Print this Article


පූජාච පූජනීයානං

පූජාච පූජනීයානං

කනංකේ ශ්‍රී ඤාණාලෝක නා හිමි

කනංකේ රජමහා විහාරය, පැනෑටියන ශ්‍රී චේතියාරාමය, නිමලව ශ්‍රී විජයාරාමය යන විහාරයන්හි විහාරාධිපතිව හා රාජමහා විහාර පිරිවෙනේ පරිවෙණාධිපතිව වැඩ සිට මෙයට වසර තිස් දෙකකට පෙර අපවත් වී වදාළ මාතර දිසාවේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත කනංකේ ශ්‍රී ඤාණාලෝක මාහිමිපාණන් වහන්සේ වැලිගම කෝරළයට අයත් කනංකේ ගමේදී 1904 ජනවාරි 07 වන දින ජන්ම ලාභය ලැබීය.

එවකට කනංකේ රාජමහා විහාරාධිපතිව වැඩ සිටි මාවැල්ලේ ශ්‍රී‍්‍ර මේධංකර මහා ස්වාමී් වහන්සේගේ ශිෂ්‍යයෙකු ලෙස කනංකේ ඤාණාලෝක නමින් 1918 පෙබරවාරි 01 වන දින සසුන් ගත වූහ.මූලික අධ්‍යාපනය ගාල්ල කිතුලම්පිටිය ආනන්ද පිරිවෙණින් ලබාගෙන 1925 මැයි12 දින මහනුවර මල්වතු මහා විහාරයේදී පැනෑටියන සද්ධාතිස්ස නාහිමියන්ගේද ශිෂ්‍යයකු ලෙස උපසම්පදා විය. උසස් අධ්‍යාපනය මාලිගාකන්දේ විද්‍යෝදය මහ පිරිවෙණ මගින් ලබා ගත් ඤාණාලෝක හිමියෝ ධර්ම විනය හා භාෂා ශාස්ත්‍ර දැන උගත් මහ පඬිරුවනක් බවට පත්වූහ.

ඤාණාලෝක හිමියෝ බඹරැන්ද ගල්කින්ද රතනසාර පිරිවෙණෙහි ආරම්භක පරිවෙණාධිපති හිමි වශයෙන් වසර 10 ක් කටයුතු කළහ. 1945 දී කනංකේ රාජමහා විහාර පිරිවෙණ ආරම්භ කර එහි පරිවෙණාධිපතීන් වහන්සේ ලෙස කරන ලද සේවාව අනිගිභවනීය වෙයි.

ප්‍රදේශයේ පමණක් නොව ඈත ප්‍රදේශවලින් ද ගිහි පැවිදි ශිෂ්‍යයන් තම විහාරස්ථානයේ නේවාසික කරවාගෙන ඔවුන්ට අවශ්‍ය කරන හැම දෙයක්ම සපයා දෙමින් ඔවුන් රට දැය සමයට වැඩදායක ගුණ නැණ සපිරි පුරවැසියන් බවට පත් කළහ. ප්‍රදේශයේ පාසල් කීපයක්ම ඇති කිරීමද ඒ සඳහා උපකාරි විය.

ශාසනයේ උන්නතිය වෙනුවෙන් ශාස්ත්‍රපති කනංකේ විමලඤාණ හිමි, වීරපානේ චන්දා නන්ද හිමි වැනි වටිනා සිසු පිරිසක්ද සසුනට දායාද කළහ. මහනුවර මල්වතු මහා විහාරයේ මහා නායක මා හිමිපාණන් වහන්සේගේ ප්‍රධාන කාරක සංඝ සභාව මඟින් මාතර දිසාවේ ප්‍රධාන සංඝනායක පදවියට ද ඤාණාලෝක හිමියන් පත්කර තිබුණි.

මෙසේ ලෝ සසුන් දෙකට උදාර සේවාවක් සිදු කොට අපවත් වී වදාළ කනංකේ ශ්‍රී ඤාණාලෝක නාහිමියන්ගේ හා පැනෑටියන ශ්‍රී සද්ධාතිස්ස නාහිමියන්ගේද ගුණ සමරමින් 25 වන දින සිට දිනපතා අටවිසි බුද්ධ පූජා බෝධි පූජා පැවැත්වෙන අතර 31 වන දින රාත්‍රි පිරිත් දේශනාවක්ද පසුදින දවල් සඟසතු මහා දානයක්ද පූජාකිරීමට විහාරධිපති කනංකේ විමලඤාණ හිමියන්ගේ අනුශාසනා පරිදි දායක සභාව කටයුතු යොදා ඇත.

