UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සත්පුරුෂ ගුණ දහම් පුරුදු කර ගනිමු

සිරිමිත්ත මහ රහතන් වහන්සේගේ ථෙර ගාථා -3

සත්පුරුෂ ගුණ දහම් පුරුදු කර ගනිමු

මුනිවරු තමන්ගේ ජීවිතයේ අප්‍රමාණ වූ කැප කිරීම් කරල, බලවත් වූ වීරිය උපදවගෙන, අත්නොහරින වීර්යෙන් කටයුතු කරල, කල්‍යාණ මිත්‍ර ඇසුරේම, සත්පුරුෂයන් බවට පත්වෙලා, සත්පුරුෂ ගුණධර්ම පුරදු කරමින්, යම් මාර යුද්ධයක් ද ජයගත්තෙ. ජයගෙන යම් නිදහසක් ද භුක්ති වින්දේ, අන්න ඒ විදිහට, සියලු දෙනාටම ඒ අසහාය මුනිවරුන් කළා වූ ඒ අපරිමිත කැප කිරීම, කිරීමට දුර්ලභ වූ භාග්‍යය උදාවේවා

ථෙර ගාථා කියවන විට, හොඳට තේරුම් ගන්න, හොඳට සිතට ගන්න, ඒ රහතන් වහන්සේලා කළ කැප කිරීම, ඒ ගත් වෑයම, ඒ ගත් මහන්සිය යම් ආකාරයක වීර්යයක් පැවැත්වූවා නම්, ඒ වීර්යය, යම් ගුණධර්ම පුරුදු කළා නම්, ඒ පුරුදු කළ ගුණධර්මයන් ආදී දේවල් ඉගෙන ගෙන, උන්වහන්සේලා යහපත් ආකාරයෙන් යමක් පුරුදු කළා නම් අන්න ඒ පුුරුදු කළ දේ, අපත් පුරුදු කරගන්ට ඕනෑ කියල.

එහෙම නැතිව ඒ අතිශය දුෂ්කර වූ, බලවත් කැපකිරීමකින්, මහා වීරියයකින් කළයුතු කාර්යය කළාට පස්සෙ, ලබපු සැපට ලෝභවෙලා වැඩක් නෑ. බොහෝ අය ඒ සැපයට ලෝභ වෙනව. ලෝභ වෙලා “ අනේ මටත් ඇත්නම්” කියල සිහින මවනව. අන්තිමට මොකවත් නෑ.

අනතුරේ නොවැටීම පිණිස තමයි, අප මේ කාරණා සිහිකර දෙන්නෙ. ඒක මේ වගේ, දැන් සමහර අය ඉන්නවා. අතිශයින් ධනවත් අය, ඉතින් සමහර දිළිඳු අය ඒ ධනවත් අය විඳින සැප පහසුව දකිනව. දැකල එයා සිතනව, “ අනේ මටත් මෙහෙම සැප විඳින්ට ඇත්නම්” කියල. ඒත් එයා ඒ ධනවත් අය ධනය උපයගත්ත ක්‍රමවේදය ඉගෙනගන්නෙ නෑ. ඒ ක්‍රමයට ධනය උපදවගන්න කැමැති වෙන්නෙ නෑ. අර ධනවත් කෙනාගෙ සුව පහසුව ගන්ට කල්පනා කරනවා. එයා ඒ පහසුව ලබාගනීද ? සිටියටත් වඩා අමාරුවෙ වැටෙයිද ? සිටියටත් වඩා අමාරුවෙ වැටෙනවා. හැබැයි යම් කෙනෙක් කල්පනා කළොත්, “ ඇත්තෙන්ම මේ කෙනා මහා ධනවතෙක් වෙලා ඉන්නව. අතිශය සැප පහසුවෙන් ඉන්නව. මාත් ඒ ධනය උපයගත්ත විදිය ඉගෙනගන්ට ඕන. අන්න ඒ ක්‍රමයට මාත් පුරුදු වෙන්ට ඕනෑ” කියල. අන්න එයා සුවපහසුවට පත්වෙයිද ? සිටියටත් වඩා පහතට වැටෙයිද ? එයා සුවපහසුවට පත්වෙනව.

අන්න ඒ වගේමයි, ඒ අසහාය මුනිවරු, ඒ අතිශයින් සුවපහසුව විඳිමින්, ඒ නිදහස් සිතින් කරන ප්‍රකාශයන් දැකල, ඒවට ලෝභ වෙලා, සිහින ලෝකවලට යන්ට හොඳ නෑ, උන්වහන්සේලා කෙබඳු කැප කිරීමක් ද කළේ කියල. ඒ කැපකිරීම මොකක්ද කියල අප බලන්ට ඕනෑ. උන්වහන්සේලා කළ බලවත් කැප කිරීම තමයි, කල්‍යාණ මිත්‍ර ඇසුරේ, ගුණධර්ම පුරුදු කරමින් වාසය කිරීම. ඒ සඳහා සත්පුරුෂ ගති ඒ අය පුරුදුකර ගත්ත. සත්පුරුෂයන් විදිහට ජීවත් වෙන්ට පුරුදු වුණා. අවවාද අනුශාසනා ඇසුරේම වාසය කරන්ට ඒ අය පුරුදුවුණා. අතිශයින් උසස්, උතුම් වූ ගුණධර්ම ඒ අය පුරුදු කරගත්ත.

