UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

විමසීමේ නිදහස

විමසීමේ නිදහස

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
මිත්තේ භජස්සු කල්‍යාණේ
පන්තඤ්ච සයනාසනං
විවිත්තං අප්ප නිග්ඝෝසං
මත්තඤ්ඤු හෝහි භොජනෙ

පින්වත්නි,

කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්න; ජනාකීර්ණ නොවු, ජනයාගේ ඝෝෂා නැති ප්‍රාන්ත සේනාසන ඇසුරු කරන්න; භෝජනයෙහි පමණ දැනගෙන වළඳන්න යනු ඉහත සඳහන් ගාථාවේ අදහසයි.

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩවෙසෙන සමයෙහි මෙම වීමංසක සූත්‍ර දේශනාව පැවැත්වූ සේක. මෙහි සඳහන් වන්නේ ලෝකයෙහි පහළ වූ කිසිම ශාස්තෘවරයෙකු නො දෙසූ කරුණකි. එනම්, තමන්ගේ අඩු පාඩු ඇත්කම් විමසා බලන ලෙස තම ශ්‍රාවකයන්ට පැවසීමයි. තථාගතයන් වහන්සේ ශ්‍රාවකයන්ට එම පැවරීම කළ සේක. වීමංසකයෝ තුන් දෙනෙකි. එනම් අර්ථ වීමංසක, සංස්කාර වීමංසක සහ ශාස්තෘ වීමංසක යනුවෙනි. අර්ථ වීමංසක නම් දහම් කරුණු පිළිබඳ අර්ථ විමසීමයි. සංස්කාරයන් පිළිබඳ යථාවබෝධය ලබාගැනීම සඳහා විමසීම සංස්කාර වීමංසක නමි. තම ශාස්තෘවරයන් වහන්සේගේ කාය වාග් ක්‍රියාවන්ගේ නිරවද්‍යතාව විමසීම ශාස්තෘ වීමංසක නම් වේ.

අනුන්ගේ සිත්සතන් පිළිබඳ අවබෝධයක් නැති, එහෙත් විමසීමෙන් යම් තරමක් දුරකට ඒ අවබෝධය ලබාගත හැකි ශ්‍රාවකයා තථාගතයන් වහන්සේ ඇසින් රූප දැක කනෙන් ශබ්ද අසා ක්ලේශ ධර්මයන් නූපදවන බව, උන්වහන්සේට කෙලෙස් නැති හෙයින්ම දත යුතුය. තවදුරටත් විමසන විට කණ්හ නමින් හඳුන්වන පව්කම් හා සුක්ක නමින් හඳුන්වන පින් උන්වහන්සේට නැතැයි වටහා ගනී. උන්වහන්සේට ඇසින් දකින දේ පිළිබඳත් කනෙන් අසනදේ පිළිබඳත් යථාවබෝධයක් ඇති බව වටහා ගනී. තථාගතයන් වහන්සේ බොහෝ කලක සිට සියලු කුසල් පුරුදු පුහුණු කරන ලදැයි වටහා ගනී. බොහෝ කලක සිට මහත් පිරිවර ලැබුවත් එයින් මානයට අතිමානයට පත් නොවූ බව වටහා ගනී. එසේම බියට නො පැමිණෙන බවත් කාම සම්පත් දුරු කළ හෙයින් වීතරාගී බවත් වටහාගනී.

