Print this Article


ලස්සන අවලස්සන ඇයි මේ වෙනසක්

ලස්සන අවලස්සන ඇයි මේ වෙනසක්

කර්මය පිළිබඳව බුදුරජාණන් වහන්සේට තිබුණේ විස්මිත වූ අවබෝධයක්. ඒ අවබෝධය මේ ලෝකයේ වෙන කාටවත් තිබුණේ නැහැ. කර්මය යනු චේතනාත්මකව කයින්, වචනයෙන්, මනසින් කරන ක්‍රියාවන්. ඒ කර්මයන්ගේ විපාක දෙන ස්වභාවය සාමාන්‍ය මනසට අචින්ත්‍ය වූ, සිතන්නට අසීරු වූ විෂයක් හැටියටයි බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ.

කරත්ත රෝදය කරත්තයට සිරකොට ගසා තිබෙන කඩ ඇණය සේ අපේ ජීවිතවලට බද්ධ වෙලා තිබෙන මේ කර්මය විසින්් අපට දුක, සැප ලබාදෙන අයුරු චූල්ලකම්ම විභංග සූත්‍රය, මල්ලිකා සූත්‍රය ආදී දේශනාවලින් මනාකොට පැහැදිලි වෙනවා.

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් වෙහෙරේ වැඩ සිටිද්දී දිනක් උන්වහන්සේ බැහැ දකින්න මල්ලිකා දේවිය පැමිණියා. ඇවිත් වන්දනා කොට පැත්තකින් වාඩිවුණා. මල්ලිකා දේවිය කියන්නේ කොසොල් රජ්ජුරුවන්ගේ අග බිසව. හැබැයි ඇය එතරම් ලස්සන කෙනෙක් නොවේ.

ඉතින් මල්ලිකා දේවිය බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ‘ස්වාමිනි, මම ආවේ ඔබ වහන්සේගෙන් කාරණාවක් දැන ගන්නයි. මේ ලෝකයේ සමහර ස්ත්‍රීන් ඉන්නවා ලස්සන නැහැ. විරූපියි. ඒ වගේම දුප්පත්. අමාරුවෙන් ජීවත් වෙන්නේ. කිසිම පිළි ගැනීමක් නැහැ. ස්වාමිනි එයට හේතුව මොකක් ද?

ස්වාමිනි, සමහර ස්ත්‍රීන් ඉන්නවා හරිම අවලස්සන යි. විරූපියි. බලන්න කැතයි. හැබැයි ධනවත්. ගොඩාක් සැප සම්පත් තියෙනවා. පිළිගැනීමක් තිබෙනවා. එහෙම වෙන්න හේතුව මොකක් ද?

ස්වාමිනි, මේ ලෝකයේ සමහර ස්ත්‍රීන් ඉන්නවා හරිම ලස්සනයි. දර්ශණීය යි. දකිනකොට සිත පහදිනවා. හැබැයි හරිම දුප්පත්. කිසිම පිළිගැනීමක් නැහැ. භාග්‍යවතුන් වහන්ස, එහෙම වෙන්නේ මොක ද?

ඒ වගේම අහනවා ස්වාමිනි, මේ ලෝකයේ තවත් ස්ත්‍රීන් ඉන්නවා හරිම ලස්සනයි. උතුම් වර්ණ සෞන්දර්යයෙන් යුක්තයි. අලංකාර රූ සපුවෙන් යුක්තයි. ඒ වගේම ඔවුන් ධනවත්. විශාල පිළිගැනීමකුත් තිබෙනවා. එහෙම වෙන්නේ් ඇයි?

මල්ලිකා දේවිය දැකපු ඒ ස්ත්‍රීන් හතර වර්ගයම වර්තමානයේත් දකින්න ලැබෙනවා. මල්ලිකා බිසව බුදුරජාණන් වහන්සේගෙන් අහපු මේ ප්‍රශ්නය බමුණන්ගෙන් ඇසුවා නම් ඒක කියන්න කේන්දරය අවශ්‍ය බව හෝ ග්‍රහයෝ පිහිටලා තිබෙන ආකාරයට එය වෙන බව කියයි ඒ වගේම ලෝකයේ තවත් පිරිසක් සිටියා ඊශ්වර නිර්මාණවාදීන් කියලා. ඒ කෙනෙකුගෙන් ඇසුවා නම් කියයි මේක තමයි දෙවියන්ගේ කැමැත්ත. ඒ කැමැත්ත අප භාර ගන්න ඕන කියලා.

නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ‘මල්ලිකා ඇතැම් ස්ත්‍රීන් ඉන්නවා ඒ අය ක්‍රෝධ කරනවා. නිතරම කිපෙනවා. පොඩි වැරැද්දක් වුණොත්, වචනයක් වැරදුණොත් බොහෝ සෙයින් කිපෙනවා. ඒ වගේම ඇය දන් දෙන්නේ නැහැ. මසුරුයි. ලෝභයි. අනුන්ට සත්කාර සම්මාන ලැබෙන කොට, ගෞරවය සමාජ පිළිගැනීම ලැබෙන කොට එයට ඊර්ෂ්‍යයා කරනවා. එබඳු කෙනෙක් මරණින් මතු නැවත මිනිස් ලෝකයට ආවොත් එයාගේ රූපය කිසිම ලස්සනක් නැහැ. දුර්වර්ණ යි. ඒ වගේම දිළිඳුයි. භෝග සම්පත් අඩුයි. සමාජයේ පිළි ගැනීමට ලක් වන්නේත් නැහැ.

ඊළඟට උන්වහන්සේ වදාළා ‘මල්ලිකා තවත් ස්ත්‍රීන් ඉන්නවා. ක්‍රෝධ කරනවා. ක්‍රෝධය වැඩුුණු සිතින් වාසය කරනවා. නමුත් දන් දෙනවා. ශ්‍රමණ බ්‍රාහ්මණයින්ට ආහාරපාන, වස්ත්‍ර යාන වාහන, මල් සුවඳ විළවුන්, නිවාස, ආලෝකය ලබාගන්න අවශ්‍ය උපකරණ ආදිය දන් දෙනවා. අනුන්ට ඊර්ෂ්‍යා කරන්නේ්ත් නැහැ. ඇය මරණින් මතු මනුෂ්‍ය ලෝකයට ආවොත් විරූපියි. හැබැයි ධනවත්. ගොඩාක් භෝග සම්පත් ලැබෙනවා. ඒ වගේම පිළිගැනීමක් තිබෙනවා.

ඊළඟට වදාළා තවත් ස්ත්‍රියක් ඉන්නවා. ඇය ක්‍රෝධ කරන්නේ නැහැ. නිතරම ගැටෙන ස්වභාවයෙන් යුක්ත නැහැ. අනෙක් අය බැන්නත් කිපෙන්නේ නැහැ. නින්දා කළත් නිහඬව ඉන්නවා. නමුත් එයා දන් දෙන්නේ් නැහැ. මසුරු සහිතයි. එයා මරණින් මතු මනුෂ්‍ය ලෝකයේ ඉපදුණොත් හරිම ලස්සනයි. අලංකාර රූ සපුවකින් යුක්තයි. හැබැයි ගොඩාක් දුප්පත්. පිළිගැනීමක් නැහැ.

ඊට පස්සේ වදාළා ‘මල්ලිකා සමහර ස්ත්‍රීන් ඉන්නවා ක්‍රෝධ කරන්නේත් නැහැ. තවත් කෙනෙකුගේ ක්‍රියාවක් නිසා හෝ වචනයක් නිසා හෝ තමන්ගේ සිතේ තරහ ඇතිකර ගන්නේ්ත් නැහැ. ඒ වගේම එයා දන් දෙනවා. ලෝභ නැහැ. මසුරු නැහැ. අනුන්ගේ සැපය, දියුණුව දැකල ඊර්ෂ්‍යා කරන්නේත් නැහැ. ඒ අය මරණින් මතු නැවත මිනිස් ලෝකයට ආවොත් හරිම ලස්සනයි. දුටු දුටුවන් පහදිනවා. උතුම් වර්ණ සෞන්දර්යකුත් යුක්තයි. ඒ වගේම ගොඩාක් ධනවත් සැප සම්පත් ලැබෙනවා. ඒ වගේම ප්‍රසන්නයි. විශාල පිළිගැනීමක් තිබෙනවා.

