UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෙර භවයේ ගති සිරිත්

පෙර භවයේ ගති සිරිත්

පෙර භවයන්හි ගති සිරිත් හා අත්දැකීම් පිළිබඳව විස්තර වන බොහෝ චරිත කතාවන් බෞද්ධ සාහිත්‍යයෙන් අපට සොයා ගත හැකිය. එම කතාවන් අතර පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේගේ කතාව මෙහිලා වැදගත් වේ. භාරද්වාජ තෙරුන් බ්‍රාහ්මණ කුලයෙන් සසුන්ගත වූ අයෙකි. සසුන් ගත නොබෝ දිනකින් රහත් වීමේ භාග්‍ය උන්වහන්සේට උදාවිය. එහෙත් උන්වහන්සේ පිරිස අතර අප්‍රසාදයට පත්විය. ඊට හේතුව වූයේ උන්වහන්සේ කාට වුවද ‘වසලය’ යනුවෙන් ඇමතීමය

පෙර භවයන්හි ලත් අත්දැකීම් හා චර්යාවන් පිළිබඳව කරුණු ඇතුළත් කතා කීපයක් පෙර ලිපියෙහි දී සාකච්ඡා කෙළෙමු. මෙවර ඔබගේ අවධානය යොමු කර වන්නේ පෙර භවයන්හි ගති සිරිත් පිළිබඳව බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙන කරුණු දෙසය.

පෙර භවයන්හි ගති සිරිත් නැවත ඉපදීමේ දී බලපාන අයුරු බෞද්ධ මූලාශ්‍රයන්හි සඳහන් වන්නේ කෙසේද?

බෞද්ධ ජාතක කතාවන්හි විස්තර වන්නේ බුදුරජාණන් වහන්සේ බෝධි සත්ව අවදියේ පිරූ පාරමිතා ධර්මයන් බව අපි කවුරුත් දනිමු. ඒ සෑම ජාතක කතාවකින්ම කියවෙන්නේ බෝධි සත්වයන් වහන්සේගේ චරිතයේ යහපත් පැතිකඩය.

එතුමන් කුමන ආත්මයක ඉපැදුනද එම චරිතෙහි නායකත්වය, සත් චරිත වත් බව, බුද්ධිමත් බව ආදී විශේෂ ලක්‍ෂණයන්ගෙන් සමන්විත විය. ඊට හේතුව උන්වහන්සේ දීපංකර සම්බුදු පාද මූලයේ දී මතු බුදු වන බවට විවරණ ලැබ රහත්වීමේ වාසනා ගුණය තිබිය දී සම්බුදු පදවියම ප්‍රාර්ථනා කැරමින් සම තිංසත් පාරමී ධර්මයන් සම්පූර්ණ කළ බැවිනි.

එනිසා බෝධි සත්ව චරිතෙහි උපන් සෑම භවයකදීම යහපත්, සිල්වත්බවින්, ගුණවත් බවින් මෙන් ම ප්‍රඥාවෙන් ද අග තැන්පත් විය.

පාරමී ධර්ම සම්පූර්ණ කරන අවදියේ සැරියුත් මුගලන් ආනන්ද ආදී මහරහතන් වහන්සේලා ද බෝධි සත්වයන් වහන්සේ සමීපයේ සිට උදව් උපකාර කළ අවස්ථාවන් බොහෝ ජාතක කතා තුළින් පැහැදිලි වෙයි.

එපමණක් නොව බෝධිසත්වයන් වහන්සේගේ දෙමාපියන් වශයෙන්ද බොහෝ භවයන්හි උත්පත්තිය ලබා ඇත්තේ සුද්ධෝදන මහරජතුමන් හා මහාමායා දේවියයි. එමෙන්ම බොහෝ භවයන්හි එතුමන්ගේ භාර්යාව බවට පත්ව ඇත්තේ යශෝධරා දේවියයි. මෙයින් පැහැදිලි වන්නේ නැවත ඉපදීමකදී තම මවුපියන් සහෝදර සහෝදරියන් හා ඥාතීන් නැවත භවයන්හිදි බොහෝ සෙයින් හමුවන බවයි.

මෙ ලොව උපදින අප බොහෝ ලෙස රැගෙන එන්නේ පෙර භවයන්හි අප ලත් අත්දැකීම් හා ගති සිරිත් ය. මේ පිළිබඳව ආචාර්ය ස්ටීවන්සන් නමැති පරීක්‍ෂකයා වැදගත් පණිවිඩයක් අපට ලබාදෙයි. එනම් දරුවන්ගේ අසාමාන්‍ය චරියාවන්ට ඔවුන්ට බැණ වැදීම නොකළ යුතු ය. මන්ද යත් බොහෝ අසාමාන්‍ය චරියාවන් පුනරුප්පත්ති සාධක වල බලපෑමෙන් සිදුවන බවයි.”

ධර්මයේ මෙය සඳහන් වන්නේ කර්ම හා කර්ම විපාක වශයෙනි.