තථාගතයන් වහන්සේ පිරිස් සහිතව වැඩසිටියත් හුදෙකලාව සිටියත් ආමිෂයට ගිජුව, ආමිෂය සොයමින් එහි ගැලී නොසිටින බව වටහාගනී. ආමිෂයෙහි ඇලෙන පිරිසත් නො ඇලෙන පිරිසත් යන දෙ පිරිස කෙරෙහි එක සමාන කරුණා මෛත්‍රියක් දක්වති. තමා වධයට උත්සාහ කළ දෙව්දතුන්ටත්, මැරීමට කඩුව අමෝරා ලුහු බැඳ ආ අංගුලිමාලටත් මැරීමට පැමිණි ධනපාල හස්තියාටත් තම ඖරස පුත්‍ර රාහුල කුමරුවාටත් එකසේ කරුණා මෛත්‍රිය දැක්වූ සේක. මෙසේ සමහරු හේතු සාධක විමසා දැනගනිති. අයෙක් ශාස්තෘවරයාගෙන් විමසා දැනගනිති. බුදුරදුන්ගෙන් විමසූ විට කෙලෙස් දහම් නැති බව ප්‍රකාශ කෙරෙති. සීල පරිශුද්ධත්වය ඇතත් එහි ඇලීමෙක් නැත. මෙසේ ශාස්තෘන් වහන්සේ ගැන විමසනවුන්ට බුදුරජාණන් වහන්සේ දම් දෙසති. ඒ ධර්මය අවබෝධ කර ගන්නා ශ්‍රාවකයා බුදුරදුන් සම්‍යක් සම්බුද්ධ යැයි උන්වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් පහදී.

‘දස්සනේන සම්පන්නෝ’ යනුවෙන් කියැවෙන්නේ සෝවාන් මාර්ග ඥානය යි. එම දර්ශන සම්පත්තිය ලැබූ විට බුදුරදුන් කෙරෙහි අචල ප්‍රසාදය ඇතිවෙයි. එම ශ්‍රද්ධාව දෙවියකුට, බඹකුට හෝ මාරයකුට බිඳලිය නොහැකිය. සෝවාන් මග ඵල ලබාගත් පුද්ගලයා තම දිවි යතත් මිථ්‍යාදෘෂ්ටියක් නො ගනී. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා , සීලබ්බතපරාමාස යන සංයෝජන තුන සෝවාන් වීමේදී බැහැරවන බැවිනි. මෙම සෝවාන් ආදි මග ඵල ලබාගැනීමට උපකාරවත් වනුයේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයයි. මෙම සූත්‍රයෙහි ‘ද්වීසු ධම්මේසු තථාගතො සමන්නේසිතබ්බෝ’ යන්නෙන් කල්‍යාණ මිත්‍ර ආශ්‍රය පිළිබඳ දක්වා ඇත.

දිනක් අනඳ තෙරුන් විවේකීව වැඩසිටින විට මෙබඳු අදහසක් පහළවීය. එනම්, ශාසනයේ අඩක් පවතින්නේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය නිසාය යනුවෙනි. එසේ කල්පනා වූ උන්වහන්සේ තම අදහස බුදුරදුන්ට ද දැන්වූහ. එවිට බුදුරජාණන් වහන්සේ දේශනා කරන සේක්, ආනන්දය එසේ නොකියව. කල්‍යාණ මිත්‍රයන් ඇති බවත්, කල්‍යාණ මිත්‍ර සහායයන් ඇති බවත්, කල්‍යාණ මිත්‍රයන් කෙරෙහි නැමුණූ බවත් සියලු මාර්ග බ්‍රහ්මචරියාව ඇතිකරන්නේය.ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්නේය. ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුලව පුරුදු කරන්නේය. එනිසා සම්‍යක් දෘෂ්ඨීයෙහි පිහිටයි. සම්‍යක් සමාධිය වඩයි. නිර්වාණාවබෝධයට උපනිශ්‍රය වන බාහිරාංග අතුරෙන් කල්‍යාණ මිත්‍ර සේවනය තරම් අන් කරුණක් නැතැයි දක්වා වදාළ සේක. එබැවින් ශාසනය අඩක් නොව සම්පූර්ණයෙන්ම පවතින්නේ කල්‍යාණ මිත්‍රයන් හෙයිනැයි දෙසූ සේක.

