Print this Article


සිත ලෙඩ වන හැටි

වරක් දෙව්රම් වෙහෙරේදී ආනන්ද හිමියන් විසින් දැඩි ලෙස රෝගීව ගිලන්ව හිටි ගිරිමානන්ද තෙරුන් පිළිබඳව බුදුරදුන්ට සැලකර සිටිනු ලැබුවා. එවිට බුදුරදුහු අනිත්‍ය,අනාත්ම, අශුභ, ආදීනව, ප්‍රහාණ, විරාග, නිරෝධ,අනභිරත, සර්ව සංසාරයන්හි අනිත්‍ය හා ආනාපනාසති යන සංඥා අසා ගිරිමානන්ද මහණුන්ගේ රෝගාබාධ හේතු විසින් සන්සිඳෙන්නේය යැයි ආනන්ද හිමියන්ට කීහ

අපේ කය ගෙයක් ද, සිත එහි වෙසෙන සත්වයෙක් ද වැන්න, කය නමැති ගෙය කැඩී බිඳී සීරී අබලන් වූ විට සිත නමැති  සත්වයා ද දුක් වෙයි. කය සමඟ දුක සැප විඳින සිත වෙත විවිධ ඉසව්වලින් එබී බලනු වටී. ‘සක්වළ සක්මන’ 26 වෙනි දැක්මෙන් ඊට අවැසි ආලෝකය මෙලෙස එක් කරමු.

මහ නායක හාමුදුරුවනේ,
පුදබිමටත් – යුදබිමටත් බුදුදහම සිත නිවන ඔසුවක් ද?

ඔව්. බුදුදහම මූලිකවම සිතත් එක්ක සබැඳුණ දර්ශනයක්. මේ අනුව, චණ්ඩාශෝක, වැන්නන් ධර්මාශෝක කිරීමටත්,අංඟුලිමාල වැනි මිනීමරුවන් රහත්භාවයට යොමු කිරීමටත් පුළුවන් වුණා. අද වුණත්, යුද බිමේ හුඟ දෙනෙක් බුදුදහමෙ සිත නිවන ගුණය පසක් කර ගෙන තිබෙනවා. බුදුදහම අදහන බ්‍රිතාන්‍ය හමුදා භටයින්ගේ සංඛ්‍යාව පවා පසුගිය කාලය තුළ ශීඝ්‍රයෙන් වැඩි වෙලා. ඒ බව ‘ලන්ඩන් ඩේලිමේල්’ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයක් මඟින් අනාවරණය කර තිබුණා. 2005 වසරෙදී 200 ක් පමණ වූ එම පිරිස මේ වන විට 3,800 ක් දක්වා වැඩී වී ඇති බව එහි දැක්වෙනවා. ඊට අමතරව ඇමරිකානු යුද සෙබලුනද 4000 ක් පමණ බුදුදහම වටා එකතු වී සිටිනවා.

හමුදා සේවයේදී සිතට ඇතිවන පීඩනය හා මානසික ආතතිය ආදි විවිධ ගැටලුවලට බුදුදහමෙන් සහනයක් ලබා ගත හැකි බව ඔවුන් දන්නවා. එහෙම නැතිව ඔවුන් බුදුදහම වටා පෙළ ගැසී තිබෙන්නේ. බලහත්කාර ප්‍රචාර නිසා හෝ බලපෑම් කිරීම් ආදිය නිසා නොවෙයි. පුදබිමේ බවුන් වඩන අයට වගේම යුද බිමේ සටන් කරන අයටත් සිතට සහනය කියන දෙය ඉතාම වැදගත් වෙනවා.

මීට සහන දෙන බුදු බණ මහාමංගල සූත්‍රයේ එන බොහෝ කරුණු මගිනුත් අපේ සිතට සහනය උදාකරගත හැකියි නේද?

ඔව්. බාල ජන ඇසුරට වඩා පණ්ඩිත ඇසුර නිසා ජීවිත ආලෝක කර ගත හැකියි. යහපත් සමාජ, පවුල් පසුබිමෙන් යුත් සුදුසු දේශයක ජීවත් වීමෙන් සිතට දැනෙන සහනය ඉතා ඉහළයි.සිත මනාව පිහිටුවා ගැනීම, විනයෙහි හික්මීම හා නිරවුල් යහපත් රැකියා කර්මාන්තවල යෙදීම වැනි කරුණු මගිනුත් ඍජුවම සිතට සහනයක් උදා කරනවා. ඊඟාවට සුභාෂිත වචන කථා කිරීම, දහමට නැඹුරු වීම, ඉවසීම, සුවචබව හා ලද දෙයින් සතුටු වීම හේතුවෙන් සිතට ඇතිවන සැහැල්ලුව කියන්න බැරි තරම්. ඒ වගේම, නිහතමානීබව, කෙළෙහිගුණ දැක්වීම හා උවදුරු රහිතව විසීම වැනි කරුණුත් සිතේ සහනය රඳා පැවතීමට හේතු වෙනවා.

