UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කැඩපතකින් මුහුණ බලන්නා සේ සිත දෙස බලමු

කැඩපතකින් මුහුණ බලන්නා සේ සිත දෙස බලමු

ඇස, කන, නාසය, දිව, කය යන ඉන්ද්‍රියන් පස කාම ලෝකයට අයත් සත්වයින් අරමුණු ලබාගන්නා ප්‍රධාන දොරටු වන්නේය. ඒ අනුව රූප, ශබ්ද, ගන්ධ,රස, ස්පර්ශ යන අරමුණ ඒ ඉඳුරන් කරා ළඟා වන්නේය. මෙම පංචේන්ද්‍රියන් වලින් සැදුම්ලත් සත්වයා නිරන්තරයෙන් ඒවාට අවශ්‍ය ආහාර සොයාගෙන යනු ඇත. ඒවා ලබා ගැනීමෙන් සුඛ වේදනා ද ඒවා නොලැබීමෙන් දුක්ඛ වේදනා ද ලැබෙනු ඇත.

ශරීරය පිළිබඳ නවීන වෛද්‍ය විද්‍යාවෙන් විවිධ අයුරින් පරික්‍ෂණ පවත්වා ශාරිරික කොටස් පිළිබඳ එකින් එක අධ්‍යයන කිරීමෙන් එකින් එක අධ්‍යයන කිරීමත් ඒවා ලෙඩ වීමෙන්, කැඩීමෙන්, බිඳීමෙන් සුව කර ගන්නා ආකාරයත් ඒ සඳහා අවශ්‍ය ඖෂධත් සොයාගෙන ඇත. ශරීරභ්‍යන්තරය පිළිබඳව ද අද විනිවිද දැකීමට තරම් යන්ත්‍ර උපකරණ ද සොයාගෙන ඇත.විද්‍යාව තුළින් අද ශරීරය පිළිබඳ බොහෝ දේ සිදු කරනු ඇත. වෛද්‍යවරු එවැනි පරීක්‍ෂණ කරන්නේ පොත පත තුළින් කරුණු කාරණා කියවා එම විෂය පිළිබඳ දැනුමෙන් නිපුණතාවයකට පත් වීමෙනි.

බුදුරජාණන් වහන්සේ ප්‍රධාන වශයෙන් සිත පිළිබඳ පරික්‍ෂා කර එහි පරතෙරටම ගිය අතර ශරීරය පිළිබඳව ද විවිධ අයුරින් කරුණු දේශනා කොට ඇත. අද නවීන විද්‍යාවෙන් ශරීරය පිළිබඳ කියන කරන දේ බුදුරජාණන් වහන්සේ එදා විනිවිද දැක දේශනා කළහ. ධම්මපදයෙ ජරා වග්ගය, මල වග්ගය, පිරිත් පොතෙහි ගිරිමානන්ද බොජ්ඣංග ආදී ත්‍රිපිටකයේ සඳහන් ම සූත්‍ර තුළින් ශරීරයත්, එහි අන්තර්ගත කොටස් හා ඒවායේ යථා ස්වභාවය පිළිබඳත් දේශනා කළ අකාරය මනාව පැහැදිලි වේ.

මෙහිදී මා බලාපොරොත්තු වන්නේ එම භෞතික ශරීරය පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමට නොව බුදුරජාණන් වහන්සේ සිත පිළිබඳ තමන්ටම ගවේෂණයක යෙදෙන්නට කළ දේශනාවක් ඇසුරින් කරුණු කීපයක් පාඨකයා හමුවේ තැබීමටයි. නවීන විද්‍යාවේ සිත පිළිබඳ මනෝකාය යනුවෙන් පරීක්‍ෂණ පවත්වනු ඇත.

