|
|
ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ උඳුවප් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2013 ක් වූ ජනවාරි 11 වනදා සිකුරාදා |
|||
ථෙරවාදී බුදුදහම අද දක්වාම නිර්මලව ආරක්ෂාවන ශ්‍රී ලංකාවේ ඉපිද, තම රට, දැය, සමය වෙනුවෙන් ස්වකීය ජීවිතය කැප කළ අනගාරික ධර්මපාලතුමා අමෙරිකාවේ චිකාගෝ නුවර පැවැති දෘෂ්ඨි සම්මේලනයට ශ්‍රී ලංකාව වෙනුවෙන් සහාභාගි වී ලෝකයේ විවිධ රටවල විවිධ ආගම් අදහන දහස් සංඛ්‍යාත ජනතාව අමතා කතා කිරීමට අවස්ථාවක් සලසා ගත්තේය. එතුමා එදා පැවැත්වූ ඒ විශිෂ්ට දේශනා යුරෝපය පුරාම බුදුදහම පිළිබඳ නව පරිච්ඡේදයක් ආරම්භ වීමට හේතුවිය.
යුරෝපයට බුදුදහම ගෙන ගිය ධර්මදූතයා වන අනගාරික ධර්මපාලතුමා දෙවැනි
ධර්මාශෝක වශයෙන් හැඳින්විණ.ලොව පුරා මේ අයුරින් බුදුදහම පැතිරෙද්දී
ඕස්ට්‍රේලියා මහාද්වීපයේද ක්‍රමයෙන් බෞද්ධ ප්‍රබෝධයක් ඇතිවන්නට විය.
එහි ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රථමයෙන්ම බිහිවූ ඕස්ට්‍රේලියානු මහාද්වීපික
බෞද්ධ විහාරස්ථානයෙන් ගත වූ වසර 40 පුරාවට ධර්ම ප්‍රචාරය වෙනුවෙන්
ඉටුවූයේ මහඟු සේවයකි. වරින් වර ශ්‍රී ලංකාවෙන් වැඩමවන ලද භික්ෂූන්
වහන්සේ එහි වැඩ සිට ඕස්ට්‍රේලියාවට බුදුදහම හඳුන්වාදීමට විසල් මෙහෙවරක්
ඉටු කර තිබෙන බව කෘතඥතා පූර්වකව සිහිපත් කළ යුතුව ඇත.
ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයන්ට ද මෙම විහාරස්ථානය සිත
නිවන, සැදැහැ වඩන තෝතැන්නකි. ශ්‍රී ලංකාව ගැනත්, ශ්‍රී ලංකාවේ භික්ෂූන්
වහන්සේ පිළිබඳත් නිර්මල ථෙරවාදී බුදුදහම ගැනත් හඳුන්වා දීම නිසා
විදේශිකයන්ගේ පැසසුමට ලක්ව ඇත. ඕස්ෙට්‍රිලියානු ජාතිකයන්ම මෙහි පැවිදි
වී විහාරස්ථාන ආරම්භ කොට ඕස්ට්‍රේලියානු මහාද්වීපය පුරා දහම් සුවඳ
පැතිර වීම ඉමහත් සතුටකි. විසම කාලගුණ තත්ත්වයක් පවතින අධික ශීතලකින්
යුතු පරිසරයක සිට උතුම් ධර්මඥානය ලබා ගන්නා දෙස් විදෙස් සැදැහැවතුන්ගේ
සංඛ්‍යාව ඉහළ යෑම ලෝක ශාසන පුනරුදයේ දීප්තිමත් සන්ධිස්ථානයකි. අන්තර්ජාතික කීර්තියට පත් විද්‍යා ප්‍රබන්ධ ලේඛකයකුවූ ආතර් සී. ක්ලාක් මහතා ඉදිරි අනාගතයේදී සිදුවන බොහෝ දේ ගැන කල්තියා අනාවැකි පළ කළේය. චන්ද්‍රිකා පණිවුඩ තාක්ෂණ ක්‍රමය ඔහුගේ සිහිනයකි. අද එය සැබෑවී ඇත. 1950 දී ‘ගැඹුරු මුහුද’ නමින් ඔහු විසින් සම්පාදනය කරන ලද කෘතියෙන් තව වසර 100 කින් ලෝකය තුළ සිදුවන බොහෝ වෙනස්වීම් පිළිබඳ ඉඟි පළ කෙරිණි. 2004 දී සිදුවූ සුනාමිය ඉන් එක් සත්‍යයක් බව ලොවටම ප්‍රත්‍යක්ෂ විණ. එහිදී ඔහු සඳහන් කළ තවත් එක් කරුණක් මෙහිලා සඳහන් කිරීම වැදගත් යැයි සිතේ. තව වසර 100 ක් ගත වූ තැන (එනම් 2050 දී) ලෝකයේ දේවවාදී සියලුම ආගමික දර්ශන අභාවයට යන අතර බුදුන් වහන්සේ වදාළ විශ්ව දර්ශනය සියලු විද්‍යාත්මක අභියෝග ඉදිරියේ නොසැලී පවතින බව ඔහු එදා සඳහන් කළේය. පංචේන්ද්‍රියන් පිනවීමේ අන්තයටම ගමන් කළ යුරෝපීය සමාජයට අද ‘නවාතැනක්’ අවශ්‍යව තිබේ.අධ්‍යාත්මික සුවය ලබා ගැනීමට ‘තෝතැන්නක්’ අවැසිව තිබේ. දූරදර්ශි වූ පූජ්‍ය රත්මලානේ සෝමාලෝක හිමිපාණන් 1972 දී ඕස්ට්‍රේලියානු මහාද්වීපයේ ප්‍රථම බෞද්ධ විහාරස්ථානය ලෙස කටුම්බා ආරණ්‍ය සේනාසනය ආරම්භ කිරීමෙන් බටහිර ජාතීන්ට අවශ්‍යවූ ‘නවාතැනක්’ සහ ‘තෝතැන්නක්’ යන කරුණු දෙකම සපුරා තිබීමෙහි වටිනාකම මැනිය නොහැකිය. ඕස්ට්‍රේලියානු කටුම්බා විහාරස්ථානයටත්, එහි විහාරාධිපතිධුරය හොබවන ශාස්ත්‍රවේදී කුඩාගල කෝවිද ස්වාමීන් වහන්සේටත් ලෝක ශාසනයේ චිරජීවනය වෙනුවෙන් තවත් බොහෝ සේවාවන් ඉටු කිරීමට තෙරුවන් බෙලෙන් භාග්‍යය සහ ශක්තිය ලැබේවායි ශ්‍රී ලාංකේය සමස්ත බෞද්ධ ජනතාව සමඟ ඉත සිතින් ප්‍රාර්ථනා කරමු.
|
||||
|
©
2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම |
||||