කය ලෙඩ වූ විට සිත

ඒ වුණාට අපේ කය (ශරීරය) හදිසියේ රෝගී වූ විට සිතත් නොදැනීම රෝගී වී සිතේ සහනය නැතිවී යනවා .මේ විදියට ශරීරය (කය) රෝගී කරවන ප්‍රධාන ලෙඩ රෝග කීයක් විතර තියෙනවාද?

අපොයි ඕනතරම් තිබෙනවා. චතුභාණවාර පාළියෙහි එන ගිරිමානන්ද සූත්‍රයෙහි එහෙම වැළදෙන රෝග පනහක (50) ට ආසන්න ගණනක් විස්තර කෙරෙනවා.ඇසෙහි, කණෙහි, නාසයෙහි, දිවෙහි , හිසෙහි , කයෙහි, මුඛයෙහි, දත්වල, ස්වසනයෙහි, කුසෙහි පාදයෙහි හා වෙනත් ශරීරාංගවල හට ගන්නා විවිධ රෝගාබාධ මේ අතර වෙනවා.පිපාසය, කුසගින්න, මළ මුත්‍රා පිට කිරීම, අධික සීතල, උණුසුම, පීනස,ලේ පිත, ඔක්කාරය, දහඩිය, සැරව පිටවීම හා ජරාවට (මහලු) පත්වීම මෙන්ම සිහිමුර්ජා වීම ආදි රෝග තත්වයනුත් ඒ තුළ අන්තර්ගතයි.

ගිරිමානන්ද උපදේශය

“ගිරිමානන්ද සූත්‍රයෙන්” කයෙහි දුබලබව දුරු කර, සිතෙහි සහනය ඇති කර ගැනීමට දෙන උපදේශාර්ථය කුමක්ද?

වරක් දෙව්රම් වෙහෙරේදී ආනන්ද හිමියන් විසින් දැඩි ලෙස රෝගීව ගිලන්ව හිටි ගිරිමානන්ද තෙරුන් පිළිබඳව බුදුරදුන්ට සැලකර සිටිනු ලැබුවා. එවිට බුදුරදුහු අනිත්‍ය,අනාත්ම, අශුභ, ආදීනව, ප්‍රහාණ, විරාග, නිරෝධ,අනභිරත, සර්ව සංසාරයන්හි අනිත්‍ය හා ආනාපනාසති යන සංඥා අසා ගිරිමානන්ද මහණුන්ගේ රෝගාබාධ හේතු විසින් සන්සිඳෙන්නේය යැයි ආනන්ද හිමියන්ට කීහ. ඒ මෙසේය.

1. ආනන්දය, රූප වේදනා, සංඥා සංස්කාර,හා විඥානය යන පංචස්කන්දය අනිත්‍යවේ. එබැවින් ඊට ‘අනිත්‍ය සංඥා’ යැයි කියනු ලැබේ.

2. චක්‍ෂුස, රූප, ශ්‍රොතස, ශබ්ද, ඝ්‍රාණය, ගන්ධ, ජිහ්වා, රස, කය හා ධර්ම යන දස වැදෑරුම් අධ්‍යාත්මික බාහිර ආයතනයන්හි අනාත්මානුදර්ශීව වාසය කරයි මේවා “අනාත්මසංඥා’ වේ.

3. පාතලින් උඩ කෙස්මතුයෙන් යට සමහිම් කොට ඇති නානා ප්‍රකාර අශූචියෙන් පිරි මේ කය ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේය.මේ ශරීරයේ හිස කෙස් ය.රෝමය. නිය පොතුය, දත් ය. සම් ය. මාංසය , නහරය ඇටය, ඇට මිදුලුය, වකුගඩුය, හෘදය, අක්මාව, බඩ, දිවය, පපු කැණය, අතුනුය, අතුනුබහනය, පුරීෂය, පිත්ය. ශ්ලෙස්මාය, පුයාය,ලේය,සෝදියය,මේ දස්ය, කඳුළුය, වුරුණූ තෙල්ය,කෙලය මුකුනය හා මුය යන මේ කයෙහි අශූ®භානුදර්ශීව වාසය කරයි. එය ‘අශුභ සංඥා’ වේ.

