Print this Article


මහා මංගල සූත්‍රයෙන් කියැවෙන මංගල කාරණා

මහා මංගල සූත්‍රයෙන් කියැවෙන මංගල කාරණා

මංගලකාරණා මොනවාදැයි එදා සමාජයේ ඇති වූ ව්‍යාකූ®ලත්වය සමනය කිරීම උදෙසා දෙවියන්ගේ ආරාධනයෙන් දේශනා කළ මෙය හේතුකාරණා සහිතව අර්ථාන්විත මංගල කාරණා දේශනා කරයි. අහේතුකව නිවැරැදි නොවන අභිචාර පවත්වා ආර්ථික මෙන්ම ආධ්‍යාත්මික පරිහානිය ඇති කර ගන්නා බොහෝ දෙනෙකුට මෙය දිව ඔසුවකි. එයට හේතුව වන්නේ නිසියාකාර ව මෙහි සඳහන් මංගල කාරණා අටතිස (38) යොදාගනිමින් ජීවිත ජයගත්තැනැත්තන් අනන්ත අප්‍රමාණ බැවිනි. බෞද්ධ සාහිත්‍ය තුළ ඕනෑ තරම් මේ සදහා නිදසුන් ඇත.

බුදුදහම පුද්ගලයාගේ දෙලොව දියුණුවම එක හා සමානව අගයන දර්ශනයකි. ඒ බව ‘ද්විචක්ඛු පන සූත්‍රය’පැහැදිලිව සඳහන් කරයි. දියුණුව ඇතිවීම හා පවත්වාගෙන යාම සඳහා නම් වඩාත් සුබ නිවැරැදි ක්‍රියාකාරීත්වයෙන් යුක්ත වීම වැදගත්ය.යමෙක් දීර්ඝකාලීන සාර්ථක කෙනෙකු වීමට අපේක්‍ෂා කරන්නේ නම් ඔහු විසින් අධ්‍යයනය කළ යුතු සූත්‍ර අතර මහාමංගල සූත්‍රය ප්‍රධානයි. සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායට අයත් මෙම දේශනය පිරිත් පොත් වහන්සේ තුළ ආශිර්වාදාත්මක දේශනයක් ලෙස පළමු බණවරට අයත්ය.

මංගලකාරණා මොනවාදැයි එදා සමාජයේ ඇති වූ ව්‍යාකූ®ලත්වය සමනය කිරීම උදෙසා දෙවියන්ගේ ආරාධනයෙන් දේශනා කළ මෙය හේතුකාරණා සහිතව අර්ථාන්විත මංගල කාරණා දේශනා කරයි. අහේතුකව නිවැරැදි නොවන අභිචාර පවත්වා ආර්ථික මෙන්ම ආධ්‍යාත්මික පරිහානිය ඇති කර ගන්නා බොහෝ දෙනෙකුට මෙය දිව ඔසුවකි. එයට හේතුව වන්නේ නිසියාකාර ව මෙහි සඳහන් මංගල කාරණා අටතිස (38) යොදාගනිමින් ජීවිත ජයගත්තවුන් අනන්ත අප්‍රමාණ බැවිනි. බෞද්ධ සාහිත්‍ය තුළ ඕනෑ තරම් මේ සදහා නිදසුන් ඇත. වර්තමානයේ පවා යම් සාර්ථකත්වයක් ලැබූවෙකු ඇත්නම් ඔහු මේ කාරණා සියල්ලන්ගෙන්ම යුක්ත නොවූවත් කාරණා කිහිපයකින් හෝ සම්පූර්ණ වූවන් ය.

දෙවියන් ඇසූ පැනයට (බහුදේවා මනුස්සාච මංගාලානි අචින්තයුං) බුදුරදුන් පිළිතුරු වශයෙන් දේශනා කළ මංගල කාරණා මෙසේය.

අනුවණ බාලයන් ආශ්‍රය නොකිරිම (අසේවනාච බාලානං) ගුණ ධර්ම වලින් පහත් ගති විදහාපාන එමෙන්ම තම ජීවිතයට කිසිදු අයුරකින් සාරධර්ම වශයෙන් යමක් ගත නොහැකි මනස මෙහෙය වා බුද්ධියෙන් කටයුතු නොකරන අපාය සහාය ආදි පරිහානියට මග කියන්නා වූ පිරිස් සමග කටයුතු කිරීම සුබ නොවේ. සමාජ ව්‍යවහාරයට අනුව “අනුන්ගෙ පව්වලට කරගහන්න” සිදුවන්නේද මෙබඳු ආශ්‍රයන් නිසාවෙනි.

