Print this Article


හිත මිතුරු සොබාදම රුදුරු වන කරුණ කිම?

සුනාමි යන වචනය ඇසෙත්ම ඔබේ හදවත කම්පාවට, ත්‍රාසයට, භීතියට, දුකට, වේදනාවට පත්වෙනවා ඇති. කිසිවෙකු බලාපොරොත්තු නොවූ අනපේක්‍ෂිත මොහොතක මහ සයුර රුදුරු වුණා. වටිනා මිනිස් ජීවිත මෙන්ම ගේ දොර, ඉඩකඩම්, යානවාහන, මිල මුදල්, සතා සිව්පාවුන් මහ මුහුදට ඩැහැගෙන ගියා.අප නොසිතන දේවල් නොපතන දේවල් සිදු වෙන්නෙ එහෙමයි.

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස

පුනච පරං බ්‍රාහ්මණ ඒතරාහි මනුස්සා අධම්මරාගරත්තා විසම ලෝභාභිභූ®තා මිච්ඡාධම්මපරේතා, තේසං අධම්මරාගරත්තානං විසමලෝභාභිභූතානං මිච්ඡා ධම්මපරේ තානං යක්ඛාවාලෙ මනුස්ස ඔස්සජ්ජන්ති
(අංගුත්තර නිකාය – තික නිපාතය)

සුපින්වතුනි,

බුදුදහම හේතුඵල දහම පදනම් කොටගත් ශ්‍රේෂ්ඨ දර්ශනයක්. ලොව පවතින විවිධ ගැටලු නිරාකරණය කර ගැනීමට මේ දාර්ශනික පදනම උපකාර වෙනවා. අද මා බලාපොරොත්තු වන්නේ කිසිදා අපට අමතක නොවන සුනාමි විපතට හේතු වූ සාධක කිහිපයක් පිළිබඳ දහමට අනුව කරුණු ස්වල්පයක් පහදා දෙන්නටයි. මේ සුනාමි යන වචනය ඇසෙත්ම ඔබේ හදවත කම්පාවට, ත්‍රාසයට, භීතියට, දුකට, වේදනාවට පත්වෙනවා ඇති. කිසිවෙකු බලාපොරොත්තු නොවූ අනපේක්‍ෂිත මොහොතක මහ සයුර රුදුරු වුණා.අගනා වටිනා මිනිස් ජීවිත මෙන්ම ගේ දොර, ඉඩකඩම්, යානවාහන, මිල මුදල්, සතා සිව්පාවුන් මහමුහුදට ඩැහැගෙන ගියා. අපි නොසිතන දේවල් නොපතන දේවල් සිදු වෙන්නෙ එහෙමයි. අචින්ති තම්පි භවති චින්ති තම්පි විනස්සති. දිය රකුසා එදා ඩැහැගත් ඒ මිනිස් ජීවිත වල වටිනාකම කොතරම්ද? මොන තරම් බලාපොරොත්තු ඒ සිත්වල තිබෙන්නට ඇද්ද?

පින්වතුනි, අපේ ජාතක පොතේ සඳහන් සමුද්ද වාණිජ ජාතකය දන්නා අයට මෙය විස්මිත දෙයක් නොවනු ඇත. නමුත් මේවා මුසාවක්සේ සලකා මිත්‍යා දෘෂ්ඨියෙන් ජීවත් වන අය අප අතර සිටින බව පෙනෙනවා.හේතුඵල දහම අනුව නිර්මිත සියල්ලෙහි ස්වභාවය හටගැනීම, පැවැතීම, විනාශවීමයි. (උප්පාද -ඨිති -භංග) මේ මහා සුනාමි ව්‍යසනයට හේතු කවරේදැයි යමෙකුගෙන් විමසුවහොත් සාගර පතුලේ කැළඹීම ඊට හේතු ලෙස දැක්විය හැකියි. එය විද්‍යාත්මක පදනමයි. එහෙත් ඒ චින්තනයන්ට හසු නොවන බොහෝ දේ ලොව පවතිනවා.