ම.නි. මජ්ඣිම පණ්ණාසකයෙ ගහපති වග්ගයට අයත් අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රය ඇසුරින් බුදුරජාණන් වහන්සේ උපමාවක් භාවිතා කොටගෙන රාහුල හිමියන් සිත පිළිබඳ බැලීමට කළ දේශනාවක් එහි අන්තර්ගතය. එය කෙටියෙන් පැහැදිලි කළහොත් වැදගත් වේ. රාහුල පොඩි හාමුදුරුවෝ අම්බලට්ඨික නම් වූ කුටියෙහි වැඩ ඉන්නා සමයක බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ මුල්කොටගෙන සියලු සත්වයාටම ධර්මයක් දේශනා කිරීමට සිතූහ. ඒ අදහසට අනුව බුදුරදුන් සන්ධ්‍යා කාලයේ රාහුල හිමියන් වැඩ වසන කුටියට වැඩම කළහ.රාහුල හිමියන් බුදුරදුන් දැක ඉතා සතුටු සිත්ව පා සෝදා වැඳ නමස්කාර කොට පනවන ලද ආසනයේ වැඩ ඉදීමට සලස්වා ගිලන්පසාදිය ද පිළිගැන්වූහ.

පසුව බුදුරජාණන් වහන්සේ රාහුල හිමි සමඟ පිළිසඳරක යෙදුණි. එය ප්‍රශ්නානුකරණයෙන් යුක්ත වූවකි.

බුදුරජාණන් වහන්සේ - රාහුලය නුඹ කැඩපත අඳුනනවාද?

රාහුල හිමි – එසේය ස්වාමීනි,

බුදුරදුන් – කැඩපත කියන්නේ කුමකටද?

රාහුල හිමි – කණ්ණාඩියටයි, ස්වාමීනි

බුදුරදුන් – එය කුමක් සඳහාද පවතින්නේ?

රාහුල හිමි – මුහුණ බලා ගැනීම සඳහායි ස්වාමීනි.

හොඳයි රාහුලය. යම් කිසිවෙක් කැඩපතක් දෙස බලා තම මුහුණෙහි ඇති අපවිත්‍ර දෑ අයින් කරන්නේද? කොණ්ඩය අවුල් වී ඇත්නම් එය සකසා ගන්නේද? එලෙසම යමෙක් සිත නමැති කැඩපත දෙස බලා සිතේ තිබෙන අපවිත්‍ර කුණු කසල ඉවත් කර ගන්නේ නම් ඔහු සිත දිනුමට මඟ හදා ගන්නෙකි. සිත පිළිබඳව විනිවිද දකින්නෙකි. ඔහු නිවන් මඟට යන පාර සකසා ගන්නෙකි. ආදි වශයෙන් බුදුරදුන් සිත පිළිබඳ තම නුවණින් තමන්ටම දැකීමට ඉඩ ප්‍රස්ථාව සලසා දී ඇත.මෙය බුදු දහමේ විමංසාව යනුවෙන් හැඳින්වේ. එනම් ඇති වන පවතින දේ පිළිබඳ විමසීමෙන් බැලීමයි. සුපරික්‍ෂාකාරී වීම හෙවත් පරීක්‍ෂා කිරීම යනුවෙන් ද එය හැඳින්වීමට පුළුවන.

බුදුරදුන් මෙහිදී පුංචි උපමාවක් රැගෙන ගැඹුරු අර්ථයක් ලොවට දේශනා කොට ඇත. ශරීරය ඕනෑම කෙනෙකුට පෙනෙනු ඇත. එහි අඩුපාඩු කීමටත් ඒවා සකසා ගැනීමටත් අඩුවැඩි වශයෙන් පුළුවන. නමුදු සිත පිළිබඳ තව කෙනෙකුට නිර්ණය කිරීම අපහසු කාර්යකි. එසේ නම් තම තමන්ගේ සිත පිළිබඳ නිවැරදිව දැකීමට සුදුසුම පුද්ගලයා තමාමය. තමාට තමාගෙ සිත පිළිබඳ දැකීමට පුළුවන. එය කැඩපත දෙස බලන්නා සේ කළ හැකිය.

