UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අම්බස්ඛර පේ‍්‍රත වස්තුව

දුකසේ විඳින කර්ම විපාක - 25

අම්බස්ඛර පේ‍්‍රත වස්තුව

2012 . 12. 12 පත්‍රය හා සම්බන්ධයි

යම් කෙනෙක් සෙල්ලමට හරි යම් පවක් කළොත් එයාට මේ විදිහේ කර්ම විපාකයකට මුහුණ දෙන්න සිදුවෙන බව සත්පුරුෂයන් කියල තියෙන්නේ. එනිසා සෙල්ලමකට හෝ නපුරු සිතින් හෝ යම් කෙනෙක් පවක් කරනවානම් එහි විපාකය මොන තරම් දරුණු වේවිද කියලත් අප දැනගන්න ඕන.

යම්කිසි මිනිසෙක් දූෂිත වූ අදහසින් යුක්තව කයින් වචනයෙන් අපිරිසුදු දේ කරනවානම් එයාට මරණින් මත්තේ නිරයේ උපදින්න වෙන්නේ. සුගතියේ උපත පතන අයත් ඉන්නවා. ඒ අය දන් දීමට ඇලෙනවා. අනිත් අයට උදව් උපකාර කරමින් ජීවිතය ගත කරනවා. එයාල කය බිඳී මැරුණට පස්සේ නිසැකවම උපදින්නේ් සුගතියේ.

යම් හෙයකින් මේ මිනිස් ලෝකයේ සත්ත්වයන් පින් කියන දෙයක් පව් කියන දෙයක් කරනවාද ඒ හේතුන් නිසාමයි සුගතියට ගිය සත්වයොත් දුගතියට ගිය සත්වයොත් ඉන්නේ. ඒ නිසාමයි මේ මනුස්ස ලෝකයේ උසස් පහත් අය ඉන්නෙත්. සැප විඳීමටත් දුක් විඳීමටත් හේතුවන කර්මවිපාක ගැන මම අද කිව්වා. පින් කරපු උදවිය දෙවියන් වෙලා ඉපදිලා සැප සම්පත්වලින් සතුටු වෙනවා. මේ පින්පව් වල වෙනස් දකින්නේ නැති අඥානයන් නිරයේ ගිහින් දුක් විඳිනවා.

තමන් විසින් කරගත්තු පින් කියලා දෙයක් මට නැහැ. ඒ වගේම රෙදිපිළි සේනාසන ආහාරපාන ආදිය දන් දීල මට පින් දෙනවානම් එවැනි කෙනෙක්වත් නැහැ. ඒ නිසා මම නූල් පොටක්වත් ඇඟේ නැතිව දුක්ඛිත ජීවිතයක් ගෙවනවා.

එම්බා පේ‍්‍රතය ඔබට යම්කිසි පිළිවෙලකින් අඳින්නට යමක් ලැබෙනවා නම් එබඳු දෙයක් තියෙනවානම් මට කියන්න. මම එය ඉටු කරනවා.

මේ ළඟ කප්පනක කියලා භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේ ධ්‍යාන වඩනවා. ඉතාමත් සිල්වත් . කෙළෙස් දුකෙන් නිදහස් වුන රහතන් වහන්සේ නමක්. ඉදුරන් සංවරයි. උතුම් ශික්ෂා පදවලට හොඳට හික්මිලා තියෙනවා. සිහිල් වෙලා ඉන්නවා. උතුම් අවබෝධයට පත්වෙලා ඉන්නවා.

මොලොක් ගුණ තියෙනවා. යහපත දන් දෙනවා. සොඳුරු වචන තියෙනවා. සියුමැලියි. හොඳට බණ දහම් දකිනවා. අවබෝධයෙන්මයි කථාබහ කරන්නේ. පින් කෙතක්. නිකලෙස් විවරණයෙන් යුක්තයි. ත්‍රිවිද්‍යාවම ලබලයි ඉන්නේ. වජ්ජි දේශයේ උන්වහන්සේ ගැන කථා කරන්නේ මුනිවරයෙක් කියලයි.

ඔබ ඒ කප්පින්නක තෙරුන් වහන්සේට එක වස්ත්‍රයක් හරි වස්ත්‍ර දෙකක් හරි මා වෙනුවෙන් පූජා කරන්න. උන්වහන්සේ ඒ වස්ත්‍ර පිළිගන්නවා නම් ඔබටම දකින්නට ලැබේවි මම හොඳ ලස්සනට රෙදිපිළි ඇඳල ඉන්නවා.