සමුද්ද වාණිජ ජාතකයෙන් පැහැදිලි වන්නේ කුමක්ද? බඹදත් රජු රාජ්‍ය කරන කාලයේ එක් ගමක දහසක් පමණ වඩුවන් වාසය කළා. මොවුන් ගේ දොර, ලීබඩු උපකරණ සාදා දෙන බව පවසා මිනිසුන්ගෙන් මුදල් ලබා ගත්තා. නමුත් එය ඉටුකර දුන්නේ නෑ. කර්මාන්ත නොකරන නිසා සිය මුදල් ආපසු ලබා දෙන ලෙස එවිට මිනිසුන් ඉල්ලුවා. නොදුන් නිසා බොහෝ සේ කිපී මුදල් ගත් අයට කරදර කළා.අන්තිමේ දී රට අතහැර යෑමට ඔවුන් අදහස් කොට ලී වලින් විශාල නැවක් සාදා එහි නැග මුහුදට අවතීර්ණ වුණා.මෙහෙම යන අතරේ දූපතක් හමුවුණා.මෙය මිනිස් වාසයට සුදුසුදැයි බලනු පිණිස ශක්තිසම්පන්න මිනිසුන් හත් දෙනෙකු පිටත් කළා. මෙහිදී කෙස් රැවුල් වැවුණූ, නිය දිග් වූ නග්න මිනිසෙකු ඔවුන්ගේ නෙත ගැටුණා. යකෙක් යැයි සිතූ මිනිසුන් දුන්නෙන් විද ඔහු මරන්න තැත් කළා. එවිට ඔහු “මම යකෙක් නොව ඔබ මෙන්ම මනුෂ්‍යයෙකි. මෙහි පැමිණ බොහෝ කල්. මෙය බොහෝ සශි‍්‍රක දූපතක්. මධුර ආහාරපාන සුලබයි. වස්ත්‍ර පමණයි නැත්තේ. දෙවි දේවතාවුන් ද මෙහි යෙහෙන් වාසය කරනවා “ කියා කිව්වා. එවිට මිනිසුන් අසනවා, දහසක් පමණ අපේ මිනිසුන්ටත් මෙතැන වාසය කරන්න පුළුවන්ද කියා. “පුළුවනි, හැබැයි මල මුත්‍රා තැන් තැන්වල විසුරුවමින් අපවිත්‍ර නොකර පිරිසුදුව සාමයෙන් සමඟියෙන් වාසය කරන්නැ’යි කිව්වා.

කලක් ගත වෙත්ම මේ පිරිස දෙකට බෙදුනා. නායකයන් දෙදෙනෙක් පත්කර ගත්තා. අධර්මවාදීන් ලෙස මත් පැන් බොමින් ලාමක ක්‍රියාවල නියැළෙමින් එක් කණ්ඩායමක් මුළු දූපතම අපවිත්‍ර කළා. මේ ව්‍යසනය දුටු දෙවිවරුන් මුහුද ගොඩ ගලන්නට සලස්වා මේ භූ®මිය පිරිසුදු කළ යුතුයැ’යි තීරණය කළා. එක් සද්පුරුෂ දේවතාවෙක් පැමිණ මුහුද ගොඩ ගලන බව මිනිසුන්ට සැල කළා. නමුත් පාපී දේවතාවෙකු පැමිණ එය මුසාවක් බවත් බිය නොවී වාසය කරන ලෙසත් ප්‍රකාශ කළා.

මේ දැනුම්දීම් දෙක පිළිබඳ අවධානය යොමුකළ පුණ්‍යවන්ත නුවණැති මිනිසුන් පිරිස නැවක් සාදා එම ව්‍යසනයට මුහුණ දෙන්න සූදානම් වූවා. අවිචාරවත් මෝඩ කලහකාරී පිරිස මත් පැන්බොමින් අශ්ලීල ලෙස හැසිරුණා. එදා පුන් පෝ දිනයක්. මහ සයුර සැඩ වුණා. පළමුව ජල ප්‍රවාහය මිනිසුන්ගේ දණක් උසට විත් කුණුගොඩවල් ගසාගෙන ගියා. මේ අයුරින් ප්‍රමාණය වැඩි වෙමින් සත් වරකදී මුළු දූපතම යට කළා.අධර්මවාදීන් පන්සියයකගේ ජීවිත මහ සයුරට බිලිවුණා. නුවණැතිව දුරදිග සිතා බලා ක්‍රියා කළ පිරිස නැවට නැඟී ජීවිත බේරගත්තා. මහසයුර මෙවන් විපතක් සිදු කළේ මන්දැයි දැන් ඔබට වැටහෙනවා ඇති. මේ විපත සිදු වුණේ මිනිසාගේ නොපනත්කම්, නොමිනිස්කම් නිසායි.

පින්වතුනි, මා මුලින් සඳහන් කළ සූත්‍ර පාඨයේ සරල අදහස විමසා බලමු. “බ්‍රාහ්මණය, මෙකල මිනිස්සු අධර්ම රාගයෙන් රත් වූ විසම ලෝභය වැඩූ මිත්‍යා දෘෂ්ඨියෙන් යුක්ත නිසා ඒ මිනිසුන්ට නිසි ලෙස වැසි දිය ලැබෙන්නේ නැහැ. එනිසා දුර්භික්‍ෂ ඇති වෙනවා. ගස් වල ගෙඩි හැදෙනවා, නමුත් රෝග හටගන්නවා. ධාන්‍ය කරල් ඉරටු වගේ හීන් වෙනවා.බොහෝ මිනිසුන් මැරෙනවා. මීට හේතුව අධර්ම රාගයයි.” යනු එහි අදහසයි.

