Print this Article


මහනුවර කටුකැලේ ශ්‍රී ප්‍රජාපති දහම් පාසල

මහනුවර කටුකැලේ ශ්‍රී ප්‍රජාපති දහම් පාසල


කටුකැලේ ලේඩි බෙලේක් ආරාමාධිපතිනි, දහම් පාසලේ ප්‍රධානාචාර්ය කොත්මලේ සුධර්මා සිල් මෑණියන් දහම් පාසල් ත්‍යාග ප්‍රදානෝත්සවයකදී දැරියන් විසින් පිළිගන්නා ලද අයුරු.

මහාසංඝරත්නයේ අනුශාසනා මධ්‍යයේ ගුරු දෙගුරුන් විසින් පවත්වාගෙන යනු ලබන දහම් පාසල්වලින් විශාල දහම් සේවාවක් රටේ සුචරිත වර්ධනය වෙනුවෙන් ඉටු කරයි. මෙවැනිම දහම් සේවාවකට සිල් මෑණිවරුන්ගේ ද අනුග්‍රහය ලබන මහනුවර කටුකැලේ ආරාමයේ ශ්‍රී ප්‍රජාපතිදහම් පාසල 2012 වසරට සියවස ඉක්මවා ඇත.

1907 දී ශ්‍රී සුධර්මාචාරි දහම්පාසල ලෙස එවකට ආරාමාධිපතිනිය ලෙස වැඩ සිටි සිල්මෑණියන් විසින් ආරම්භ කරන ලද මෙම පාසල 1965 දී තාවකාලිකව නතර කර දමා නැවත 1965 දී ධම්මවංශ සිල්මෑණියන්ගේත් 1968 දී වත්මන් ආරාමාධිපතිනි කොත්මලේ සුධර්මා සිල්මෑණියන්ගේත් මූලිකත්වයෙන් ශ්‍රී ප්‍රජාපති දහම් පාසල නමින් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරන ලදී.

කොත්මලේ සුධර්මා සිල් මෑණියන්ගේ මූලිකත්වයෙන් අඩසියවසර සම්පූර්ණ කළ මෙම දහම් පාසලේ ධර්මාචාර්යවරියන් දොළොස් දෙනෙකු යටතේ අද සිසු සිසුවියෝ තුන්සියයක් පමණ අධ්‍යාපනය ලබති.

ආරාමය මූලිකත්වයෙන් ක්‍රියාත්මක කරනු ලබන ආගමික කටයුතුවලට ශ්‍රී ප්‍රජාපති දහම් පාසල මුල්තැනක් ගනී. සෑම ඉරිදා දිනකම පවත්වන ධර්ම දේශනාවලියේ දායකයන් ලෙස දහම් දරුවන් නැඹුරු කර ඇත්තේ බාල අවධියේදීමය. ඔවුන් දහමට යොමු කිරීමේ අරමුණ ඉදිරියට පවත්වාගෙන යන ශ්‍රී ප්‍රජාපතී දහම් පාසල ගඟවට කෝරලයේ ප්‍රතිඵල දැක්වූ පාසල් අතර ප්‍රධාන තැනක් ගනී.

සුධර්මා සිල්මෑණියන්ගේ කැපවීම පාසලේ දීප්තිමත් අනාගතයක ශුභ ලකුණක් වී ඇත.

 

 


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.