කනංකේ ශ්‍රී ඤාණාලෝක නාහිමියන්ට නිවන් සුව ලැබේවා

කනංකේ රාජමහා විහාර පරිවෙණාධිපති
ශාස්ත්‍රපති
කැටවල ඉන්දසාර හිමි


කඳන්ගොඩ සමිත හිමි

මඩලගම ශ්‍රී විජයින්දාරාමයේ වර්තමාන ආධිපත්‍ය දරන්නේ ශාස්ත්‍රවේදී කඳන්ගොඩ සමිත හිමිපාණන් ය. කුරුවිට, කඳන්ගොඩ, පී.ඒ. පොඩිමහත්මයා හා එච්.වී. නෝනා හාමිනේ යන දම්පතීන්ට දාව මෙලොව එළිය දුටු පී.ඒ. වනිගසේකර කුමරු කුරුවිට මැදි විදුහලෙන් සිප් සතර හැදැරීය.

පැවිදි වීමට තිබූ කැමැත්ත නිසාම එවකට කහවත්ත, මඩලගම ශ්‍රී විජයින්දාරාම විහාරස්ථානයේ වැඩ සිටි කොටාමුල්ලේ සරණජෝති මාහිමිපාණන්ගේ ශිෂ්‍යයෙකු වශයෙන් 1962.12.31 වන දින කඳන්ගොඩ සමිත නමින් පැවිදි වූහ. පැවිදිවීමෙන් පසු අදාළ බණ දහම් හැදෑරීමට කුරුවිට, මිල්ලවිටිය ශ්‍රී විද්‍යාවර්ධන පිරිවෙනටද අනතුරුව රත්නපුර, මුවගම සිරිවිසුද්ධාරාම පිරිවෙනට ද උසස් අධ්‍යාපනය සඳහා පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙනට ඇතුළත්ව උසස් අධ්‍යාපනය නිමවා ශාස්ත්‍රවේදී උපාධිය ද ලබා ගත්හ.

1966 තම ගුරු හිමියන් අපවත් වූ බැවින් මඩලගම විහාරස්ථානයට පැමිණ ප්‍රදේශයේ ආගමික ශාසන කටයුතුවල නිරතව සිටින වකවානුවේ එනම් 1970 දී උන්වහන්සේට බදුල්ල දිස්ත්‍රික්කයට ගුරු පත්වීමක් ලැබුණි. මඩලගම විහාරස්ථානයෙන් පිටව ගොස් බදුල්ල දිස්ත්‍රික්කයේ විදුහල් කීපයක දඹුල්ල ප්‍රදේශයේ පාසලක ද, අනතුරුව නිවිතිගල සුමන මහා විද්‍යාලයේ ද වසර කිහිපයක් සේවය කළ උන්වහන්සේ විදුහල්පති තනතුර සඳහා මඩලගම මහා විද්‍යාලයට පැමිණියේ ය. සිය ගොදුරුගමේ පිහිටි අධ්‍යාපන ආයතනය දියුණු කිරීම සඳහාත්, ප්‍රදේශයේ දූ දරුවන්ගේ නැණ ගුණ දියුණු කරලීම පිණිසත් උන්වහන්සේ දිවා රාත්‍රී නොබලා කටයුතු කළහ.

මෙවන් ශාසනික ජාතික සේවාවන් සිදු කරමින් කටයුතු කරන ශාස්ත්‍රවේදී කඳන්ගොඩ සමිත හිමිපාණන් වෙත උන්වහන්සේගේ සේවාව අගය කරමින් ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ ඉද්දමල්ගොඩ විහාර පාර්ශවයේ මහානායක ධුරන්දර රාජකීය පණ්ඩිත මඩලගම වජිරබුද්ධි හිමියන් ඇතුළු කාරක සංඝ සභාව විසින් උන්වහන්සේ එම පාර්ශවයේ සම ලේඛකාධිකාරී තනතුරට පත් කළහ.

දෙසැම්බර් 31 වෙනි දිනට පැවිදි ජීවිතයේ අඩ සියවසක් සපුරන ශාස්ත්‍රවේදී කඳන්ගොඩ සමිත හිමියන් වහන්සේට සෙත්පතා දෙසැම්බර් 29 වන දින සවස ආශිර්වාද බෝධි පූජාවක් හා සෙත් පිරිත් සජ්ඣායනයක් පවත්වා පසු දින දහවල අර්ධ ශතාධික මහා සඟරුවන විෂයෙහි සපිරිකර සංඝගත දක්‍ෂිණාවක් පිරිනමා උන්වහන්සේට තවදුරටත් තෙරුවන් බලෙන් දෙව් රැකවරණින් චිරාත් කාලයක් ජාතික ආගමික සේවාවන් සිදු කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවායි පතමින් ශ්‍රී ලංකා අමරපුර නිකායේ ඉද්දමල්ගොඩ විහාර පර්ශවයේ හා මඩලගම ශ්‍රී විජයින්දාරාම විහාරස්ථ දායක දායිකා පින්වතුන් හා ශිෂ්‍ය පිරිස ආශිර්වාද පින්කමක් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබිණි. එපින් බෙලෙන් සමිත හිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවායි ආශිර්වාද කරමු.