නුවණැති පණ්ඩිතයන් ඇසුරු කිරීම (පණ්ඩිතානඤ්ච සේවනා) උසස්ගති විදහාපාන බුද්ධියෙන් තීරණ තීන්දු ගන්නා දියුණුවට මඟ කියන තමාට වඩා දැනුමෙන් අකාල්පවලින් යුතු පිරිස් ආශ්‍රය කිරීම මංගල හෙවත් සුබ කටයුත්තකි.

පිදිය යුත්තන් පිදීම (පූජාච පූජනීයානං)

ජාති කුල ගොත් මානයෙන් ධනයෙන් හෝ බලයෙන් මත් නොවී ගරු කළ යුත්තන්ට ගරු කිරීම උදාරතර පුරුෂාර්ථයකි. එමෙන්ම ආශිර්වාදයකි.මෙම ශ්‍රේෂ්ඨ ගුණය දෙලොව සුගතිගාමී වීමට බලවත් හේතුවක් වේ. සිත් පිත් නැති ඇසතු බෝරුකට පවා බුදුන් වහන්සේ අනිමිසලෝචන පූජාවෙන් පුදනු ලැබූ සේක.

සුදුසු ගැළපෙන ප්‍රදේශයක වාසය කිරීම (පතිරූප දේස වාසෝච) පරිසරය අනුව පවා පුද්ගල දියුණුව පරිහානිය තීරණය වේ. එකම ගිරා මවගේ ගිරා පෝතකයන්ගේ චර්යාවන් වෙනස් වූයේ පරිසර සාධක නිසාවෙනි. වස් විසීමට හා බණ භාවනා සිදුකිරීමට පවා සුදුසු ප්‍රදේශ නිර්දේශ කළේද එහෙයිනි.

පෙර කරන ලද පින් ඇති බව (පුබ්බේච කතපුඤ්ඤතා)

පූර්ව භවයන්හි කරන ලද කුසල ශක්තීන් තිබීම අත්‍යවශ්‍යය. ගිහි වුවත් පැවිදි වුවත් දෙවියන් වුවත් පින අවශ්‍ය බව ධර්මයෙහි අවධාරණය කරයි. බොහෝ දෙනෙකු දෛවය වාසනාව ලෙස අර්ථගන්වන්නේ මෙම ශක්තියයි. සමාජයෙහි නරක යැයි සම්මත ධර්මයෙහි “ පව්” ලෙස විවරණය කරන ක්‍රියාවන්ගෙන් ඉවත්වීම මංගල කාරණයකි.

තමන් මනාව සුසිරිතයෙහි පිහිටීම (අත්තසම්මාපණීධිච) කළ යුතු කාර්යන් පිට කළ යුතු වචන සිතිය යුතු යහපත් සිතුම් සහිතව ආදර්ශවත්ව ජීවත්වීමට වඩා සුබ කාර්යක් නැත. තමන්ගේ ක්‍රියා කාරීත්වය අයහපත්වීම සියලු දෙනාට සුබ නොවේ.

බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව (බාහු සච්චඤ්ච සිප්පඤ්ච)

සමාජය පිළිබඳවත් එහි ක්‍රියාකාරීත්වයත් තම ක්ෂේත්‍රය ගැනත් ඉන් පරිබාහිර දේ පිළිබඳව දැනීම පුද්ගලයෙකුගේ අනාගත දියුණුවට හේතුවයි.ටික දෙයක් පිළිබඳ ගොඩක් දැනීමත් බොහෝ දේ පිළිබඳ ටික ටික දැනීම ලෝක ස්වභාවය දැන ගැනීම උතුම්ය. ධර්මය තුළ බහුශ්‍රැත යන්නෙන් විස්තර වන්නේ නොදන්න දේ පිළිබඳව දන්නවා යැයි පවසා තව පිරිසක් මුලාවට පත්කිරීම නොවේ. පණ්ඩිතකම යහපත් වුණත් අතිපණ්ඩිතකම යහපත් නොවන බව ධර්මය සඳහන් කරයි.

විනය ඇති බව හා හික්මීම (විනයෝච සුසික්ඛිතෝ)

කායිකව , වාචසිකව හා මානසිකව සංයමයෙන් ජීවත් වීම උතුම් දායාදයකි. කෙනෙකු බැබලීමට මෙය හේතුවෙකි. වැදගතෙක් ලෙස සමාජය මනින මිම්ම මෙයයි. උගත්ය. බුද්ධිමත්ය යන්න මෙයින් මැනේ. හිතෝපදේශ කතුවරයා ඒ බව මෙසේ දක්වයි. “ විද්‍යා” දදාති (විනයා විද්‍යාව තුළින් හික්මීම ලබාදෙයි.