“පටි සන්ධි විඤ්ඤාණෙ පන නිරුද්ධි තං කං පටි සන්ධි විඤ්ඤාණං අනුබද්ධ මානං තස්ස තස්සේව කම්මස්ස විපාක භූතං”

මියයන මොහොතේ ඇතිවන සිතිවිලි වල ප්‍රත්‍යයම වන අතර කුසලා කුසලතාව අනුව එම ක්‍රියාවන්ගේම ප්‍රතිඵලය ද වේ.

පෙර භවයන්හි ගති සිරිත් හා අත්දැකීම් පිළිබඳව විස්තර වන බොහෝ චරිත කතාවන් බෞද්ධ සාහිත්‍යයෙන් අපට සොයා ගත හැකිය. එම කතාවන් අතර පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේගේ කතාව මෙහිලා වැදගත් වේ.

භාරද්වාජ තෙරුන් බ්‍රාහ්මණ කුලයෙන් සසුන්ගත වූ අයෙකි. සසුන් ගත නොබෝ දිනකින් රහත් වීමේ භාග්‍ය උන්වහන්සේට උදාවිය. එහෙත් උන්වහන්සේ පිරිස අතර අප්‍රසාදයට පත්විය. ඊට හේතුව වූයේ උන්වහන්සේ කාට වුවද ‘වසලය’ යනුවෙන් ඇමතීමය.

මෙය උන්වහන්සේ ප්‍රකාශ කෙළේ හිතාමතා නොව පුරුද්දක් වශයෙනි. මෙම පහත් ආමන්ත්‍රණය උන්වහන්සේ සිදු කිරීම පිළිබඳව බොහෝ දෙනෙක් කලකිරුණු අතර ඒ බව බුදුරජාණන් වහන්සේට ද දැනුම් දුන්හ.

ඒ පිළිබඳ කරුණු විමසා බැලූ බුදුරජාණන් වහන්සේ මෙසේ ප්‍රකාශ කළහ.

මෙම වසලය යන ආමන්ත්‍රණය උන්වහන්සේ සිදු කරන්නේ හිතා මතා නොව පෙර ආත්ම ගණනාවක බ්‍රාහ්මණ කුලයේ ඉපිද බොහෝ දෙනාට වසලය යනුවෙන් ඇමතීමේ පුරුද්දක් වශයෙන් බවයි.

රහත් වුවද පූර්ව ජන්මයෙන් ගෙනා ඇතැම් පුරුදු එලෙසින්ම පවත්වාගෙන යෑම සඳහා මෙය හොඳම උදාහරණයකි.

අන් අයට පහත් ලෙස ඇමතීම අකුසල කර්මයකි. එහි විපාක වශයෙන් භාරද්වාජ මහරහතන් වහන්සේ රහත් වුවද පිරිස අතර දෝෂ දර්ශනයට ලක් විය.

සමහර අය කුඩා කල සිටම කුසල කර්මයන්ට නැඹුරුව කටයුතු කරති. මේ සඳහා බලපාන්නේ ද ඔවුන් පෙර ආත්මයන්හි එවැනි කටයුතුවල නිරතව අත්දැකීම් ලත් අය වීම නිසාය.

“පුබ්බේච කත පුඤ්ඤාතා”

එමෙන්ම සමහර අය කුඩා කාලයේ සිටම සැඩ පරුෂ චර්යාවන්ගෙන් යුක්තවන අවස්ථාද අපට දක්නට ලැබේ. ඒ සඳහා බලපාන්නේ ද ඔවුන්ගේ පෙර ආත්මයන්හි චරියාවන් ය.

මේ අනුව බලන විට අපගේ සමහර හොඳ පුරුදු මෙන්ම නරක පුරුදු ද මේ ආත්මයේ ඒවා පමණක් නොව පෙර ආත්මයන්හි ලත් අත්දැකීම් සමුදායක එකතුවේ ප්‍රතිඵලයක් ලෙස පෙන්වාදීමට හැකි ය.

සමහර කුඩා දරුවන්ගේ චරියාවන් හා හැසිරීම් බොහෝ විට දෙමාපියන් පවා පුදුමයට පත්කරවන සුළුය. ඔවුන්ගේ කතා බහ හැසිරීම් පුද්ගලයන් හඳුනා ගන්නා ආකාරය ස්ථාන හඳුනා ගන්නා අයුරු සිදු කරන්නේ තමා හොඳාකාරව දන්නා අයුරිනි.

තමා පෙර දැක නැති මෙවැනි හඳුනා ගැනීම් සඳහා ප්‍රධාන වශයෙන් බලපාන්නේ ඔවුන් පෙර භවයන්හි ලත් අත්දැකීම් බව බොහෝ පරීක්‍ෂණ වලින් තහවුරු වී ඇත.

 

උඳුවප් පුර අටවක පෝය

උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් මස 19 වැනි දා බදාදා අපරභාග 10.40 ට ලබයි.
20 වැනිදා බ්‍රහස්පතින්දා අපර භාග 11.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් මස 20 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
දෙසැම්බර් මස 27 වැනිදා බ්‍රහස්පතින්දා ය
.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 20

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 27

Second Quarterඅව අටවක

ජනවාරි 05

New Moonඅමාවක

ජනවාරි 11


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]