එතකොට මල්ලිකා දේවිය කියනවා ‘අනේ් ස්වාමිනි මම එහෙමනම් පෙර ස්ත්‍රියක මෙන් ක්‍රෝධ කරපු, නිතරම තරහෙන් පොඩි දේටත් ගොඩාක් තරහ ඇතිකරගත් කෙනෙක්. ඒ නිසා වෙන්න ඕන මට මේ ජීවිතයේදී කැත රූපයක් ලැබුණේ. නමුත් ස්වාමිනි, මම හොඳට දන් දීපු කෙනෙක්. මම ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට හොඳට දානමාන වස්ත්‍ර, ආහාර පාන, කුටි සේනාසන හදලා දීලා බොහෝ පින්කරපු කෙනෙක්. ඒ නිසා මට දැන් හරියට ධනය සත්කාර කීර්ති ප්‍රශංසා වන්දනා මාන ලැබෙනවා.

ස්වාමිනි, මේ රාජ කුලයේ ක්ෂත්‍රීය කන්‍යාවන් ඉන්නවා, බ්‍රහ්මණ කන්‍යාවන් ඉන්නවා, ගෘහපති කන්‍යාවන් ඉන්නවා. මේ සියලු කාන්තාවන් අතර අග්‍ර වෙලා අධිපති වෙලා ඉසුරුමත් භාවයෙන් වාසය කරන්නේ් මමයි.

ස්වාමිනි, මම එහෙම නම් අද පටන් ක්‍රෝධ නොකර, අන් අය කියන දේවලට කිපෙන්නේ නැතුව ඉන්නවා. මම මෙත් සිතින් වාසය කරනවා. ස්වාමිනි, මම තවත් හොඳට දන් දෙනවා. මම අනුන්ට ඊර්ෂ්‍යා නො කරන, අන් අයගේ් දියුණුව දැක සතුටු වෙන කෙනෙක් වෙනවා. මම අද ඉඳලා භාග්‍යවතුන් වහන්සේ, ධර්මය, ශ්‍රාවක සංඝයා සරණ යනවා’ යැයි කියා සිටියා.

එනිසා ඔබ තේරුම් ගන්න මනුෂ්‍යයන් සියලු දෙනා සැපයට කැමැතියි. දුකට අකැමැතියි. මනුෂ්‍යයන් පමණක් නොවෙයි අනෙක් සියලු සත්වයනුත් දුකට අකැමැතියි. සැපයට කැමැතියි. සැපය යනු දීර්ඝායුෂ, මිහිරි කටහඬ, අලංකාර රූ සපුව, නිරෝගීකම, ධනවත් බව, ප්‍රසිද්ධිය ආදි දේවල් ය. නමුත් මේවා කිසි දිනක ක්‍රියාවකින් මිස පැතුමකින් ලබාගත නො හැකියි. අවලස්සන වෙන්න කවුරුත් කැමැති නැහැ. හැමෝම කැමැති ලස්සන කෙනෙක් වෙන්නයි. දිළිඳු වෙලා දුකසේ ජීවත් වෙන්න අපි කැමැති නැහැ. හැමෝම කැමැති ධනවත්, සමාජයේ පිළිගත් ප්‍රසිද්ධ අය වෙන්නයි.

යම් කෙනෙකුට මේ දේවල් මේ ජීවිතයේදී ලැබිලා නැත්නම් එයාට ඒවා ලබාගන්න හේතුවන කර්ම පෙර ජීවිතයේදී රැස් කරලා නැහැ. එසේනම් කළයුත්තේ මතු ජීවිතයේදී ඒවා ලැබීම පිණිස හේතුවන කර්ම එම ජීවිතයේදී රැස් කිරීම යි. මේ ජීවිතයේ දී යම් කෙනෙකු ලස්සන රූපයත්, ධනවත් බව, පිළිගැනීම තියෙනවානම් එයා පෙර ජීවිතයේදී ක්‍රෝධ කරලා නැහැ. දන් දීලා තියෙනවා. අනුන්ට ඊර්ෂ්‍යා කරලා නැහැ. එමෙනම් එයා තවදුරටත් ඒ ධර්මයන් පුරුදු කරන්න ඕන.

එනිසා දුක් උපදවන අකුසල කර්ම බැහැර කොට සැප උපදවන කුසල කර්ම දියුණු කරගන්න. ක්‍රෝධ නැති, මසුරු නැති ඊර්ෂ්‍යා නැති සිතක් ඇතිකරගෙන මෙත් වඩන, දන්දෙන, අනුන්ගේ සැපයට කැමැති සුන්දර මිනිසුන් බවට පත්වන්නට ඔබටත් භාග්‍ය උදාවේවා.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.