Print this Article


කරුණා කරනෙමු මුනි සිරිපාදේ

සම්බුදු සිරිපා කරුණා කිරීම මෙම උඳුවප් පොහොය දිනයෙන් ආරම්භ වේ. සමස්ත ලෝකවාසී බෞද්ධ අබෞද්ධ ජනතාව පූජනීයත්වයෙන් සලකන ශ්‍රී පාද පද්මය වැඳ නමස්කාර කර ගැනීමට මෙම උඳුවප් පොහොය දිනයේ සිට එළඹෙන වෙසක් පොහොය දක්වා කාලය සිරිපා කරුණා කරන වාරය ලෙස සැලකේ. මේ වාරයේ සමාරම්භය සනිටුහන් කරමින් සමනළ අඩවියට අධි ගෘහිත ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමා වහන්සේ සහ දේව ආභරණ ශ්‍රී පාදස්ථානයේ තැන්පත් කිරීමේ පෙරහර මේ මස 26 වැනි දින පැවැත්විණි.

වාර්ෂිකව සිදු කෙරෙන දේව ප්‍රතිමා සහ දේව ආභරණ වැඩමවීමේ පෙරහර ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සිදු කෙරිණි.

මේ වාරයේ සිරිපා කරුණා කරන සැදැහවතුන්ට බුදුපියාණන් වහන්සේ දිවා කාලයේ විවේක සුවයෙන් වැඩ සිටි දිවා ගුහාව ද වැඳ පුදා ගැනීමට අවස්ථාව උදාවෙන බව නා හිමියෝ පැවසූහ. සම්බුදු සිරිපා නැමදීමේ ‘වාරය’ සහ ‘අවාරය’ වෙනස හා දිවාගුහාව පිළිබඳවත් ‘බුදුසරණ’ සමඟ පිළිසඳරේ යෙදුණු නාහිමියෝ එහිදී පළ කළ අදහස් මෙසේ ය.

බෞද්ධාගමික සැදැහැවතුන්ගේ නොමඳ ගෞරවාදර පුද පූජාවට පාත්‍රවෙන සොළොස්මස්ථාන වලින් එකක් වන දිවා ගුහාව සිරිපාදස්ථානයට මඳක් නුදුරින් පිහිටා තිබෙන බව මාධ්‍යයෙහි වාර්තා වුණා. මේ පිළිබඳව ශ්‍රී පාදස්ථානාධිපති නා හිමියන් ලෙස ඔබ වහන්සේගේ අදහස.

ශ්‍රී ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ මේ පින්බිමට තෙවරක් වැඩම කළා. සමනළ කඳු මුදුනේ ශ්‍රීපාද පද්මය පිහිටුවා අපේ මව්බිම සුපිරිසුද්ධත්වයට පත් කළා. ශ්‍රී පාද පද්මය සලකුණු කිරීමට වැඩම කළ භාග්‍යවතුන් වහන්සේ ඊට මඳක් නුදුරින් පිහිටි ලෙනක සමවත් සුවයෙන් වැඩ සිටි බවට සාධක තිබෙනවා. ඒ ලෙන භගවා ලෙන වශයෙන් සඳහන් වෙනවා.

මෙතෙක් ලංකාවේ සොළොස්මස්ථානයම බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍ර වුණා. සොළොස්මස්ථාන වන්දනා ගාථා ද, එළු සොලෝකද මීට වසර 260 කට පෙර නිර්මාණය වූ ඒවා වේ. ශ්‍රී පාද ලාංඡනයත්, දිවා ගුහාව පිළිබඳවත් එළු සොලෝක දෙකක් තිබෙනවා.

සමන්තකූඨ පර්වතයේ ශ්‍රී පාදයත්, සමන්ත කූට පර්වතයේ දිවා ගුහාවත් පිහිටා තිබීම කදිම සාක්‍ෂියකි. අතීතයේ වන්දනා නොකළේ නම් මෙසේ සඳහන් කෙරෙයි ද? ස්ථානය මෙය නොවේ නම් භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි වෙනත් ලෙනක් සමනළ කඳු මුදුනේ තිබේ ද? ස්ථිර වශයෙන්ම දිවා ගුහාව භගවා ලෙනයි.