’ඒ ශ්‍රමණයන් වහන්සේ වැඩ වාසය කරන්නේ කොයි පළාතේද

කපිනච්චනා කියන ප්‍රදේශයේ තමයි උන්වහන්සේ වැඩ ඉන්නේ. බොහෝ දෙවිවරුන් පිරිවරාගෙනයි ඉන්නේ. සත්‍යය යන නම් ලද උන්වහන්සේ තමන්ගේ ආචාර්ය විනයෙහි අප්‍රමාදීව හික්මීමෙන් ධර්ම කතාව වදාරණවා.

ඉන් පසු සුදුසු වෙලාවක් බලා කටයුතු නිමවා දිය නා රජතුමා අර ප්‍රදේශයට ගියා. ගිහින් ශාන්ත සිත් ඇති ශ්‍රමණයන් වහන්සේ දැක ගත්තා. පිණ්ඩපාතයට පසු රුක් සෙවණක නිවී සැනසී වැඩ ඉන්නා උන්වහන්සේ දැක්කා.

රජතුමා උන්වහන්සේ වෙත ගියා. ‘ස්වාමිනි මම විශාලා මහනුවර ලිච්ඡවි රජ කෙනෙක්. මට කවුරුත් අම්බස්කාඛර ලිච්ඡවි රජ කියලයි කියන්නේ. ස්වාමිනි මේ පිළිසඟල පිළිගන්නා සේක්වා. මම ඔබවහන්සේට මේවා පූජා කරනවා.

එවිට රහතන්වහන්සේ අසනවා, පින්වත් රජතුමනි ඔබ ශ්‍රමණයන් වහන්සේට ඇසුර දුරින්ම දුරු කරල නෙව ඉන්නේ. ඔබේ නිවස අසල දී පාත්‍රත් බිඳ දැම්මානේ. සඟල සිවුරු කීති කීතු වලට ඉරු දැමුවා. ඔබ තණ අගින් වැගිරෙන දිය බිඳුවක තරම්වත් දන්දිලා නැහැනේ. ඉතින් ඔබ කුමන ගුණයක් නිසාද අපට මෙසේ දන් දීම කරන්නේ.

ස්වාමිනි, මම ඔබ කියාපු දේවල් පිළිගන්නවා. මම ශ්‍රමණයන් වහන්සේලා බෙහෙවින්ම වෙහෙසට පත්කළා. හැබැයි මම ඒවා කළේ නපුරු සිතිකින් නොවේ. සෙල්ලමටයි.

එක්තරා ප්‍රේතයෙක් සෙල්ලමට පව් රැස් කරලා දැන් දුක් විදිනවා. සැප සම්පත් සම්පූර්ණ නැහැ. හොඳ තරුණයෙක්. ඒ වුණාට විලි වසා ගන්න නූල් පොටක්වත් නැහැ. ස්වාමිනි මම ඒ පේ‍්‍රතයව දුටුවා. මට සංවේගයක් ඇතිවුණා. එනිසයි මේ වස්ත්‍ර ඔබ වහන්සේට පිළිගන්වන්නේ. මෙය පිළිගන්නවා සේක්වා. මෙයින් ලද පින ඒ පේ‍්‍රතයා වෙත පැමිණේවා.

ඒකාන්තයෙන්ම දන් දීම වනාහි බුද්ධා උතුමන් විසින් නොයෙක් විදීමට ප්‍රශංසා කර තිබෙනවා. දන් දෙන්නා වූ ඔබගේ ධනය ක්ෂය නොවන තත්ත්වයට පත්වේවා. ඔබගේ ඔය වස්ත්‍ර යුගල මම පිළිගන්නම් මේ පින පේ‍්‍රතයාට පැමිණේවා.

එවිටම රජු අර පේ‍්‍රතයා දුටුවා. උදාර රූප සම්පත්තියෙන් යුක්තයි. සඳුන් කල්ක තවරාගෙන ඉන්නවා. ලස්සනට වස්ත්‍ර ඇඳිලා අලංකාර වෙලා සිටියා. ඒ වගේම පිරිවර මැද අජානීය අශ්වයකුගේ පිට නැගලා ඉන්නවා. මහ සැප සම්පත් ලබලා.

රජතුමා පේ‍්‍රතයාව දැකලා සතුටට පත්වුනා. සුන්දර වූ ස්වරූප ඇති ඒ කර්මයේ විපාක දැක්කා. මෙලොවදීම තමන්ගේ ඇස්වලින් දැක ගත්තා.

රජු පේ‍්‍රතයා ළඟට ගිහින් කියනවා ‘මම ශ්‍රමණ බ්‍රාහ්මණවරු දැක ගත්තා. දැන් ඉතින් මට දෙන්න බැරි කිසිදෙයක් නැහැ. පේ‍්‍රතය නුඹ මට බොහෝ උපකාර කළා.