පාප මිත්‍රයන්ගේ ආශ්‍රය නිසා මහා ධන සිටු පුත්‍රයාට පැවැති නිවන් දැකීමේ වාසනාව නැතිවී ගියේය. දෙව්දත් තෙරුන්ගේ ආශ්‍රය නිසා අජාසත් කුමරුට පැවැති සෝවාන් වීමේ වාසනාව නැතිව ගොස් පීතෘඝාතක කර්මය නිසා අපාගත වන්නට සිදුවිය. බොහෝ අය පාපමිත්‍ර ආශ්‍රයට වැටි මෙලොව සම්පතින් පිරිහී මරණින් මතු අපාගත වී දුක් විඳිති. නිවන් සැපත ලැබීමට පමණක් නොව මෙලොව සැප සම්පත් ලැබීමටද හේතු වන්නේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයයි. අපාය සහාය, අනුප්පියභාණි, අඤ්ඤදත්තුහර සහ වචීපරම ආදි පාප මිත්‍රයන් ගැන බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේ දී පෙන්වා වදාළ සේක.

රහතුන් වහන්සේට කිසි බියක් නැත. ආශාවන් සම්පූර්ණයෙන්ම දුරුකොට ඇති හෙයිනි. එහෙයින් ‘අභයූපරතෝ’ නම් වෙයි. භය සතරෙක් ඇත. ක්ලේශ භය, සංසාර භය, දුග්ගති භය සහ උපවාද භය යනුවෙනි. පෘථග්ජන සත්වයෝ මේ සතර භයින්ම බියට පත්වෙති. ශෛක්ෂයන්ට ඇත්තේ බිය තුනෙකි. උන්වහන්සේට දුර්ගති භයක් නැත. ක්ෂීණාශ්‍රවයන් වහන්සේට බියක් ඇත්තේ නැත. පරඋපවාද බිය නැතත් බොහෝ ජනයාට අනුකම්පාවෙන් ක්‍රියා පවත්වති.

මුලුප්පලවාපී විහාරයෙහි තෙරුණුවෝ ගමට පිඬු සිඟා වැඩියහ. උපස්ථායක කුලගෙදරට පැමිණි විට ආසනයක් පනවා උන්වහන්සේ වඩා හිඳුවා, දුවණිය ඒ පිලේම මිටි අසුනක හිඳගත්තීය. තව භික්ෂුවක පිඬු පිණිස පැමිණි විට උන්වහන්සේ දුටුවේ ගැහැනියක සමඟ එකට වාඩිවී සිටින අයුරෙකි. භික්ෂූ තෙම මෙසේ සිතීය. “ මේ භික්ෂුව විහාරයේදි උපශාන්තව සිටී. ඇතුළු ගමට පිඬුසිඟා විත් මාගමුන් සමඟ එකට වාඩිවී හිඳියි.

එසේ සිතා තෙරුන් බත්කිස නිමවා විහාරයට පැමිණ තම කුටියට පිවිසි විට එම සද්ධිවිහාරික භික්ෂුව තෙරුන්ට අවමන් කොට විහාරයෙන් නෙරපමි’යි සිතා තෙරුන් වසන තැනට ගොස් අසංවරව පරිභෝග දිය කළයෙන් දිය ගෙන මහත් ශබ්ද නඟමින් පා දෙව්වේය. තෙරුණුවෝ සද්ධිවිහාරික භික්ෂුව අසංවරව හැසිරීමට හේතු දැන, මේ තෙමේ මා කෙරෙහි අපැහැදී අපාගතවේ ය’යි සිතා අහසට පැන නැඟී කැණිමඬල සමීපයෙහි පලක් බැඳගෙන වැඩහුන්හ. භික්ෂුව දොරහැර බලා තෙරුන් නො දැක ආපසු යන්නට සුදානම් වන විට තෙරණූවෝ උගුර පාදා ශබ්ද කළහ. සද්ධිවිහාරික භික්ෂුව ‘ඔබ වහන්සේ මෙසේ ආනුභාව සම්පන්නව සිටියදී මාගමුන් සමඟ එකම අසුනේ සිටින්නේ ඇයිදැ’යි විමසීය. තෙරුණූවෝ ‘ඔබ වැරැදි ලෙස දැක ඇතැ’ යි කරුණ පහදා දුන්හ.මෙසේ රහතන් වහන්සේ පරානුකම්පාවෙන් උපවාද පිළිබඳ ඉවසති.