ඒ අය බාහිර ආටෝපයට රැවටුණේ නෑ. හරය තෝර බේරගන්න ඒ අය දක්‍ෂ වුණා. ඒ විදිහට නුවණින් කටයුතු කළා. ප්‍රඥාවන්ත විදියට කල්පනා කරල, කටයුතු කරල තමයි කෙලෙස් දුරු කරල, අතිශයින් සුන්දර වූ ජීවිත උපදවාගෙන, අතිශය සුවපහසුවෙන් වාසය කරන ජීවිත උදාකරගත්තේ, ඒ නිසා අපත් කැමැති වෙන්ට ඕනෑ. මහන්සිවෙන්ට ඕනැ. එවැනි උතුම් ජීවිත ඇති කරගත්ත විදිහ, ඒ සඳහා කළ කැප කිරීම, ඒ සඳහා ගත් වෙහෙස, වීර්යය ගැන ඉගෙනගන්න අන්න ඒවා පුරුදු කරන්ට. අන්න ඒ සඳහා ථෙරි ගාථා උපකාර කරගන්න.

එතකොට මොකක්ද ඒ කැපකිරීම ? කල්‍යාණ මිත්‍ර ඇසුරේ කීකරුව වාසය කිරීම, ඒක තමයි මේ ලෝකයේ අමාරුම කැප කිරීම. ඒ අමාරුම අභියෝගය බාරගන්න නම් අනිත් ඔක්කොම කැප කරන්ට වෙනවා. ලේසියිද ඒක ? යම් කෙනෙක් ඒ අභියෝගය බාරගන්න කැමැති වුණොත්, එයා ඒ අභියෝගය බාරගත්තොත්, ඒ අමාරුම අභියෝගය යම් කෙනෙක් දිනුවොත්,, එයා නිදහස් වෙනව. ඒකයි ඒක මේ ලෝකයේ තියෙන අමාරුම දේ කියල කිව්වෙ. කල්‍යාණ මිත්‍ර ඇසුරට එන එක අමාරුයි. කල්‍යාණ මිත්‍ර ඇසුරේ කීකරුව ඉඳීමත් අමාරුයි.

ඇයි ඒ අමාරු ? මේ සිත සැබෑ නිදහස සොයනව නෙමෙයි. සැබෑම නිදහස සොයන සිත, කල්‍යාණ මිත්‍ර ඇසුරට කැමැතියි. සැබෑම නිදහස බලවත් කැප කිරීමකින්, බලවත් වීරියකින් උපදවගන්න එකක්. ලාමක දේකින් උපදවාගන්න දෙයක් නෙමෙයි. “ මට මෙහෙම හරි යන්නෙ නෑ, මා යනව තනියෙම ඉන්ට” ඒකද නිදහස ? ඒක නෙවෙයි නිදහස නමුත් සිත කැමැතියි නිදහස වගේ අන්න ඒක ගන්න. ඒ නිසා ඔබත් ඒ නිදහස වගේ දේ හොයන කෙනෙක් බවට පත්වෙන්ට එපා. නිදහස වගේ දේවල් ඕනැතරම් ලෝකේ තියෙනව. බහුලයි. සැබෑ නිදහස ලෝකයේ හැමතැනම නෑ. කලාතුරකින් කෙනෙක් දෙන්නෙකුට අත්වෙන දෙයක් තමයි ‘ සැබෑ නිදහස’ ඒක අත්කර ගැනීමේ භාග්‍යය ඔබට තියෙන්ට පුළුවන් කියල අපට යම් අදහසක් තියෙනව. ඒ සැබෑ නිදහස අත්කරගන්ට කල්පනා කරන්න.

අප සියලු දෙනාටම ආශිර්වාද කරන්ට කැමැතියි. ඒ අසහාය මුනිවරු තමන්ගේ ජීවිතයේ අප්‍රමාණ වූ කැප කිරීම් කරල, බලවත් වූ වීරිය උපදවගෙන, අත්නොහරින වීර්යෙන් කටයුතු කරල, කල්‍යාණ මිත්‍ර ඇසුරේම, සත්පුරුෂයන් බවට පත්වෙලා, සත්පුරුෂ ගුණධර්ම පුරදු කරමින්, යම් මාර යුද්ධයක් ද ජයගත්තෙ. ජයගෙන යම් නිදහසක් ද භුක්ති වින්දේ, අන්න ඒ විදිහට, සියලු දෙනාටම ඒ අසහාය මුනිවරුන් කළා වූ ඒ අපරිමිත කැප කිරීම, කිරීමට දුර්ලභ වූ භාග්‍යය උදාවේවා ! කියල අපි ආශිර්වාද කරමු.


සිරිමිත්ත මහ රහතන් වහන්සේගේ ථෙර ගාථා -2 සුව පහසු සිතකින් වාසය කිරීමට නම්
 

 

ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය දෙසැම්බර් මස 12 වැනි දා බදාදා අපරභාග 05.56 ට ලබයි.13 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 02.13 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම දෙසැම්බර් 12 වැනිදා
 බදාදා ය.
මීළඟ පෝය
දෙසැම්බර් 20 වැනි බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

දෙසැම්බර් 12

First Quarterපුර අටවක

දෙසැම්බර් 20

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 27

Second Quarterඅව අටවක

ජනවාරි 05


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]