ලිච්ඡවි රජතුමනි, ඔබ මට ඔය දුන්නේ සිව්පසයෙන් එක කොටසක් වූ වස්ත්‍ර දානය යි. ඒ දානය හිස් දෙයක් නොවේ.

“පින්වත් පේ‍්‍රතය, ඔබ මම යන ගමන්ද මගේ ඥාතියාද මිත්‍රයාද බවට පත්වෙන්න. ඉටු දෙවියා වන්න. මම නැවතත් ඔබ දැක ගන්නට කැමැතියි” රජු කියා සිටියා.

රජතුමනි ඔබ දැකලා මම කතාබහ කරනවා. ඒ නිසා ඉක්මනට මේ පුද්ගලයාව මේ හුලෙන් නිදහස් කරන්න. යම් කරුණක් නිසා අපි මුණ ගැසුනේ මේ හුල මත සිටින පුද්ගලයා නිසයි. මොහු නිදහස් කළොත් පින්දහම් කරගෙන නිරයෙන් නිදහස් වේවි. ඔහුත් සමග ගිහින් කප්පින්න තෙරුන් වහන්සේ දැක දන්පැන් පූජා කර ගන්න. ඉන්පසු රජතුමා ඒ පුරුෂයා නිදහස් කොට ඔහු වෙද මහත්වරු ළඟට ගෙන ගියා. ඔහු සුව වූ පසු මේ රජු ඔහු සමග කප්පින්න තෙරුන් වහන්සේ වෙත ගියා. දන් පූජා කර ගත්තා.

උන්වන්සේගෙන් විමසනවා මොහු වැරැදි වැඩ කර හුල මත විසි රැයක් ගෙවූ කෙනෙක්. මොහු ජීවත් වුණෙත් නැහැ. මැරුණෙත් නැහැ. අර පේ‍්‍රතයාගේ කීම අසා මම මොහු නිදහස් කළා. ඔහුගේ් තවත් අකුසල ඇද්ද? මෙලොවදී කළ කර්මයන් විපාක නොවිඳ ගෙවිලා යාමක් නැද්ද?

තෙරුන් වහන්සේ වදාළා ඔබ අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්න ඕන. එවිට නිරයෙන් නිදහස් වෙනවා. නමුත් ඒ කර්මය වෙන භවයක ඉපදිලා විඳින්නට සිදුවෙනවා.

ස්වාමිනි, මා කෙරෙහි ද අනුකම්පා කළ මැනවි. ප්‍රඥාවන්ත මුනිදුනි, මටත් අවවාද කරන සේක්වා. මමත් එවිට නිරයෙන් නිදහස් වේවි.

එසේනම් ඔබ අදම පහන් සිතින් බුදුරජාණන් වහන්සේත්, ධර්මයත්, ආර්ය සංඝ රත්නයත් සරණ යන්න. සිදුරු නැති පැල්ලම් නැති පන්සිල් පද පහ සමාදන් වන්න. එයින් සැප විපාක ලබා දෙනවා. සිවුරු පිණ්ඩපාත ගිලන්පස සේනාසන දන්පැන් ඇඳ පුටු ආදි සේනාසන සෘජු සිත් ඇති ආර්ය සංඝයාට පහන් සිතින් යුතුව පූජා කරන්න.

රජතුමා ඉතාමත් ගෞරවයෙන් ඒ කරුණු පිළිගත්තා. අම්සක්ඛාර ලිච්ඡවි රජු විශාලා මහනුවර එක්තරා උපාසකයෙක් වුණා. ශ්‍රද්ධාවන්ත භික්ෂූන් මොලොක් සිතින් උපකාර කරන කෙනෙක් වුණා.

හුලමත හිටි පුද්ගලයා සනීප වුනා. උතුම් කප්පිනක ස්වාමින් වහන්සේ ළඟට ඇවිත් පැවිදි වුණා. ලිච්ඡවි රජුත් මේ පුද්ගලයාත් මාර්ගඵල අවබෝධ කළා.

 

උඳුවප් පුර අටවක පෝය

උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් මස 19 වැනි දා බදාදා අපරභාග 10.40 ට ලබයි.
20 වැනිදා බ්‍රහස්පතින්දා අපර භාග 11.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් මස 20 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
දෙසැම්බර් මස 27 වැනිදා බ්‍රහස්පතින්දා ය
.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 20

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 27

Second Quarterඅව අටවක

ජනවාරි 05

New Moonඅමාවක

ජනවාරි 11


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]