එයින් පැහැදිලි වන්නේ උතුම් මිනිස් ගුණ දම් මිනිසා වෙතින් ඉවත් වන විට සොබා දහම පවා වෙනස් වන බවයි. රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන්, මිත්‍යාවෙන් යුක්ත වන විට නොසිතූ නොපැතූ අප්‍රමාණ දුක් කරදර ඇති වෙනවා. කලට වැසි නොලැබී යනවා. භවභෝග සම්පත් විනාශ වෙනවා. මැසි මදුරු, කෘමි උවදුරු ඇතිවෙනවා. බෝවන වසංගත රෝග හටගන්නවා. අස්වභාවික සිදුවීම් ඇතිවෙනවා. අධර්මවාදී සංකල්ප වැඩිවෙනවා. ආයු, වර්ණ, සැප, බල, නුවණ පිරිහී යනවා. පුද්ගල චර්යාවන් දැහැමි නොවන විට ස්වභාවික පරිසරය පවා විනාශවන බව චක්කවත්ති සීහනාද සූත්‍රය ආදි සූත්‍ර ධර්මවලත්, මහා සුපින ජාතකය වැනි ජාතක කතා වලත් සඳහන් වෙනවා.

අපේ රට සිරිපා පහසින් තෙවරක් අතිපාරිශුද්ධත්වයට පත් පුණ්‍ය භූ®මියක්. අපේ සංස්කෘතිය බෞද්ධ සංස්කෘතියයි. ගම, පන්සල, වැව, දා ගැබ අපේ උරුමයයි. එදා වැව් තාවුල්ලේ ඉදිවුණේ මනරම් පුණ්‍යභූ®මි. ගමේ උස් ස්ථානයේ ඉඳිකළේ සුරම්‍ය වෙහෙර විහාර, අහස සිඹින සුදෝ සුදු දාගැබ්. එදා මිනිසුන් විවිධ කුසලතාවයන්ගෙන් යුක්තවූවා. ගහකොළ සතා සිව්පාවුන්ට පණ මෙන් ආදරය කළා. පුණ්‍යභූ®මි මෙන්ම අභය භූ®මිත් ඉඳිවුණා. මෙත් මුදිතාදී උතුම් අධ්‍යාත්මික ගුණදම් දියුණු කළා. සම්‍යග් දර්ශනයෙන් යුක්තව පිදිය යුත්තන් වැඩිහිටියන් පිදුවා. වැඳිය යුත්තන් වැන්දා. අධ්‍යාත්මික හා ආර්ථික දියුණුව සලසා ගත්තා. ඇළ දොළ, ගංගා, තුරු ලතා, හරිත වන පෙත් ආරක්‍ෂා කළා. මේ නිසා සොබා දහමෙන් ලද ආශිර්වාදය අමිල නිමල වුණා.

මිනිසා කොපමණ ගුණ දහමින් පිරිහිලාද? “ඌණෝ ලෝකෝ අතිත්තෝ තණ්හාදාසෝ” කොපමණ ලැබුණත් තෘප්තිමත් නොවන මිනිසා තණ්හාවට දාසයෙක්. ධර්මය දැන දැනම අධර්මයෙහි යෙදෙනවා. ආලෝකයෙන් අඳුරට ගමන් කරනවා. නිදන් වස්තුකොල්ල කමින් අපේ පෞරාණික උරුමයන් විනාශ කරනවා.අපේ අනන්‍යතාවය නැති කරනවා. බොහෝ දෙනෙකුගේ ක්‍රියාකාරකම් තමන්ටත් අනුන්ටත් අහිත, අවැඩ, විපත්තිය පිණිස යොමුවෙලා. ’අසාරේ සාර මතිනෝ – සාරේ චාසාර දස්සිනෝ ‘ සරුදේ නිසරු ලෙසත් නිසරු දේ සරු ලෙසත් සලකන අය වැඩිවෙලා.

සරු, නිසරු දේ හොඳින් වටහාගත් සම්‍යග් දෘෂ්ටියෙන් යුත් සුළුතරයක් හෝ සිටින නිසා සොබාදහම ගෙනෙන විපත් තරමක් හෝ අඩුවී ඇති බව පෙනෙනවා. අධර්මවාදීන් වැඩිවන විට ධර්මකාමි සුළු පිරිසටද අනිටු විපාක විඳින්න සිදු වෙනවා.

ඉහත සඳහන් කරුණු අනුව, හේතුවක් නැතිව යමක් සිදුවිය නොහැකි බව සිතන්න. විචාර බුද්ධියෙන්, වීමංසන බුද්ධියෙන් කරුණු විමසා බලන්න.රාගාදි කෙලෙස් මැඩීමට වීර්ය දරන්න. බුදු, දම්, සඟ ගුණ සිහිකරන්න. සද්පුරුෂ කල්‍යාණ මිතුරන් ඇසුරු කරන්න. ධර්මාලෝකයෙන් ජීවිත ආලෝකමත් කර ගන්න. දහම් රස විඳ සැනසීම උදාකරගන්න.

ඔබ සැමට තෙරුවන් සරණයි!

 


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.