Print this Article


ඓතිහාසික පූජනීය අපේ උරුමය - අටමස්ථානය අභයගිරි චෛත්‍යය යි - ලෝවාමහාපාය යි

ඓතිහාසික පූජනීය අපේ උරුමය - අටමස්ථානය

අභයගිරි චෛත්‍යය යි - ලෝවාමහාපාය යි

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින් වහන්සේට උතුරින් ගල් කණු 40 බැගින් වූ පේළි 40 කින් යුක්ත නටබුන් ගල්කණු 1600 කින් සැදුම්ලත් ස්ථානය ලෝවාමහාපාය නමින් හදුනාගෙන තිබෙනවා. ලෝවාමහාපාය ලෝහ ප්‍රාසාදය නමින්ද වංශකතාවල සදහන් වී ඇත. මේ පිළිබඳව පැරැණිම සටහන ථූපවංශයේ සඳහන් වේ. මහමෙව්නා උයන පිළිගැන්වූ දෙවනපෑතිස් මහ රජතුමා මිහිදු මහ රහතන් වහන්සේ හා සමග පැවැති සාකච්ඡාවේ දී අනාගතේ උපෝෂතාගාරය පිහිටුවන ස්ථානය ලෙස හඳුනාගත් බව සඳහන් වී ඇත.


අභයගිරි චෛත්‍යය

බුදුරජාණන් වහන්සේ තුන්වන වරට ලංකාවට වැඩම කළ අවස්ථාවේ දී මෙම ස්ථානයේ වැඩසිටි බව ඇතැම් මූලාශ්‍රවල සඳහන් වී ඇත. දුටුගැමුණු මහ රජතුමා ලෝවාමහාප්‍රාසාදය තැනවීමට පෙර, භික්‍ෂූන් වහන්සේලාට දිව්‍ය මන්දිරය වැනි ප්‍රාසාදයක් කරවන අදහස ඇතිව දෙව්ලොව දිව්‍ය විමානයේ සිතියමක් තමාට ගෙන්වා දෙන ලෙස රහතන් වහන්සේලා අට නමක් දිව්‍ය ලෝකයට යවන ලද බව වංශ කතාවල සඳහන් වී ඇත. මෙම සැළැස්මට අනුව ලෝවාමහාප්‍රාසාදය තැනවීමේ දී වැඩ කළ පිරිසෙන් නොමිලයේ ශ්‍රමය උදව් උපකාර ලබා නො ගත් අතර ඒ සඳහා දුටුගැමුණු මහ රජතුමා විසින් සම්පත් ලබාදෙන ලදී. මෙහි මහල් නමයකින් යුක්ත වන අතර එක් මහලක කුළු ගෙවල් (කූටාගාර ශාලා) 100 බැගින් තිබී ඇත. එම කුළු ගෙවල් සියල්ල රිදියෙන් නිමකරවූ ඒවා ය. මෙහි එක් පැත්තකින් රියන් සිය ය බැගින් සමචතුරාශ්‍රාකාර වූද, උස ද රියන් සියයක් විය. කූටාගාරයක් සම්බන්ධ වූ පබළු පිළිකඩ විවිධ රත්නයන්ගෙන් සමන්විත වූ අතර වේදිකාව රජතමය කිකිණි පෙළින් සමන්විතය. වෛශ්‍රවණ දිව්‍ය රාජයාගේ නාරිවාහනය ආකාරයට ප්‍රාසාද මධ්‍යයේ රත්න මණ්ඩපයක් ද සිංහ ව්‍යාඝ්‍ර රූපවලින්ද, දේවතා රූප වලින් අලංකාර වූ එම මණ්ඩපය රන්කම් වලින් විසිතුරු කර ඇත. තඹ ලෝ උළුවලින් වසන ලද නිසා මෙය ලෝවාමහා ප්‍රාසාදය නමින් හැදින්වීය. අද අපට දක්නට ලැබෙන ලෝවාමහාපාය ගල්කණු උසින් සමාන වුණත් ප්‍රමාණයෙන් වෙනස් වී ඇත. අනුරාධපුරයේ සෙසු ස්ථානවල දකින්ට ලැබෙන ශිලා ස්ථම්භ මෙන් මෙහි ද ගල්කණු විචිත්‍ර හිස්වලින් යුක්තව තිබුණත්, මල් කැටයම් හා ඝන රූපවලින් අලංකෘත වූ හතරැස් කුළුණු හිස් විසි අටක් නැගෙනහිර පැත්තේ පෙළින් දක්නට ලැබෙයි. දැනට නටබුන් වී ඇති ලෝවාමහාපාය දුටුගැමුණූ මහ රජු කරවූ ප්‍රාසාදය නොව පසුකාලීනව වරින්වර ප්‍රතිසංස්කරණය කරන ලද්දකි. සද්ධාතිස්ස රජ සමයේ පහනකින් ගිනි ඇවිලී දැවී ගිය පසු මෙය සත්මහල් කොට නැවැත ඉදිකරන ලද බව සඳහන්ව ඇත. ආමණ්ඩගාමිණී, ඛල්ලාටනාග, භාතිය, අභයනාග, දෙවන සිරි නාග, ගෝඨාභය හා ජෙට්ඨතිස්ස යන රජවරුන් ලෝවාමහාප්‍රාසාදයේ දියුණුව වෙනුවෙන් ක්‍රියා කොට ඇත. අග්ගබෝධි රජතුමාගේ පාලන සමයේ මෙහි ප්‍රතිසංස්කරණ විශාල ප්‍රමාණයක් කොට ඇති අතර පළමුවන සේන රජතුමා ද ඉදිකිරීම් කොට ඇත. ලෝවාමහා ප්‍රාසාදයේ නැගෙනහිර පැත්තේ කරන ලද කැණීම් වලින් විචිත්‍ර රූපවලින් අලංකාර කරන ලද ගල් පේකඩයක් ද හමු වී ඇත. පුරාවිද්‍යාත්මක කැණීම් මගින් ලෝවාමහාප්‍රාසාදයේ නිරිතදිග කොණින් පිහිටි පොකුණක් මතු වී ඇත. මෙය ආගමික වශයෙන් භික්‍ෂූන් වහන්සේලාගේ විනය කර්ම සඳහා යොදාගත් ඉතාමත් වැදගත් ගොඩනැගිල්ලක් ලෙස සැලකිය හැකිය.