ගුවනින්, කැළණින් ගොස් ඒ සමන් දෙවි රදුන්ගේ
අයදිමෙණි මුනින්දා සක් ලකුණ් යුත් නිමන් වූ
ලකඟන කිරුළක් වන් වූ සමන් පව් මුදුන් හී
නමදිම් පදලස් දැක් වූ නොසිත් අත් මුදුන් දී

මෙසසර අවුලෙන් මුත් වූ රහත් පන්සියක් තැන්
සමග මුනි වැඩීමෙන් යම් කෙනෙක් හි දිවා වස්
කෙලෙද සුපිපි සල් රුක් යුත් සමන් පව් පෙදෙස් වූ
වඳිම් මම් දිවා වස් ලෙන සිහිල් වූ තොසින් ඒ

මේ ඒ සොලෝක දෙකයි. දිවා ගුහාව සමනල පව්වේ පිහිටා තිබෙන බව මෙයින් කියැවෙනවා නොවේද?

සිරිපා වාරේ, අවාරේ වෙනස නාහිමියන් වහන්සේ දකින්නේ කෙසේද?

අවාරය කියන්නේ දෙවියන්ගේ කාලයයි. සිරිපා වන්දනා කිරීමට වාරේ තිබෙන පරිසර සාධක බොහොමයක් අවාරේ බාධාවන් සේ පවතිනවා.

වාරේ ශ්‍රී පාද පද්මය නැමදීමට පැමිණෙන සැදැහැවතුන්ට ස්වභාව ධර්මයත්, ගහ කොළත්, සතා සිව්පාවුන් පවා මනා සේ ඉඩ කඩ සලසා දෙනවා. අවාරේ ඒ සියල්ල ඇහිරෙනවා. වනසතුන් පවා එළි පහලියට බහිනවා. අවාරේ උණු ජලයේ පවා යම් උණුසුම් මට්ටම ලිපෙන් එළියට ගත් සැණින් වෙනස් වෙනවා. ආහාරත් එසේමැයි.

කොපමණ අවහිරතා ඇතිවුවත් අවාරේ සිරිපා කරුණා කරන සැදැහැවතුන් හා දෙස් විදෙස් සංචාරකයන් සිටිනවා. මේ සැරේත් අවාරේ පැමිණි අයට ජල පහසුකම් හා විදුලිය පහසුකම් සැලසීමට අපට හැකිවුණා. ඒ ජනාධිපතිතුමාගේ කාරුණික අනුග්‍රහය ලැබුණු නිසා ය. අවාරේ තමයි, මේ සිද්ධස්ථානය හා අවට පරිසරය ගැන පරීක්‍ෂණ පවත්වන විද්වතුන් විදෙස් සංචාරකයන්, පරිසරවේදීන් පරීක්‍ෂණ ආදී කටයුතුවල නිරතවෙන්නේ.

එකක් විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනෑ. කවදාවත්ම අහලා නොතිබූ ලෙස මා මේ තනතුරට පත්වුණාට පසුව ගතවූ සෑම පුරපසළොස්වක පොහොයකටම බුද්ධ පූජාවන්, දේව පූජාවන් අඛන්ඩව පැවත් වුවා.

සිද්ධස්ථානයේ පවිත්‍රතාවය සුරැකීමට පියවර ගත්තා.

සුමන සමන් දේව ප්‍රතිමා සහ දේව ආභරණ මහත් හරසරින්, පෙරහරින් වැඩමවීමේ වැඩපිළිවෙළ පිළිබඳව පැහැදිලි කරනවා නම්, අමා මෑණි බුදුපියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අසා ‘සුමන’ නම් ප්‍රාදේශීය පාලකයාණන් සෝවාන් ඵලයට පත්වුණා. එතුමන්ගේ ඇරැයුමෙන් බුදුපියාණන් වහන්සේ සමනළ පර්වතයේ ශ්‍රී පාද පද්මය පිහිටු වූහ. පසුව එතුමා සුමන සමන් දෙවිඳුන් ලෙස ශ්‍රී පාදස්ථානයේත්, මුළු රටේත් භාරකාරයා බවට මේ දෙවියන් පත්වෙනවා.