එසේ බැලීමෙන් මෙම සිතේ තිබෙන අපවිත්‍ර චේතනා මනාව දර්ශනය වේ. ලෝභය, ද්වේශය, මෝහය, මද මාන්‍ය, ඊර්ෂ්‍යා ,ක්‍රෝධ ආදී විවිධ අකුසල සිතිවිලි තමා විනාශ කිරීමට පැමිණි සතුරන් බඳුය.ස.නි. චිත්ත සූත්‍රය තුළින් සිත මත මුළු ලෝකයම පිහිටා ඇත යනුවෙන් සිත පිළිබඳ විවරණයක් කර ඇත.සිත පිරිසුදු කර ගැනීමෙන් යහපත් ප්‍රතිඵලත් සිත අපිරිසුදු කර ගැනීමෙන් අයහපත් ප්‍රතිඵලත් ලැබීම චිත්ත න්‍යාමයයි. ඒ අනුව සිත පවිත්‍ර කර ගැනීම නිරන්තරයෙන් සිදු කළ යුතු කාර්යකි.

එය කළ හැක්කේ අනුනට නොව තමන්ටමය. එයට හේතුව තම සිත පිළිබඳ විනිවිද දැකිය හැක්කේ තමාට පමණක් වීමය. පුහුදුන් වැසියන් වශයෙන් අප කාගේත් සිත් තුළ නිරන්තරයෙන් අකුසල පහත් ළාමක සිතිවිලි පැන නැගෙනු ඇත. බුදුරජාණන් වහන්සේ රහසින්වත් පව් නොකළ උත්තමයෙකි. නමුදු පුහුදුන් ජනයා රහසින්, සැඟවුන සිතින් අනන්ත අප්‍රමාණ පව් සිදු කර ගනු ඇත. එයට හේතුව සිතක් ඇතිව නැතිව යන කාලය ඇසිපිය හෙලන කාලයෙන් කෝටි ලක්‍ෂ ගණනකින් කොටසක් තරමට අල්පවීමය.

එක සිතත් ඉපිද නැතිවනවාත් සමඟම ඒ ක්‍ෂණයෙහිම අලුත් සිතක් පහළ වීම සිතෙහි ස්වභාවයයි. අභිධර්මය තුළ වැඩි දුරටත් සිත හා සිතිවිලි පිළිබඳ විස්තර කර ඇත.

සිතත් සිතිවිලිත් හරියට ගසත් පොත්තත් සේ අන්‍යෝන්‍ය වශයෙන් බැඳී පවතී. ලොව දෙවියෙක්, මනුෂ්‍යයෙක්, යක්‍ෂයෙක්, බුදු කෙනෙක් වන්නේ මනුෂ්‍යයාමය. එලෙස විෂම බවක් පවතින්නේ මෙම සිත අපවිත්‍ර කර ගැනීම හා පිරිසුදු කර ගැනීම තුළිනි. “ සිතට අවශ්‍යනම් අපාය තුළ දෙව්ලොවක්ද,දෙව්ලොව තුළ අපායක්ද මැවිය හැකිය.ජෝන් මිල්ටන් නම් කවියා සඳහන් කර ඇත්තේ ඒ අයුරිනි.

නවීන වෛද්‍ය විද්‍යාව තුළ වුවද සිතේ නිරෝගිතාව කායික නිරෝගිතාවයට ඍජුවම බලපාන බව සොයාගෙන ඇත. නිරන්තරයෙන් සිත පිළිබඳ හැරී බැලීම වැදගත් වේ. ඒ තුළින් සිත නිරෝගීමත් කර ගැනීමටත් චිත්ත ශක්තිය දියුණුකර ගැනීමටත්, සිත පාලනය කර ගැනීමටත් කෙලෙසුන් නැසීමටත් පුළුවන් කමක් ඇත. ඒ සඳහා අප සැම කෙනෙක්ම කැඩපතකින් මුහුණ බලා මුහුණ ලස්සන කර ගන්නවා සේ සිත නමැති කැඩපත දෙස බලා පවිත්‍ර සිතිවිලි වලින් සිත ලස්සන කර ගැනීමට උත්සාහ කරමු.

 

 

ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය දෙසැම්බර් මස 12 වැනි දා බදාදා අපරභාග 05.56 ට ලබයි.13 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 02.13 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම දෙසැම්බර් 12 වැනිදා
 බදාදා ය.
මීළඟ පෝය
දෙසැම්බර් 20 වැනි බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

දෙසැම්බර් 12

First Quarterපුර අටවක

දෙසැම්බර් 20

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 27

Second Quarterඅව අටවක

ජනවාරි 05


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]