ලෝවා මහා ප්‍රාසාදය

අනුරාධපුර ඉතිහාසයේදී අභයගිරිය චෛත්‍යය ඉතාමත් වැදගත් වේ. අනුරාධපුර ථූපාරාමයේ සිට පැමිණෙන විට වම්පසින් දක්නට ලැබෙන උත්තරාරාමය නමින් මුල්කාලයේ හඳුන්වන සුවිසල්ම අභයගිරි චෛත්‍යය දක්නට ලැබෙයි. පාහියන් භික්‍ෂුවගේ වාර්තා අනුව එවකට මෙහි උස අඩි 400 ක් පමණ වන බව සඳහන් වේ. වර්තමානයේ අඩි 310 ක් විශ්කම්භයකින් යුක්ත වන අතර උස අඩි 245 කින් යුක්තයි. වළගම්බා රජතුමා සහ අභයගිරි දාගැබ පිළිබඳව වු පුරාවෘත්තය ඉතාම වැදගත් වේ. වළගම්බා රජතුමා සතුරු ආක්‍රමණයෙන් පැරදී පලායන අවස්ථාවේ වර්තමාන අභයගිරි චෛත්‍යය පිහිටා ඇති භූමියෙහි ගිරි නම් නිගණ්ඨයා “ මහා කළු සිංහලයා පලායනවායැයි” මහා හඩින් ප්‍රකාශ කළා. ඒ අනුව රජතුමා යම් දවසක රජවුවහොත් මෙම ස්ථානය ශුද්ධ භූමියක් කරන බවට කල්පනා කරගත්තා. පසුව මෙම ස්ථානයේ රජතුමා සිය නාමය වූ “වට්ටි ගාමිණී අභය” යන්න මුලට යොදා නිගණ්ඨයාගේ නමෙහි “ගිරි” නාමය රැගෙන අභයගිරි නමින් චෛත්‍යය කරවූ බව සඳහන්වේ. විශේෂයෙන් මෙහි කැණීම් කරන අවස්ථාවේ ඓතිහාසික වටිනාකමින් යුත් වස්තු රාශියක් හමු වී ඇත. අභයගිරිය චෛත්‍යය ගොඩනංවා ඇත්තේ අනුරාධපුරය ඇතුළු නුවරට උතුරින් පිහිටා තිබෙන සිරිපතුල් ලකුණක් මත වේ. සිරිපතුලක ලකුණ මත පිහිටා තිබෙන එකම චෛත්‍යය අභයගිරිය යි. අභයගිරි චෛත්‍යයේ වැලිමලුවේ බටහිර දෙසින් ඇති දොරටුව දෙපස දක්නට ලැබෙන කුටි දෙක තුළ ඉතා ආරක්‍ෂාකාරි ලෙස හා ඉතාම ගෞරවාන්විත ව බහිරව රූප දෙකක් දක්නට ලැබෙනවා. බහිරවයා යනු ආරක්‍ෂාවට හා සෞභාග්‍යයට ද අධිපති ලෙස සැලකෙන වෛශ්‍රවණගේ ස්වරූපවලින් එකකි. එම රූප දෙක සංඛ බහිරව රූපය හා පද්ම බහිරවරූපය නමින් හඳුන්වනු ලබයි. වසර දහස් ගණනක් ගිය ද අනුරාධපුරයේ අභයගිරිය සංඛ හා පද්ම බහිරව රූප වර්තමාන ජනතාවගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වී ඇත. අපල උපද්‍රව හා විවිධ බලාපොරොත්තු සහිතව පිහිට ප්‍රාර්ථනා කරමින් බහිරව පුජාව පවත්වනු ලබයි.