Print this Article


ශ්‍රී කල්‍යාණධර්ම පෙරමුණ කතරගම වාර්ෂික පින්කම

ශ්‍රී කල්‍යාණධර්ම පෙරමුණ කතරගම වාර්ෂික පින්කම

කොළඹ – 07, බෞද්ධාලෝක මාවතේ ශ්‍රී කල්‍යාණධම්ම ආශ්‍රමය මූලස්ථාන කොටගත් ශ්‍රී කල්‍යාණධම්ම පෙරමුණ සිදු කරන වාර්ෂික පින්කම් මාලාවේ අවසාන පින්කම වන කතරගම පුණ්‍යානුමෝදනා මහා පින්කම 54 වැනි වරට මෙම මස 26 – 27 දෙදින කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් සහ අෂ්ට ඵලරුහ බෝධිරාජයාණන් අබියසදී ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණේ අනුශාසක මිරිහානේ නන්ද ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහ සංඝරත්නයේ මූලිකත්වයෙන් පවත්වනු ලැබේ.

ප්‍රථමයෙන් මහනුවර ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳපුදා උපහාර දක්වා සර්වරාත්‍රික පරිත්‍රාණ දේශනා පවත්වා කිරි ආහාර පූජා කොට පින්කම් මාලාව ආරම්භ කැරෙන අතර දෙවැනි පින්කම අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි මහසෑය ඇසුරු කොට පැවැත්වේ. තුන්වැනි පින්කම කැලණි රජමහ වෙහෙර ඇසුරු කොට වාර්ෂිකව පවත්වනු ලැබේ. සතර වැනි පින්කම නවගමුව රජමහ විහාරයේ පැවැත්වෙන අතර පස් වැනි පින්කම වනුයේ මෙකී කතරගම පුණ්‍යානුමෝදනා මහ පින්කමයි.


පසුගිය වසරේ පින්කමේ අවස්ථාවක්

කල්‍යාණධර්ම හෙවත් ජීවිත සැනසිල්ලට උපකාර වන ගුණධර්ම ප්‍රගුණ කිරීමත් ඒ සඳහා අනුබල දීමත් ඒවා දියුණු කර ගැනීමට අවශ්‍ය නිවැරැදි මඟ පෙන්වීමත් ශ්‍රී කල්‍යාණධර්ම පෙරමුණේ ප්‍රධාන පරමාර්ථය වේ. මේ පෙරමුණට සම්බන්ධ වී සිටින හැම දෙනා ම සංවිධානය වී සිටින්නේ මේ උතුම් පරමාර්ථය පෙරදැරි කරගෙන ය.

මෙකී පරමාර්ථය සපුරා ගැනීම අරමුණු කොට ගත් වැදගත් කටයුතු රැසක් මේ පෙරමුණ විසින් ඉටු කරනු ලැබේ. මසකට දෙවරක් පෙහෙවස් සමාදන්වීම, ‘තිසරණ’ දහම් සඟරාව මුද්‍රණය කරවා ප්‍රකාශයට පත් කිරීම, ලේ දන්දීම, මරණයට කැප වූ ගවයින් නිදහස් කොට ගොවීන්ට භාරදීම, සතිපතා ධර්ම දේශනා, දිනපතා බෝධි පූජාව, සෙත් පැතීම සඳහා වෙන්වූ ශාන්ති මණ්ඩලය, ධර්ම ග්‍රන්ථ සිංහල භාෂාවෙන් මුද්‍රණය කරවා පළ කිරීම, ධර්ම මණ්ඩප සහ ධර්ම සාකච්ඡා පැවැත්වීම යන මේවා ශ්‍රී කල්‍යාණධර්ම පෙරමුණ විසින් නිති පතා සිදු කරනු ලබන සත් කාර්යයන් අතර වේ.

