Print this Article


90 වැනි විය සපුරන මාතර විමලරතන මහා නා හිමි

90 වැනි විය සපුරන මාතර විමලරතන මහා නා හිමි

අනුරාධපුර ගුවන්තොටුපළ ශ්‍රී විමලධර්ම දූත මධ්‍යස්ථානාධීශ්වර අමරපුර සිරි සුමන මහා නිකායේ මහානායක, පටිපත්තිධර ගණ පාමොක්‍ඛාචරිය කීර්ති ශ්‍රී සම්බුද්ධ ශාසන ධජ ශාස්ත්‍ර විශාරද පණ්ඩිතාචාර්ය මාතර විමලරතන මහා නා හිමිපාණන් වහන්සේ දෙසැම්බර් 26 වැනි දින 90 වැනි විය සපුරති.

දක්‍ෂිණ ලංකාවේ මාතර මැදගොඩ වීරක්කොඩි ආරච්චිගේ සවිනේරිස් අප්පුහාමි හා එදිරිසිංහ විදාන ආරච්චිගේ බබුංහාමි මාතාවට 1915 දෙසැම්බර් 26 වැනි දින ප්‍රේමදාස නමින් පුත් රුවනක් ලැබිණ. නිසි විය පැමිණි කල පරම විඥානාර්ථ බෞද්ධ සමාගම විසින් පාලනය වූ මහා බෝධි පාසලින් ප්‍රාථමික අධ්‍යාපනය ලැබීය.

බූස්සේ ශ්‍රී සුදර්ශනාරාමය, අනුරාධපුර ශ්‍රී නිවන්තක චේතිය රාජමහා විහාරය යන උභය විහාරාධිපති අපවත් වී වදාළ බූස්සේ ධම්මරක්‍ඛිතාභිධාන දඩලුපරම්පරායත්ත අමරපුර නිකායේ මහා නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් 1931 ඔක්තෝබර් 22 දින පැවිදි බිමට පත් වූහ. ප්‍රධාන අධිකරණ සංඝනායක ගාල්ල තෙන්කල්ලාගොඩ ශ්‍රී සුභද්‍රාරාමාධිපති පණ්ඩිත ඇත්තිලගොඩ නන්දාරාම නාහිමියන්, මාවඩවිල උපරතන මහා නාහිමියන්, මාතර වීරබා පිරිවෙන්පති රාජකීය පණ්ඩිත රජ්ගම සෝමාරාම අනු නා හිමියන් යන හිමිවරුන් යටතේ අධ්‍යාපනය ලැබීය. අනුරාධපුර රුවන්වැලි මහා සෑ මහා විහාර පිරිවෙන හා බූස්සේ ශ්‍රී සුදර්ශනාරාමයෙන් ද පිරිවෙන් අධ්‍යාපනය ලැබීය.

1937 ජූනි 23 දින බලපිටිය මාදුගඟ උදකුක්ඛේප සීමා මාලකයේ දී උපසම්පදා වූහ. බූස්සේ නාහිමියන් ආචාර්යවරයන් වහන්සේ ලෙසත්, කොස්ගොඩ සිරි සුධම්මානන්ද අනු නාහිමියන්ද සිරි සද්ධම්මවංශපාල තලල්ලේ සිරි ධම්මරක්‍ඛිත නා හිමියන්ද දික්වැල්ලේ සංඝතිලක අධිකරණ නා හිමියන් ද කර්මාචාර්ය හිමිවරුන් වශයෙන් ද ක්‍රියා කළහ.

මීගමුව අඟුරුකාරමුල්ල බෝධිරාජාරාම පිරිවෙන, රත්මලාන පරම ධම්ම චේතිය පිරිවෙනින් උසස් අධ්‍යාපනය ලැබූහ. උන්වහන්සේ 1940 සිට සමාජ සේවා කටයුතු සඳහා කැප විය. මැදවච්චිය, හොරොව්පතාන, අනුරාධපුරය, පොළොන්නරුව, මැදිරිගිරිය යන පළාත්වලද මැකිච්ඡාව, ගල්කඩවල, කිරුඨගම, ලෝලුගස්වල යන ගම්මානවලද විහාර ආරාම වැව් පොකුණු, මං මාවත් පිළිසකර කරවූහ. මැදවච්චිය ගම්මානවලට ග්‍රාම සංවර්ධන සමිති, ගමට පන්සලක් මෙන්ම පාසලක් ද ආරම්භ කළහ. මෙම ගම්මානවල බෞද්ධ සමිති සමාගම්, දහම් පාසල් පේෂකර්ම මධ්‍යස්ථාන ආරම්භ කළහ.

දඩලු පරම්පරායත්ථ අමරපුර මහා නිකායේ මහා නායක බුස්සේ ශ්‍රී සුදර්ශනාරාමය, අනුරාධපුර නිවන්තක චේතියාරාමය යන උභය විහාරාධිපති බූස්සේ ධම්මරක්‍ඛිතාභිධාන මාහිමියන් ප්‍රමුඛ සිරි සුමන මහා කාරක සංඝ සභාව විසින් 1968 පොසොන් මස 24 වැනි දා “සිරි සද්ධා තිස්ස ධම්මරක්‍ඛිත ගරු නාමය සහිතව උතුරු හා උතුරු මැද දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් උන්වහන්සේ පිදුම් ලැබූහ.

1992 වෙසක් මස 27 දින දඩලුපරම්පරායත්ත අමරපුර මහා නිකායේ විංශද් වර්ගික කාරක මහා සංඝ සභාවේ ඒකච්ඡන්දයෙන් නිකායේ මහා නායක පදවියට පත් වූහ.

අමරපුර සිරි සුමන මහා නිකායේ මහානායක පණ්ඩිතාචාර්ය මාතර විමලරතන නාහිමියන් 90 වැනි වියට පැමිණීමත්, පැවිදි දිවියට අවුරුදු හැත්තෑ හතරක් පිරීමත් නිමිති කරගෙන මහා නා හිමියන්ට දිඝාසිරි ප්‍රාර්ථනා කරමින් දෙසැම්බර් 26 – 27 දෙදින තුළ පන්නිපිටිය දෙපානම දෙව්රම් මහා විහාරයේ දී ආශිර්වාද පින්කම් මාලාවක් දෙව්රම් මහා විහාරාධිපති කොළොන්නාවේ සිරි සුමංගල අනුනාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කැරේ.

 


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.