Print this Article


තමාට තමා ම පහනක් වන්න

තමාට තමා ම පහනක් වන්න

යමෙක්ට පුණ්‍ය වේගය නිසා ඉහළින් ඉහළට ගොස් භවාග්‍රය දක්වා ගමන් කර ,යළිත් සුගතියට ඒමට වුව ද ඉඩ ඇත. ඒ හෙයින් කුමන මට්ටමකින් මනස සංවර්ධනය කළත්, අහසින් යා හැකි වුවත් පොළොවේ කිමිදිය හැකි වුවත් ,ආශ්චර්යමත් දේවල් කොපමණ කලත් නිවන් අවබෝධ කර ගන්නා තෙක් මේ සංසාරයේ අප විවිධ කුලකයන්ට අයත් වී සිටිමු. තමා, තමාගේ දීපය, පහන, ආලෝකය වන්න. තමන් තමන්ට දිවයිනක්, ගොඩබිමක් සොයා ගත යුතු වේ. දීප යන්නෙහි අර්ථ දෙකකි.සංසාර සාගරයේ ගමන් කරන අපට දිවයිනක් අවශ්‍යය යි.සසර අවිඳු අඳුරේ යන අපට දීපයක් අවශ්‍යය යි. ඒ නිසා අප අපට ම පහනක් ආලෝකයක් විය යුතු ය.

මෙම ලිපියේ දෙවනකොටස ජනවාරි 05 වැනිදා පත්‍රයේ ‘දැකිය යුතු දිවි මඟ’ යනුවෙන් පළ විය. අද පළවන්නේ එහි අවසාන කොටසයි.

“උක්ඛිත්වා පුඤ්ඤවෙගෙන
රූපාරූප ගතිං ගතා
භවග්ගතම්පි සම්පත්තා
පුනාගච්ඡන්ති දුග්ගතිං”

යමෙක්ට පුණ්‍ය වේගය නිසා ඉහළින් ඉහළට ගොස් භවාග්‍රය දක්වා ගමන් කර ,යළිත් සුගතියට ඒමට වුව ද ඉඩ ඇත. ඒ හෙයින් කුමන මට්ටමකින් මනස සංවර්ධනය කළත්, අහසින් යා හැකි වුවත් පොළොවේ කිමිදිය හැකි වුවත් ,ආශ්චර්යමත් දේවල් කොපමණ කලත් නිවන් අවබෝධ කර ගන්නා තෙක් මේ සංසාරයේ අප විවිධ කුලකයන්ට අයත් වී සිටිමු. එම කුලක බ්‍රහ්ම, මනුෂ්‍ය, තිරිසන් ආදී විය හැකි ය. ඉන් මිදිය හැක්කේ සසර දුක් අවසන් කිරීමෙන් පමණි. ඒ හෙයින් සම්‍යක්සම්බුද්ධ සර්වඥයන් වහන්සේ දේශනා කර ඇත්තේ මේ සසර ඉන්නා සෑම කෙනෙක් ම දුකට හිමිකම් කියන බවයි. බෞද්ධයන් ලෙස අප මේ දුක් නැති කරන ප්‍රතිපදා මඟට පැමිණිය යුතු ය.

“අත්තනාව කතං පාපං
අත්තනා සංකිලිස්සති
අත්තනා අකතං පාපං
අත්තනා ව විසුජ්ඣති
සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤමඤ්ඤං විසොධයෙ”

මේ පාඨය බෞද්ධයාගේ ආදර්ශ පාඨය වීමට තරම් අගනා ප්‍රකාශයෙකි.

අත්තනාව කතං පාපං - තමන් කරන වැරැදි

අත්තනා සංකිලිස්සති – තමාව කෙලෙසයි

අනුන් කරන වැරදිවලට තව කෙනෙක් වග නොකියනු ඇත.

අත්තනා අකතං පාපං
අත්තනා ව විසුජ්ඣති

තමා නොකළ පව් තමාව පිරිසුදු කරයි. තමා හොඳ දෙයක් කළ කල්හි තමා පිරිසුදු වේ.

සුද්ධි අසුද්ධි පච්චත්තං - පිරිසුදු බව, අපිරිසුදු බව අයත් වන්නේ තමන්ට ම ය.

නාඤ්ඤමඤ්ඤං විසොධයෙ – කාටවත් කාවවත් පිරිසුදු කිරීමට හෝ අපිරිසුදු කිරීමට හෝ හැකියාවක් නැත. ඒ හෙයින් ස්වතන්ත්‍රව තමන්ගේ ආධ්‍යාත්මය පිරිසුදු කර ගන්නා වැඩපිළිවෙළක් බෞද්ධයාට ඇත.