අනතුරුව එතුමා වෙනුවෙන් සබරගමුවේ දේවාලයක් ද ඉදි කෙරෙනවා. මේ දිව්‍ය පුත්‍රයාගේ ප්‍රතිමාව සහ දේව ආභරණ උඳුවප් පොහොය දිනයේ ශ්‍රී පාදස්ථානයේ තැන්පත් කිරීමට වැඩම කරනවා. මෙය අතීතයේ සිටම සිදු වූ කාර්යයක්.

සුමන සමන් දෙවිඳුන් කාලයක් ප්‍රාදේශීය පාලකයෙකු ලෙස සිටි බව හැඟවීමට ආවුද සහිතව ප්‍රතිමාවක් ද, සෝවාන් ඵලයට පත්වුණාට පසුව දේව ආභරණ හා ආවුද වලින් තොරව විසූ බව හැඟවීමට ඒවායෙන් තොර ප්‍රතිමාවකුත් පෙරහරේ වඩම්මනවා. ඉතාමත් පූජනීයත්වයෙන් හා වටිනාකමින් යුතුව කෝටි ගණන් සැදැහැවතුන්ගේ වන්දනා මානයට භාජනය කෙරෙමින් අතීතයේ සිට කද බරින් තමයි දේව ප්‍රතිමා වැඩමවනු ලැබුවේ.

ශ්‍රී පාදස්ථානයේ භාරකාරත්වයට පත්ව සිටි යසස්සී නායක හාමුදුරුවන්ගේ කාලයේ ගෞරවාන්විතව දේව ප්‍රතිමා වැඩමවීමට අවශ්‍ය වූ නිසා දේව භක්තිවාදීන්ට පුද පූජා පැවැත්වීමට අවස්ථාව උදා කර දුන්නා. මේ තත්ත්වය මෙසේ පවතිද්දී සබරගමුවේ ජනතාවටත් දේවාශීර්වාදය ලබාදීම සඳහා පෙරහර පැවැත්වීම ආරම්භ වුණා. මේ පෙරහරෙන් සිදු කෙරෙන්නේ සිරිපා මළුවට දෙවියන් හා කරඬුව වැඩමවීමයි.

උඳුවප් පොහොය දිනයේ සිට වෙසක් පොහොය දක්වා ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් සිරිපා නැමදීමට පටන් ගන්නේ මේ පෙරහර උත්සවයෙන් අනතුරුවයි.

අපේ රට කෘෂිකර්මයෙන් පෝෂණය කෙරෙන ජල උල්පත් සියල්ල ආරම්භ වන්නේ සමනළ කඳු මුදුනෙන්. ජනතාවට බත සැපයීමට ජලය ලබාදෙන්නේ සමනළ අඩවියෙන් වූ නිසාත් ආධ්‍යාත්මික සුවය ලබාදෙන බුදු සිරිපා පිහිටීමත් නිසා ලක්‍ෂ ගණන් ජනී ජනයා සිරිපා කරුණා කරනවා.

ආදි කාලයේ සිටම ඉරසේවය නැරඹීමට හා සූරිය වන්දනාවට ජනතාව සමනළ කඳු මුදුනට ගමන් කරන බව දැන සිටි සුමන සමන් දෙවියන් විසින් ඒ ජනතාවට බුදු දහමේ ආශීර්වාදය හා මඟ පෙන්වීම ලබාදීමේ අරමුණින් සම්බුදු සිරිපා එහි තැන්පත් කිරීමට ආරාධනා කර ඇත.

සිරිපාද පද්මය පිහිටුවීමෙන් පසුව සූරිය වන්දනාවට ගිය ජනතාව බුද්ධ වන්දනාවට හුරු වූහ. ශ්‍රී පතුල රැදෙව්වාට පසුව දිවා රාත්‍රී දෙක්හි බැබලෙන සූර්යයා බුදුන්වහන්සේ යි. එදා සිට මිනිසුන් සුරියවන්දනාව වෙනුවට බුද්ධ වන්දනාව සිදු කරනවා.

ශ්‍රී පාදස්ථානය වැඳ පුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සලසා දීමේ දී ජනාධිපතිතුමාගෙන් ලැබෙන කාරුණික අනුග්‍රහය පින් පෙරටු කොට සිහිපත් කරනවා.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.