යහපත් වචන ඇති බව (සුභාසිතාච යා වාචා)

වාචසික සංවරය සමාජ ගෞරවයට පාත්‍රවීමට බලවත් හේතුවකි. කෙනෙකුට සංග්‍රහ කළහැකි උතුම්ම සංග්‍රහ වස්තුව පි‍්‍රයවචනයයි. උදෑසන දවස පටන්ගත් මොහොතේ සිට අනෙකාට යහපත් වචනයෙන් සංග්‍රහ කළ හැකි නම් එය තරම් යහපත් සංග්‍රහයක් නැති තරම්ය.

මවුපිය උපස්ථානය (මාතාපිතූ උපට්ඨානය)

පූර්ව ආචාර්යවරු වන මව්පියන්ට සැලකීම තරම් දරුවන්ට වෙනත් ආශිර්වාදයක් නැත. දීපංකරපාද මූලයෙහි නියත විවරණ ලැබීමට පෙර ගෞතම බෝසතාණන් වහන්සේ පළමු විවරණ ලැබුවේ තම මෑණියන්ගෙනි. උතුම් බුද්ධත්වය සමකල ලෞකික එකම පදවිය මව්පදවිය හා පිය පදවිය යි.

’තම බිරිඳට දරුවන්ට සැලකීම (පුත්තදාරස්ස සංගහෝ) පවුල් සංස්ථාව තුළ නිසි වගකීම තේරුම් ගනිමින් යුතුකම් හැඳිනගෙන භෞතිකව මෙන්ම අධ්‍යාත්මිකවද දරුවන්ගේ මිනිස්කම පිපිදෙන ලෙස කටයුතු කිරීම යහපත් ය.

නිරවුල් කර්මාන්තවල යෙදීම (අනාකුලාච කම්මන්තා)

තමා ගැන පමණක් සිතා කොහොම හරි ජීවත්වෙනවා යන පදනමේ නොසිට “ ධම්ම” යන පදයට යටත්ව තම ආර්ථික කටයුතු මෙහෙය වීම (ධම්මේන අසහසේන) ධාර්මිකවීම හා සැහැසි නොවීම බුදුදහමේ අනුදත් මාර්ගයයි. තුලා කූට, මාන කූට ආදි අයහපත් වෙළෙද උපක්‍රම භාවිතා නොකර කර්මාන්තවල යෙදීමත් වස විස අවි ආයුධ මස් මාංශ වෙළෙඳාමෙන් බැහැරවීම ජීවිතයට සුබ වීමට හේතුවකි.

දන්දීම දහම්හි හැසිරීම (දානඤ්ච ධම්මචරියාච)

ධර්මානුකූල ජීවිතයත් තමන් සතු දේ ලැබිය යුත්තන්ට ලබාදීම භව සමුදය ලැබීමට බලවත් හේතුවකි. කය, මනස, මනාව පිහිටීමටත් දීර්ඝායුෂ සම්පත් විදීමටත් මෙය හේතුවේ. භවය තුළ සමෘද්ධිය නැති විට භව නිරෝධය හෙවත් භවය කෙටි කිරීම බාධාවකි.

නෑයන්ට සංග්‍රහ කිරීම (ඤාතකානන්ච සංගහෝ)

තමා සැපවත් වනවාසේම තම ඥාතීන් උදෙසා පවා යුතුකම් ඉටු කළ යුතුය. බුදුහිමියෝ පවා ඥාති සංග්‍රහය සිදුකළහ. පංච බලිදේශනා කළේද එහෙයිනි උදා :- ඥාති බලි

නිවැරැදි ක්‍රියාවන්හි නිරතවීම (අනවජ්ජානි කම්මානි)

තමන් මෙන්ම අන්‍යයන්ට හානි නොපැමිණෙන ක්‍රියාවන්ගෙන් ඉවත්ව යහපත් ක්‍රියාවන්ගෙන් පමණක් යුතු වීම බොහෝ සෙයින් යහපත්ය.