ශ්‍රද්ධාව ආකාරවතී සද්ධා සහ අමූලිකා සද්ධා වශයෙන් දෙ පරිදි වේ. කරුණූ දැන ඇතිවනුයේ ආකාරවතී ශ්‍රද්ධාවයි. අමුලිකා ශ්‍රද්ධාව ගුණ නොදැන ඇසූ දුටු පමණින් ඇතිවන ශ්‍රද්ධාවයි. සෝවාන් මාර්ග ඵල ලාභී උත්තමයන්ට ඇතිවනුයේ ආකාරවතී ශ්‍රද්ධාවයි. එම ශ්‍රද්ධාව කිසිලෙසකින් කවර කුටවත් වෙනස් කළ නො හැකිය.

සූරම්බට්ඨ, තථාගතයන් වහන්සේගෙන් බණ අසා සෝවාන් මග ඵල ලබාගෙන නිවෙසට පැමිණියේය. ඒ දුටු මාරයා ඔහුගේ ධර්මාවබෝධය වැළැක්වීමට සිතා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ, අසූවක් අනුව්‍යඤ්ජන ලක්ෂණවලින් සමන්විත බුද්ධවේශය මවාගෙන දොරකඩ සිට ශාස්තෘන් වහන්සේ පැමිණියේ යයි පණිවිඩයක් යැවීය. සූරම්බට්ඨයෝද පැමිණ වැඳ නමස්කාර කොට නැවත වැඩම කළේ කුමක් නිසා දැ’ යි විමසූහ.

එවිට බුද්ධවේශයෙන් සිටින මාරයා , “ සූරම්බට්ඨය, මා නුඹට ධර්මදේශනා කරන විට පැවසුයේ සියල්ල අනිත්‍යයි, දුකයි, අනාත්මයි යනුවෙනි. එසේ කිවේ වැරැදීමකිනි. ඔබේ ආත්මය නිත්‍යයි. එය වෙනස් නොවේ යයි සිතට ගන්න “ යයි කීවේය. එවිට සුරම්බට්ඨ , ‘අද්වෙජ්ජ වචනා බුද්ධා’ බුදුවරයෝ නම් වචන දෙකක් නැත්තෝය. නො විමසා ප්‍රත්‍යක්‍ෂ නො කොට කිසිවක් නො වදාරති. ඒකාන්තයෙන්ම මේ මාරයා වනැ’යි සිතා ‘ නුඹ මාරයා නොවේදැ’යි විමසීය. මාරයාට කරකියා ගත හැකි දෙයක් නැතිව ‘ඔව්, මම මාරයා ‘ යයි කියා අතුරුදන් විය.

සෝවාන් පුද්ගලයෝ ගති නියතයෝය. ‘නතේ භවං අට්ඨමං ආදියන්ති’ අට වැනි භවයක් නම් නොගනිති. මෙම සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේගේ කායික, වාචසික ක්‍රියා පිළිබඳ විමසා උන්වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කරගන්නා ආකාරය පැහැදිලි කොට ඇති අතර, කල්‍යාණ මිත්‍ර ආශ්‍රය සහ සෝවාන් මග ඵල ලබාගැනීම පිළිබඳ කරුණු පැහැදිලි කොට ඇත.

 

ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය දෙසැම්බර් මස 12 වැනි දා බදාදා අපරභාග 05.56 ට ලබයි.13 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 02.13 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම දෙසැම්බර් 12 වැනිදා
 බදාදා ය.
මීළඟ පෝය
දෙසැම්බර් 20 වැනි බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

දෙසැම්බර් 12

First Quarterපුර අටවක

දෙසැම්බර් 20

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 27

Second Quarterඅව අටවක

ජනවාරි 05


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]