Print this Article


තෙලවල දම්පහන දහම් පාසල

තෙලවල දම්පහන දහම් පාසල


ආචාර්ය මණ්ඩලය

මෙම වසරේ ශිෂ්‍ය නායක නායිකාවන් ප්‍රතිඥා දෙන අයුරු

තෙලවල ග්‍රාමයට 2002 ජනවාරි මස 20 වන දා සුවිශේෂී දිනයක් විය. මන්ද යත් එදින තෙලවල විජයරූපාරාම ධර්මායතන පින්බිමේ දී ‘දම්පහන’ නමින් දහමින් පිරි දරු පරපුරක් පෝෂණය කිරීම උදෙසා දහම් තක්සලාවක් ආරම්භ කිරීමයි.

තෙලවල විජයරූපාරාම ධර්මායතනාධිපති, දම්පහළ ඤාණරතන නායක ස්වාමීන්වහන්සේගේ සිතෙහි පහළ වූ පින්වත් සිතිවිල්ලක් මල්ඵල ගැන්වීමක් ලෙස මෙය හැඳින්විය හැකි අතර, එවකට මොරටුව ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරීව කටයුතු කළ වාද්දුවේ දීපසිරි ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සව සභාවේ දී ගුරුවරුන් පස්දෙනෙකුගෙන් සහ සිසු දරුවන් දස දෙනෙකුගෙන් පමණ මෙම දහම් පාසල ආරම්භ කරන්නට යෙදුණි.

පූර්ව ශ්‍රේණියේ සිට ධර්මාචාර්ය ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන මෙහි සිසු දරු දැරියන්ට දහම් දැනුම ලබාදීම උදෙසා ප්‍රධානාචාර්ය, දම්පහළ ඤාණරතන නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන ගුරුභවතුන් 25 දෙනෙකු පමණ නිස්සරධ්‍යාශයෙන් කරන සේවය අගැයිය යුතුව ඇත. 2002 දී ඇරැඹි දම්පහන දහම් පාසල මේවන විට වර්ෂ 12 පමණ සපුරා ඇත. ආරම්භයේ දී ගුරුභවතුන් පස්දෙනෙකුගෙන් ඇරැඹී අප දහම් පාසලේ වත්මන් ගුරුමණ්ඩලය 25 දෙනෙකු පමණ වේ. ආරම්භයේ දී සිසු දරු දැරියන් 10කට සීමා වුවද, මේ වන විට සිසු දරු දැරියන් 250 දෙනෙකු පමණ දහම් අධ්‍යාපනය ලබන දහම් තක්සලාවක් බවට මෙම දහම් පියස පරිවර්තනය වී ඇත.

කලට වේලාවට පෙළපොත් ආදිය ලබා දෙමින් ද, විවිධ තරඟ ඉසව් සඳහා සිසු දරු දැරියන් යොමු කරගනිමින් මෙන්ම විභාග ආදිය පවත්වමින් අපට මහත් ශක්තියක් වූ මොරටුව ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ සභාපති හා ප්‍රධාන ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේ දෙනම ප්‍රධාන ශාසනාරක්‍ෂක බලමණ්ඩලයෙන් ලැබෙන ශක්තිය මෙන්ම සහයෝගය ඉතා ගෞරවයෙන් සිහිපත් කරන්නෙමු.

දම්පහන දහම් පාසල මඟින් වර්ෂයකට ප්‍රථම, දෙවන හා තෙවන වාර වශයෙන් විභාග සංවිධානය කැරේ. එම විභාගය සඳහා බුද්ධ ධර්මය, අභිධර්මය, පාලි භාෂාව, ගද්‍ය රචනා, සිංහල සාහිත්‍යය, ධම්මපදය හා චිත්‍ර යන අංශ යටතේ ලකුණු ලබාදෙන අතර එම විභාගයෙන් වැඩි ලකුණු ලබා ගැනීම මෙන්ම, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරන ශ්‍රේණි විභාගයෙන් ද විශිෂ්ට සාමාර්ථයන් ලබාගැනීමට හා ශාසනාරක්‍ෂක බලමණ්ඩලය මඟින් සංවිධානය කරනු ලබන විවිධ තරග සඳහා සහභාගි වෙමින් ජයග්‍රහණ ලබා ගනිමින් දහම් පාසලේ නාමය ඉහළට ඔසවා තැබීමට අප දහම් පාසලේ දරු දැරියන් සමත් වී තිබේ.

අප දහම් පාසලේ ආදර්ශ පාඨය නම් “මානිවත්ථ අභික්කම” යන්නයි. එහි අදහස නම් ‘නොනැවතී ඉදිරියට’ යන්නයි. අද වන විට එම ආදර්ශ පාඨය යථාර්ථයක් බවට පත් වී ඇත.

දහම් පාසල තුළින් ඔවුන් ලබන පන්නරය ඔවුන්ගේ ඉදිරි ගමනට මහත් පිටිවහලක් මෙන්ම මහත් වූ ශක්තියක් ද වනු ඇත.

 

 


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.