පවෙහි නො ඇලීම සහ පවෙන් වැළැකීම (ආරති විරතිපාපා)

සසර දුක්ගෙනෙන දෙලොව අයහපත පිණිස පවතින නරක ක්‍රියාවන් කිරීම හෝ අනුබලදීම වර්ණනා කිරීම නොකළ යුතුය. එය තමා පසුපස අයහපත පිණිස පැමිණෙයි. පව් සිදුකිරීම මිහිරි දෙයක් වුවත් ප්‍රතිවිපාක මිහිරි සුබ දෙයක් නොවේ.

රහමෙර පානයෙන් ඉවත්වීම (මජ්ජපානාච සඤ්ඤ මෝ) මෙය සුබදෙයක් නොවන අතර බොහෝ සුබ කටයුතු පවා මේ නිසා අසුබ බවට පත්වෙති. මත්වීමට, ප්‍රමාදවීමට, පසුතැවීමට හේතුවන මෙයින් ඉවත්ව තම දිවිගෙන යා හැකි නම් එය උතුම් ලාභයකි.

කුසල් දහම්හි අප්‍රමාදී වීම (අප්පමාදෝච ධම්මේසු)

කළ යුතු යහපත්දේ සිදුකිරීමට අප්‍රමාද වීම යහපත් වන අතර ප්‍රමාදය පසුතැවීමට හේතුවකි. නිවනට අවශ්‍ය සත්තිස් බෝධිපාක්‍ෂික ධර්ම අතර සතර සම්‍යක් ප්‍රධන් වීර්යයන් තුළින් පැහැදිලි කරනුයේද මෙම ගුණයයි.

උතුමන්ට ගෞරව කිරීම හා යටහත් පහත් පැවතුම් ඇති බව (ගාරවෝච නිවාතෝච)

ධනය බලය නිසා උදම් නොවීම අනතිමානී ගුණයෙන් යුත් තැනැත්තා ධනය බලය නැති දා පවා එක හා පූජාවට ලක්වේ. මෙය උතුම් ගුණයකි.

සිතේ සතුට හා කළගුණ දන්නා බව (සන්තුට්ඨීච කතඤ්ඤුතා)

පරම ධනය වන චිත්තප්‍රසාදයත් උදවු උපකාර අමතක නොවන බවත් උතුම් ගුණ දෙකකි.

සුදුසුකල දහම් ඇසීම (කාලේන ධම්මසවණං)

යහපත් අවවාද උතුම් උපදේශ සුදුසු කාලයෙහි ලැබීම දියුණුවට හේතුවකි.

ඉවසීම , කීකරුබව, (ඛන්තීච සෝවචස්සතා)

අන්‍ය මතවාදයන්ට ඇහුම්කන්දීමත් ඉවසීම නමැති බෝධිසත්ව ගුණය පුරුදු කිරීම බෞද්ධයා ගේ ස්වභාවයයි. බෝධිසත්ව සහ බුද්ධ චරිතයේ ප්‍රකටම ගුණය ද මෙයයි. ක්ෂාන්ති පාරමිතාවේදී මේ බව වඩාත් පැහැදිලිවේ. දරුවන් දෙමාපියන්ට කීකරු වනවා සේම දෙමාපියන් දරුවන් පිළිබඳ මුදිතා ගුණයෙන් යුක්තවීම අවශ්‍ය අන්‍ය සංස්ථාවන්ද එසේ වන කල එය සමස්ත සමාජයටම සුබඵල ගෙන දෙන්නක් බවට එය පත්වීම ප්‍රත්‍යක්ෂය.

පැවිදි උතුමන් දැකීම (සමණානඤ්ච දස්සනං)

සිල්වත් ගුණවත් ප්‍රත්‍ය පහසුකම් ලැබීමට සුදුසු භික්‍ෂූ ආකල්පයන්ගෙන් හෙබි භික්‍ෂූන් දැකීම යහපත් ය.සමාජයේ හිස භූ ගා ගත් භික්‍ෂූන් දැකීම අසුබ යැයි මතවාදයක් ඇතැමුන් ඇතිකරගෙන ඇත. එයට හේතුව වන්නේ තොටගමුවේ රාහුල හිමියන්ගේ ප්‍රකාශයකි. එනම් දුසිල්වතුන් දැකීම සුබනොවන බවයි. එය සමස්ත භික්‍ෂූන්ට පොදුවූවක් නොවේ.

සුදුසුකල ධර්ම සාකච්ඡා කිරීම (කාලේන ධම්ම සාකච්ඡා) තම ජීවිතයට ධර්මය එක්කර ගැනීමත් වැරැදි නිවැරැදි දේ සොයාබලා නිවැරැදි දේ සිදුකිරීමට කටයුතු කිරීමට, ධර්මය පහුරක් කරගැනීම අඩුපාඩු සකසමින් යහපත්ව ඉදිරියට යාම සඳහා හේතු වේ.

