Print this Article


මහ බෝ වන්දනාව සහ මහ බෝ පෙරහර මෙවරත්

 මහ බෝ වන්දනාව සහ මහ බෝ පෙරහර මෙවරත්

සිරි මහ බෝ සමිඳු සිරිලකට වැඩම කොට වසර 2320 ක් සපිරීමත්, රට වැසි සැමට සෞභාග්‍යය ප්‍රාර්ථනා කරමින් නව වසරට සෙත් පැතීමත්, ප්‍රථම රන් වැට ඉදිකොට වසර 43 ක් සපිරීමත් යන අරමුණු පෙරදැරිව වාර්ෂිකව පවත්වනු ලබන අසිරිමත් මහබෝ පෙරහර සහ මහ බෝ වන්දනාව අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස දී මෙම මස 22 වැනි සෙනසුරාදා පස්වරු 1 සිට 6 දක්වා පැවැත්වේ.

‘සිරි සිදුහත්’ භික්‍ෂු සංවර්ධන පදනමත්, ‘සිරිමහ බෝ’ පදනමත් ඒකාබද්ධව උඩරට අමරපුර මහා නිකායේ ‘සාසනජෝතිකා’ සංඝ සභාවේ අනුමැතිය ඇතිව වාර්ෂිකව පවත්වනු ලබන මෙම මහා බෝධි පූජාවට මෙරට නන් දෙසින් අති විශාල සැදැහැවත් ජනතාවක් මෙන්ම මහා සංඝරත්නය ද සහභාගි වනු ලැබේ. ප්‍රධාන රථ පෙරහර ආරම්භ වන්නේ කටුගස්තොට නගරයෙනි. රන් වැට සහිත මහ බෝ අනු රුවත්, කුළු බඩු සහ ධාන්‍ය සහිත පාත්‍රයත් පෙරටු කර ගත් මෙම පෙරහරෙහි ප්‍රදර්ශන රථ රැසක් ගමන් කිරීමට නියමිතය. අනෙකුත් ප්‍රදේශ වලින් පැමිණෙන ජනතාව දඹුල්ල නගරයේ දී පෙරහරට සම්බන්ධ වීමට නියමිතය. ථූපාරාම චෛත්‍යය අසළ සිට ගමන් ආරම්භ කරන කප්රුක් සහ පූජා වස්තූන් සහිත නර්තන අංගයන් ගෙන් සමන්විත පෙරහර සඳහා අනුරාධපුර අටමස්ථානය අවට ගම්මාන වල ජනතාව ද විහාර ගම්මාන වල ජනතාව ද සහභාගි වීමට නියමිතය.

මෙදින ‘මහ බෝ වරුණ’ පුවත්පත එළිදැක්වීම සිදු කරනු ලැබේ. මෙම ඓතිහාසික පෙරහරට සහභාගී වීමට පැමිණෙන ජනතාව සුදුවතින් සැරසී මෙත් සිත් පෙරදැරිව සහභාගි වන මෙන් ඉල්ලා සිටින බව සංවිධායකයෝ පවසති


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.