වහන්සේලාගේ හදිසි අපවත් වීම නිසා සියලු අධ්‍යාපන කටයුතු අත්හිටුවන්නට ද සිදු විය.රද්දොළුව සුබෝධාරාමය රද්දොළුව අභිනවාරාමය යන උභය විහාරාධිපති පදවිය ලබා ගැනීමෙන් පසු ගම් ප්‍රදේශයේ ආගමික සාමාජික සියලු කටයුතු තමන් වහන්සේ වෙත පැවරිණ.

ගම් ප්‍රදේශයේ දරු දැරියන්ගේ දහම් දැනුම සඳහා දහම් පාසල් ළදරු පාසල්, තරුණ සමිති, ළමා සමිති, කාන්තා සමිති, විහාරස්ථාන ඇසුරු කරගෙන ආරම්භ කරන ලදී. 1954 උපසම්පදාවට පත්වූහ. ප්‍රදේශයේ බෞද්ධ අබෞද්ධ සියලු පූජකවරයන් සමඟ ඉතා සුහදව මහඟු සේවයක් සිදු කිරීමද මහඟු සේවයකි. මෙවන් ආගමික ශාසනික සේවයක් සිදු කිරිම නිසාම අමරපුර පාර්ශ්වයේ ශ්‍රී සුමංගල කාරක මහා සංඝ සභාව විසින් කාරක සංඝ සභාධූරයක් හා ගෞරව නාම සම්මානයක් හා නායක පදවියක්ද පිරිනමන ලදී. ඉන්දියාව, නවසීලන්තය, ජර්මනිය, ප්‍රංශය ආදී පෙර අපර දිග රටවලටද වැඩම කරන ලදී. තවද සීදුව පොලිස් වසම තුළ දුසිරිත් දුරුකරලීම සඳහා ගත් උත්සාහය නිසාම සීදුව පොලිසිය විසින් පොලිස් උපදේශක කමිටුව පිහිටු වීමේ දී අනුශාසක පදවියද පිරිනමන ලදී. රද්දොළුවේ අමරවංස නා හිමිපාණන් වහන්සේගේ 80 වන ජන්ම දිනය 2013 ජනවාරි මස 19 වන දිනට යෙදී ඇත. නායක ස්වාමිපාදයන් වහන්සේට නිදුක් නීරෝගී සම්පත් හා දීර්ඝායු සම්පත්තිය ලැබේවායි පතමු.


වලවෙල හේමානන්ද නා හිමි

ශ්‍රී ලංකා අමරපුර ශ්‍රී සද්ධම්මයුක්තික ( මාතර ) මහා නිකායේ මහානායක මහෝපාධ්‍යාය නාකුළුගමුවේ පේමතිලක මහ නා හිමිපාණන් වහන්සේ ප්‍රධාන කාරක සංඝ සභාව මගින් වත්තල, හුණුපිටිය ශ්‍රී විජයසුන්දරාරාම පුරාණ මහා විහාරාධිපති ත්‍රිපිටකවේදී සද්ධර්මාචාර්ය වලවෙල හේමානන්ද නා හිමියන් සිදුකරන ශාසනික, අධ්‍යාපනික, සංස්කෘතික හා සාමාජික අනුපමේය මෙහෙවර උදෙසා “ සද්ධර්ම කීර්ති ශ්‍රී දේවානන්ද සෝමසිරි වංශාලංකාර ගෞරව නාමය සහිතව “ ගම්පහ දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධූරය පිරිනමා ඇත.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත ආසනයේ වලවෙල ග්‍රාමයේ උදයනන්ද වනසිංහ හා සෝමාවතී වනසිංහ දම්පතීන්ට දාව 1965 නොවැම්බර් 07 වෙනි දින හේමන්ත වනසිංහ නමින් පුත් රුවනක් ලැබිණි. නිහිළුව මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබීය.

කොස්ගොඩ ශ්‍රී දේවානන්ද නා හිමියන්ගේ සහ වලවෙල සෝමසිරි නා හිමියන්ගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් හුණුපිටිය ශ්‍රී විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී 1981 නොවැම්බර් 15 දින වලවෙල හේමානන්ද නමින් පැවිදි වූහ.

මහරගම වජිරඥාන ධර්මායතනයේදී ත්‍රිපිටකය පිළිබඳව අධ්‍යාපනය ලැබීය.

වැලිගම් කෝරළේ හා ගාලු දෙපළාතේ ප්‍රධාන සංඝනායක අහංගම විසුද්ධාරාමාධිපති වැලිගම ආරියවංශාභිධාන මා හිමියන්ගේ ආචාර්යත්වයෙන් 1984 ජුනි 20 දින දොඩන්දුව මොරගොල්ල උදකුක්ඛෙප සීමා මාලකයේදී උපසම්පදා වූහ. ඉන්දියාව, තායිලන්තය, ජපානය, සිංගප්පූරුව, අබුඩාබි, එංගලන්තය හා මැලේසියාව යන රටවල ධර්මප්‍රචාරය සඳහා වැඩම කර ඇත.

උන්වහන්සේගේ විහාරාධිපතිත්වයෙන් ගොඩනැගෙන අහංගම ශ්‍රී විසුද්ධාරාමය, ගිංතොට අභිනවාරාමය,, දොම්පේ ශ්‍රී සද්ධර්මාරාමය, එංගලන්තයේ ඔක්ස්පර්ඩ් ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය යන විහාරස්ථානවල වැඩකටයුතු සඳහා වෙහෙසවෙති.