මහාචාර්ය වැලිගම සීලානන්ද නා හිමි

මහාචාර්ය වැලිගම සීලානන්ද නාහිමිපාණන් වහන්සේ අපවත් වී 2013 මාර්තු 08 වන දිනට 25 වසරක් සපිරේ. උන්වහන්සේගේ ශාසන සේවය අතර වැලිගම කප්පරතොට ශ්‍රී සංඝානන්ද විද්‍යාලය ආරම්භ කොට (1954 ජනවාරි 06) වසර 59 ක් සපිරේ. ඒ වෙනුවෙන් පැවැත්වෙන පින්කම් මාලාවේ විශේෂ අවස්ථාව වෙනුවෙන් මෙම ලිපිය සැකසේ.

වැලිගම කප්පරතොට, වීරරත්න මාතර මහවිදාන පටබැඳිගේ මෝනිස් සිල්වා මහතාගේ සහ සුදිරුක්කු හැන්නදි ගේ බබානෝනා මහත්මියගේ පුත් රුවනක් වන මුන්වහන්සේ 1914 මාර්තු 04 වන දින මෙලොව එළිය දුටු අතර වැලිගම ශ්‍රී සංඝානන්ද නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් වයස අවුරුදු 10 දී 1924 ජූනි12 දින වැලිගම රාජකුලවඩන සීමාමාලකයේ දී වැලිගම සීලානන්ද නමින් පැවිදි බිමට පත් විය. මුන්වහන්සේගේ පැවිදි දිනයෙහි සිදු වූ විශේෂ සිද්ධියක් නම් වැලිගම කප්පරතොට සිරි ඛෙත්තාරාම විහාරය සඟ සතු කොට පූජා කිරීමය. පැවිදි වීමෙන් පසුව එනම් 1925 ජනවාරි මස පානදුර වැලිපිටිය අභය කරුණාරත්න මුදලින්දාරාමයට ගොස් එහි වසරක් පමණ විසීමෙන් පසු, 1926 ජනවාරි 10 දින රත්මලාන පරමධම්ම චේතිය පිරිවෙනට ඇතුළත්ව ධර්ම විනය, ශබ්ද ශාස්ත්‍ර හදාරා පසුව එවකට චිර ප්‍රසිද්ධව පැවති විද්‍යෝදය පිරිවෙනට ඇතුළත්ව 1936 දී ගෞරව පන්තියෙන් අවසාන වර්ෂයේ විභාගය සමත් විය. 1934 මැයි 16 වන දින උපසම්පදාව ලැබූ අතර 1957 – 1958 වර්ෂවලදී ප්‍රාචීන අවසාන විභාගය හෙවත් පණ්ඩිත උපාධිය සමත් විය. 1960 දී එවකට විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ (වර්තමාන ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රථම වරට පැවැත් වූ බී.ඒ.විභාගයේ) ප්‍රථමයා ලෙස සමත් වූ අතර 1972 ශාස්ත්‍රපති උපාධියද හිමිකර ගත්තේ ය. 1960 දී විද්‍යෝදය පිරිවෙනේ උප ආචාර්යවරයෙක් වශයෙන්, ශ්‍රී ලංකා විද්‍යාලයේ ආචාර්යවරයෙක්, රත්මලාන පරිවෙනාචාර්ය අභ්‍යාස විද්‍යාලයේ කථිකාචාර්යවරයෙක්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්, අනුරාධපුර බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨයේ මහාචාර්යවරයෙක් ලෙස ශාස්ත්‍රීය සේවයේ නිරත වූ අප මාහිමිපාණන් වහන්සේ සමස්ත අමරපුර සංඝ සභාවේ සම ලේඛකාධිකාරී ධූරයද අමරපුර නිකායේ ප්‍රධාන ලේකම් ධුරයද දරමින් විශාල මෙහෙයක් කළහ.

මොරටුව ලක්‍ෂපතිය ක්‍ෂේත්‍රාරාම මහා විහාරය වැලිගම කප්පරතොට සිරි ඛෙත්තාරාමය, මිනුවන්ගොඩ, වල්පොල චේතියාරාම විහාරය, අඟුලාන සුමනාරාමය, කල්දෙමුල්ල සුධර්මාරාමය යන විහාරයන්හි අධිපතිත්වය දරමින් ආගමික මෙහෙවරෙහි යෙදුනු මුන්වහන්සේ වැලිගම කප්පරතොට ශ්‍රී සංඝානන්ද විද්‍යාලය, මීගමුව වල්පොල රතනසාර විද්‍යාලය ආරම්භ කරමින් අගනා සාමාජික අධ්‍යාපන සේවයක් කළ අතර 1988 මාර්තු 08 දින අපවත් වී වදාළ සේක.