අත්තදීපා විහරථ භික්ඛවෙ අන්තසරණා නාඤ්ඤසරණා

තමා, තමාගේ දීපය, පහන, ආලෝකය වන්න. තමන් තමන්ට දිවයිනක්, ගොඩබිමක් සොයා ගත යුතු වේ. දීප යන්නෙහි අර්ථ දෙකකි.

සංසාර සාගරයේ ගමන් කරන අපට දිවයිනක් අවශ්‍යය යි.

සසර අවිඳු අඳුරේ යන අපට දීපයක් අවශ්‍යය යි.

ඒ නිසා අප අපට ම පහනක් ආලෝකයක් විය යුතු ය.

වක්කලී හිමියන්ගේ කථා වස්තුව ඔබ හැම දනී. අලංකාර රූපශි‍්‍රයක් හිමිව තිබූ බුදුරදුන් දෙස බලා සිටීම වක්කලී හිමියන්ගේ පුරුද්දක් විය. ඒ දුටු ශාන්ති නායකයාණන් වහන්සේ වක්කලී හිමියන්ට මෙසේ පැවසූ සේක.

“අපගමෙහි වක්කලි” – වක්කලී ඉවත් වෙලා යන්න.

කිං තෙඉමාය පූතිකායෙන දිට්ඨෙන

ඔබට මාගේ මේ කුණුවන ශරීරය දෙස බලා හිඳීමෙන් ඇති ඵලය කුමක්ද? පර්වත වනදුර්ග ඇත. එහි ගොස් බණ භාවනා කරන්න. ඒ තුළින් මා දකින්න යනුවෙන් ප්‍රකාශ කළ සේක.

“යො ඛො වක්කලී ධම්මං පස්සති සො මං පස්සති”

ධර්මය දකින්නා මා දකී. බුදුරදුන් දේශනා කර ඇත්තේ ධර්මය තුළින් උන්වහන්සේ දකින ලෙසයි.

බුද්ධ පරිනිර්වාණය පිළිබඳ මහාපරිනිබ්බාන සූත්‍රයේ මෙසේ විස්තර කෙරේ. තුන්ලෝකාග්‍ර වූ බුදුරදුන් වහන්සේ පිරිනිවන් පෑමට ආසන්න මොහොතේ රහතන් වහන්සේලා ධර්ම සංවේගය ඇතිකර ගනිමින් ද පෘතග්ජන භික්‍ෂූන් වහන්සේලා වැළපෙමින් ද බුදුරදුන් සමීපයෙහි සිටියහ. ආනන්ද හිමියෝ මහා දුකකින් කුසිනාරානුවර මල්ල රජදරුවන්ගේ උපවර්තන සල් උයනෙහි එක් කෙලවරක පිහිටි ගෘහයක් වෙත ගොස් එහි අගුලේ එල්ලි එල්ලී ඇඬූ බව එහි සඳහන් වේ. එහෙත් ධම්මාරාම නම් හිමි නමක් වෘක්‍ෂ මූලික වී භාවනා කරමින් සිටියහ. මිනිස් සමාජය තුළ සිදුවන ඉතා සරල සිදුවීමක් එදා ද සිදු විය. එනම් පෘතග්ජන භික්‍ෂූන් වහන්සේ පිරිසක් බුදුරදුන් වෙත ගොස් කේලාම් කීමය. “ස්වාමීනි, ඔබ වහන්සේ පිරිනිවන් පෑමට ආසන්න හෙයින් රහතන් වහන්සේලා ධර්ම සංවේගය උපදවා ගනිමින් ද, පෘථග්ජන භික්‍ෂූන් වහන්සේලා හඬා වැළපෙමින් ද සිටින මුත් ධම්මාරාම හිමි ගසක් මුලට වී භාවනා කරන්නේ යැයි කේලාම් කීහ. එබස් අසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනුයේ “මට නිසි උපස්ථානය කරනුයේ ධම්මාරාම භික්‍ෂුවයි” යනුවෙනි.

බෞද්ධයන් ලෙස අප හොඳ ඇතුළාන්තයක් සකස් කරගෙන බුදු දහමට ඇති අභ්‍යන්තර, බාහිර බලවේග පිළිබඳ හොඳ අවබෝධයක් ඇතිකර ගනිමින් ජාතියට දේශයට එරෙහිව ඇති විවිධ බලවේග පිළිබඳ අවබෝධයෙන් ක්‍රියා කළ යුතු වේ. නිවැරැදිව ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ධර්මය ජීවිතයට අනුගත කර ගැනීම මැනවි.