උදාර පරමාර්ථ පෙරදැරි කරගෙන ඉහත කී කටයුතු නිස්සරණාධ්‍යාශයෙන් ආරම්භ කරන ලද්දේ මින් වසර විසිදෙකකට ඉහත දී අපවත් වී වදාළ කෝට්ටේ ශ්‍රී දේවානන්ද මාහිමිපාණන් වහන්සේ විසිනි. උන්වහන්සේ, ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ සමුත්පාදක අතිගෞරවාර්හ රාජකීය පණ්ඩිත කඩවැද්දුව ශ්‍රී ජිනවංශ නාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයකි.

මේ වසරේ ජනවාරි පළමු වැනි දින නිදහස් කරන ලද ගවයින් සංඛ්‍යාව 120 ක් වූ අතර අගෝස්තු මාසයේ දී ගවයින් 30 ක් මරණයෙන් නිදහස් කරන ලදී. සෑම වසරකම අගෝස්තු මාසයේ සිදු කැරෙන ලේ දන්දීමේ පින්කමේ දී ලේ පයින්ට් 70 ක් අතර ප්‍රමාණයක් ලේ බැංකුවට පරිත්‍යාග කරනු ලැබේ.

වසර පුරා විහිදී යන මෙකී පුණ්‍ය කටයුතු කතරගම දිව්‍යරාජයාණන් ඇතුළු සියලු දිව්‍යරාජ සමූහයාට අනුමෝදන් කිරීම සඳහා කතරගම පින්කම පැවැත්වේ. දෙසැම්බර් 25 වැනි දින හිමිදිරි උදෑසන බොරැල්ලේ ශ්‍රී කල්‍යාණධර්ම ආශ්‍රමයෙන් පිටත්වෙන සැදැහැවත් පිරිස සියලු දෙනාම බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ දී අෂ්ටාංග උපෝසථ ශීලයෙහි පිහිටති. කළුතර බෝ සමිඳුන් වැඳ පුදා දෙවියන්ට පින් අනුමෝදන් කොට ගමන් අරඹන පිරිස දවල් දානයට දෙවිනුවරට පැමිණීමට නියමිතය. දෙවිනුවර ඓතිහාසික සිද්ධස්ථානයත්, ඉන් අනතුරුව තිස්සමහාරාම චෛත්‍යරාජයාත් වැඳ පුදා සන්ධ්‍යා භාගයේ දී කතරගමට සැපත් වෙති.

විසිහය වැනි දින කිරිවෙහෙර භූමියේ දී අටසිල් සමාදන්වන පිරිස සවස් භාගයේ කිරිවෙහෙර වෙත සර්වඥ ධාතු කරඬුව පෙරටු කොට පෙරහරින් ගමන් කරති. ඉන් අනතුරු අෂ්ටඵලරුහ බෝසමිඳු අභියස විශේෂ බෝධි පූජාවක් පවත්වති. සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවෙන් අනතුරුව 27 වැනි දා උදේ කිරි ආහාර පූජා කොට දිව්‍යරාජයින්ට පින් අනුමෝදන් කර ලක්වැසි සියලු දෙනාට සෙත් පැතීමෙන් කතරගම පින්කම අවසන් වේ.ආපසු එන ගමනේ දී රත්නපුර මහ සමන් දේවාලයට පැමිණෙන පිරිස බුද්ධ පූජාව පවත්වා සුමන දිව්‍යරාජයින්ට පුණ්‍යානුමෝදනා කරති. කතරගම පින්කමට කොළඹින් වාහන 60 ක් පමණ ගමනට එකතු වේ. මේ පෙරහරට පොලිස් පෙරගමන් රථයක් ද ගමනෙහි යෙදේ. විසිහය වැනිදා උත්සවයට කතරගම මහ දේවාලය අසල සිට මාර්ගය, බෝධීන් වහන්සේ සහ කිරිවෙහෙර අවට භූමිය අලංකාර ලෙස සරසනු ලබන අතර එදින එහි රැස්වන පිරිස අට දහසකට ආසන්න වේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.