එම අපවත් වීම සසුනට රටට දැයට ඉමහත් පාඩුවකි. උන්වහන්සේට නිවන් සැප ලැබේවා!.


වගේගොඩ ශ්‍රී සීලානන්ද හිමි

වගේගොඩ ශ්‍රී සීලානන්ද නාහිමියන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගේගොඩ ග්‍රාමයේ ඇම්.ඇම්. ෆ්‍රැන්සිස් උපාසක මහතාට හා නන්දාවතී ඒකනායක මහෝපාසිකා මාතාවට දාව 1956 දෙසැම්බර් 12 වන දින උපත ලැබූහ.

අධ්‍යාපනය ගමේ පාසලෙන් ලබා ගත්හ. දොළොස්වන වියට පා තබන අවස්ථාවේ 1967 වෙසක් මස 22 දින (වෙසක් පෝයදා) ගලගම ශ්‍රී ඛේමානන්ද නා හිමියන්ගේ ශිෂ්‍ය පුත්‍රයෙක් වශයෙන් වගේගොඩ සීලානන්ද යන ශාසනික නාමයෙන් සසුන්ගත වූහ.

එතැන් පටන් ස්වකීය විහාරස්ථානය වූ අම්බලන්තොට වාඳුරුප්පේ ථේරපුත්තාභය රාජමහා විහාරයේ දී මූලික බණ දහම් ප්‍රගුණ කොට අනතුරුව තංගල්ල කුඩා විහාර ශ්‍රී ධම්මදින්න පිරිවෙණ, මාතර පුෂ්පාරාම පිරිවෙණ, මාතර ශ්‍රී සුදස්සි පිරිවෙණින් තම මූලික අධ්‍යාපන කටයුතු නිම කොට උසස් අධ්‍යාපනය සඳහා මාතර මහා මන්තින්ද පිරිවෙනින් උසස් අධ්‍යාපන කටයුතු නිම කළහ.

විසිවස් සපිරෙන අවස්ථාවේ එවකට ථේරපුත්තාභය රාජමහා විහාරාධිපතිව වැඩ විසූ ගලගම ශ්‍රී පේමරතන නා හිමියන්ගේ ආචාරයත්වයෙන් මහනුවර මල්වතු මහා විහාරයේ දී උපසම්පදාව ලබාගත් සීලානන්ද හිමියෝ එතැන් පටන් තමන් වහන්සේ අධ්‍යාපනය ලැබූ මාතර මහාමන්තින්ද පිරිවෙනේ ආචාර්ය ධුරයට පත් වූහ. ධර්මදූත සේවය සඳහා 1990 මැලේසියාවට වැඩම කළ මුන් වහන්සේ එතැනින් තායිලන්තයට ද 1992 දී ප්‍රංශයට වැඩම කළහ.

වගේගොඩ සීලානන්ද හිමියෝ සිසිලි දූපතට 2002 වර්ෂයේ වැඩම කළහ. එතැන් පටන් මේ වනතුරු එම දූපතේ තිබෙන ප්‍රධාන නගර වන පැලර්මෝ, සිරකුසා, ටවර්මිතා, කථානියා, මෙස්සිනා ආදී නගරවල ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ට ආගම් බේදයකින් ජාතිබේදයකින් තොරව සුවිශාල සේවාවක් සිදු කිරීම කාගේත් ප්‍රසංශාවට හේතු විය. සිසිලි බෞද්ධ විහාරය මඟින් සිදුවන සේවාව අමිලය. ශ්‍රී ලාංකිකයන්ට පමණක් නොව ඉතාලි ජාතිකයන්ගේ පවා අවශ්‍යතාවය මනා ලෙස ඉටු කරන පුණ්‍ය භූමියකි.

ලෝක ශාසනික සේවාවෙහි නියැලි වගේගොඩ සීලානන්ද හිමියෝ ස්වකීය ගුරුවරයාගේ අපවත් වීමෙන් පසු අම්බලන්තොට ථේරපුත්තාභය රාජමහා විහාරය ඇතුළු විහාරස්ථාන කීපයකම ආධිපත්‍යයට පත්වූහ.

මෙම ශාසනික සේවය අගයමින් මහා විහාර වංශික ස්‍යාමෝපාලි නිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ මහානායක මා හිමියන් ප්‍රධාන සානුනායක සංඝ සභාව මඟින් ‘සද්ධර්ම කීර්ති ශ්‍රී ඛේමානන්ද’ යන ගෞරව නාමය සහිතව ඉතාලියේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූහ. ඒ පිළිබඳ රාජ්‍ය උත්සවය අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2012 දෙසැම්බර් මස 17 වන දින සවස 4 ට අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.