තපස, හා බඹසර විසීම (තපෝච බ්‍රහ්මචරියංච)

ගිහි ජීවිතය තුළ මෙය ප්‍රායෝගික නොවුනද මසකට එක්වරක් හෝ කාමභෝගී දිවියෙන් ඉවත්ව ආධ්‍යාත්මික සංවර්ධනය ඇති කරගත යුතුය. ඒ සඳහා අටසිල් සමාදන්ව පොහොය දිනය යොමු කළ හැකිය. ඒ තුළ චිත්ත ඒකාග්‍රතාවය ඇති කර ගැනීමට හැකියාව ලැබේ. පුද්ගලයෙකුට සාර්ථක දිවියක් වෘත්තියක් පවත්වා ගෙන යාමට නම් චිත්ත සමාධිය අත්‍යවශ්‍යය ඒ සඳහා තපස බඹසර මංගල කාරණාවකි.

ආර්ය සත්‍යයන් දැකීම (අරියසච්චාන දස්සනං)

උතුම් වෙනස් නොවන සත්‍යදැන හැඳිනගෙන මුලාවෙන් අත්මිදි යථාර්ථධර්මයට මුහුණදීම ඉතා යහපත්ය. ලෝකයේ සත්‍ය දෙකක් තුනක් නැත. ඇත්තේ එකකි. එය හදුනාගැනීමට බුද්ධිය අවධි කිරීම මංගලකාරණයකි.

නිවන් අවබෝධ කිරීම (නිබ්බාණසච්ඡිකිරියාච)

ඇත්ත ඇති සැටියෙන් දැකීමට හැකි යථාභූ®ත ඤාණය ලැබ (තෙරක් නොපෙනෙන සසර නැති කිරීම තාවකාලික සුබදේට වඩා යහපත්ය.

අටලෝ දහමින් කම්පා නොවීම (ඵුට්ඨස්සලෝක ධම්මේහි (චිත්තං යස්ස න කම්පති)

සියල්ල සම සිතින් සම මෙතින් විඳ දරා ගැනීමට පුරුදු වී ලාභ,අලාභ, යස,අයස, නින්දා, ප්‍රශංසා, සැප, දුක් යන සෑම අවස්ථාවේදීම අධිකව සතුටට මෙන්ම දුකට පත්වීමෙන් තොරව සිටීමට පුළුවන්නම් එය උසස්ය. ලාභයෙන් අධිකව උද්දාමයට පත්වී අලාභයෙන් වික්ෂෝපයට පත්වී හැඩූ කදුළින් විසීම සුබ නොවේ.

ශෝක නොකරන කෙලෙස් රහිත නිර්මල සිතක් ඇති බව (අසෝකං විරජං ඛේමං)

සිත ලෙඩ කරන අයහපත් සිතිවිලි වලින් ඉවත්ව සුපිරි සුදු සිතුවිලි වලින් යුතුව දවස ආරම්භ කිරීම මෙන්ම අවසන් කිරීම යහපත් ය. නොකළ දේ පිළිබද ශෝක නොකරමින් කළ යුතුදේ සිදු කිරීම වර්තමානය පමණක් නොව අනාගතය පවා සුබවීමට මෙලෙස ක්‍රියාකරමින් සියලු තැන්හි අපරාජිතව කටයුතු කිරීම මංගල කාරණයකි. ඇසට පෙනෙන කනට ඇසෙන හිතෙන දේ සුබ හෝ අසුබ ලෙස සිතීම තම වැඩකටයුතු කල්දැමීම අඥානකමකි. එසේම මිනිස් ශක්තියට නිගාවකි. අර්ථශූන්‍ය මෙන්ම හේතුඵල න්‍යායට පටහැනි කාරණයකි. බදු දහමට අනුව මිනිසාගේ ස්වාමියා මිනිසා මිස වෙනකෙකු නොවේ. එවන් ශක්තිය සතෙකුට හෝ දර්ශනයක වහලෙකු ගැතියෙකු බවට පත්කිරිම උචිත නොවේ.

මහාමංගල සූත්‍රයට අනුව සැබෑ මංගල කාරණා නොදැන ත්‍රිපිටකයෙහි සඳහන් නොවන ඇතැම් ආචාර උපචාරවිධි හා දේශනා බුදුදහම යැයි වරදවා වටහාගැනීම එක පැත්තකින් අකුසලයකි. (විචාරබුද්ධියට හානියකි)