4. මේ ශරීරයෙහි විවිධ ආබාධ හට ගනියි. චක්ඛූ (ඇස්) රෝග, සෝත (කන්) රෝග, ඝාණ (නාසයෙහි) රෝග, ජිව්හා, (දිවෙහි) රෝග සීස (හිසෙහි) රෝග, කණ්ණ (පිට කණෙහි) රෝග, මුඛ රෝග , දන්ත රෝග, කාස රෝග, ස්වාස රෝග, පීනස් රෝග, කෘෂ්ඨ රෝග, පිළිකා රෝග, පිත් රෝග, සෙම රෝග ක්‍ෂය රෝග, වාත රෝග, ඍතු විපර්යාස රෝග හා විෂම හැදීම රෝග ඒ අතර වේ.ශරීර දාහය ජරාපත් වීම වධ බන්ධන පරෝක්‍රම හා කර්ම විපාක ආබාධ ඊට ඇතුළත්ය. මේවාට ‘ආදීනව සංඥා’ යැයි කියනු ලැබේ.

5. උපන් ව්‍යාපාද විතර්ක නොඉවසයි දුරලයි, අනභාවයට යවයි. උපනුපන් ලමු අකුසල් දහම් නො ඉවසයි. මේ ‘ප්‍රහාණ සංඥා’ යි

6. සියලු සංස්කාරයන්ගේ යම්බඳුශමථයෙක් ස්වෝපධීන්ගේ දුරලීමක් තෘෂ්ණා ක්ෂයයෙක්, විරාගයෙක් හා නිර්වාණයෙක් වේ නම් හෙතෙම ශාන්තය, ප්‍රණීතය, මේ ‘විරාග සංඥා’ නම්වේ.

7. එසේම, සියලු සංස්කාරයන්ගේ යම්බඳු ශමථයෙක් (සමර්ථයෙක්) සවෝපධීන්ගේ දුරලීමෙක්, තෘෂ්ණා ක්‍ෂයයෙක්, විරාගයෙක්, නිරෝධයෙක්, නිර්වාණයෙක් වේ නම් ශාන්තය. ප්‍රණීතය, එය ‘ නිරෝධ සංඥා’යි

8. තවද තෘෂ්ණා – මාන දෘෂ්ටීහු වෙත් ද, කාමුපදානාදී උපාදානයෝ වෙත්ද, චිත්තාධිටඨාන සංඛ්‍යාත ශාශ්වත උච්ඡේද කෙනෙක් වෙත්ද අභිනිවෙස සංඛ්‍යාන අත්තානුදිට්ඨයෙක් වේද අනුසය සංඛ්‍යාත ථාමගත ක්ලේශයෝ වෙත්ද ඔවුන් දුරලීමෙන් දැඩිව නොගනිමින් නොඇලෙයි. මේ සර්ව ලෝකයෙහි ‘අනභිරත සංඥා”යි

9. මේ සස්නෙහි මහණ හැම ප්‍රත්‍යුත්පන්න ධර්මයන්ගෙන් පෙළෙයි. හිරිකෙරෙයි, පිළිකුල් කෙරෙයි.මේ සර්ව සංසාරයන්හි ‘අනිත්‍ය සංඥා’ වෙයි.

10. සිහියෙන් ආශ්වාස ප්‍රශ්වාස කිරීමෙන් ආනාපාන සතියට මඟ පෑදෙයි.

එමෙන්ම අනිත්‍යානුදර්ශී වූයෙම් ආශ්වාස ප්‍රශ්වාස කිරීමෙන් හික්මෙයි. විරාගානු දර්ශී වූයෙම් එසේ (ආශ්වාස ප්‍රශ්වාස, කිරීමෙන් හික්මෙයි. නිරෝධානු දර්ශි වූයෙම් එසේ කිරීමෙන් හික්මෙයි. ප්‍රතිනඞ සර්ගානුදර්ශී වූයෙම් එසේ (ආශ්වාස , ප්‍රශ්වාස) කිරීමෙන් නික්මෙයි. මේ ‘ආනාපානසති’ යැයි කියනු ලැබේ.

මෙලෙස ඉහත ‘දස සංඥා’ කියනු නම් යම් හෙයකින් මේවා අසා අවබෝධ වී ගිරිමානන්ද තෙරුන්ගේ ආබාධයන් හේතූ®න් විසින් සංසිදෙයි යනුවෙන් බුදුරදුන් විසින් ආනන්ද හිමියන් වෙත දේශනා කොට වදාරනු ලැබුවා. එමගින් ගිරිමානන්ද තෙරුන්ගේ එම රෝගාබාධ සමනය වී සිතට සහනය ළඟා කෙරුණා.


සක්වල සක්මන 25 - සිත නිවන ලෝකය