UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

හරුමල්ගොඩ කාස්සප නා හිමි

ගාලු කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක හබරාදුව වැලි කොන්ද ශ්‍රී සන්දස්නාරාමය හා හරුමල්ගොඩ මණ්ඩලාරාම යන උභය විහාරාධිපති විශ්‍රාමලත් විදුහල්පති ශාස්ත්‍රපති හරුමල්ගොඩ කාස්සප නා හිමියන්ගේ සිය දිවිගමන් මගේ හැටනව වැනි උපන් දිනය පසුගිය නොවැම්බර් 04 දාට යෙදී තිබුණි.

හබරාදුව හරුමල්ගොඩ ග්‍රාමීය ප්‍රදේශයේ ගල්බොක්කේ හේවගේ තෝමස් හා අපරැක්කේ හින්නි මෝනා යන මව්පියන්ට දාව 1943 නොවැම්බර් මස හතර වැනි දින උපත ලැබූහ.

හරුමල්ගොඩ කනිටු විද්‍යාලයෙන් හා කටුකුරුන්ද ධාර්මික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ මෙම කුමරුවා නිසි වයස එළඹෙද්දී හරුමල්ගොඩ මණ්ඩලාරාමාධිපතිව වැඩ විසූ ශ්‍රී අමරපුර කල්‍යාන වංශ මහා නිකායේ මහානායක හරුමල්ගොඩ ආරියවංශ නා හිමියන්ගේ ආචාර්යත්වයෙන් 1954 නොවැම්බර් 08 දින හරුමල්ගොඩ මණ්ඩලාරාම විහාරස්ථ පුන්‍ය භූ®මියේදී හරුමල්ගොඩ කාස්සප යන නමින් සසුන් ගතවූහ.

වැඩිදුර අධ්‍යාපනය සඳහා ගාල්ල විද්‍යාලෝක මහපිරිවෙනෙන් උසස් පෙළ සමත් වී විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළත් වී පාලි, සංස්කෘත ආදි භාෂාවන් හදාරා ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගැනීමට සමත් වූ කාස්සප හිමියෝ කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වී ශාස්ත්‍රපති උපාධියද ලබාගෙන ලංකා විවෘත විශ්වවිද්‍යාලයට ඇතුළත් වී අධ්‍යාපන ඩිප්ලෝමා පශ්චාත් උපාධියද සමත්වීමෙන් පසුව ප්‍රාචීණ ප්‍රාරම්භක, මධ්‍යම විභාගය සමත් වූ උන්වහන්සේ රත්මලාන ගුරුවිදුහල් පිරිවෙනේ ගුරුපුහුණුව ලැබ පිරිවෙන් ගුරුවෘත්තියට ඇතුළත් වූහ.

1964 වසරේ දොඩන්දූව ශෛල්‍ය බිම්බාරාම මහා විහාරස්ථ සීමා මාලකයේදී හරුමල්ගොඩ ආරියවංශාභිධාන හිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් උප සම්පදා ශීලයෙහි පිහිටවනු ලැබූහ.

1969 පිරිවෙන් ගුරුවෘත්තියට අවතීර්ණ වූ උන්වහන්සේ තිස්ස දෙබරවැව මහාරාම ශ්‍රී දීපංකර පිරිවෙන් උපගුරුවරයෙකු වශයෙන් පත්වී 1969 සැප්තැම්බර් මස මුල් සතියේ තංගල්ල ගෞතම මාලා විද්‍යාල පිරිවෙනේ වසර 07 සේවය කර 1976 නොවැම්බර් මස 01 දින රජයේ ගුරු සේවයට එක්වී තංගල්ල රාහුල මහා විද්‍යාලයේ ගුරුවරයෙකු වශයෙන් පත්වී එම විද්‍යාලයේම නියෝජ්‍ය විදුහල්පති ලෙස 1984 දක්වා සේවයකර හුංගම විජයබා ජාතික පාසලේ 07 වසරක් සේවය කළ උන්වහන්සේ තම ගම් ප්‍රදේශයේ පාසලක් වූ තමා මූලික අධ්‍යාපනය ලැබූ කටුකුරුන්ද කාර්මික මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ලෙස හා විශ්‍රාම යන තුරු විදුහල්පති ලෙසද සේවය කරමින් අධ්‍යාපනය වෙනුවෙන් අමිල සේවාවක් ඉටුකළ උන්වහන්සේ 2003 වසරේ ගුරු සේවයෙන් විශ්‍රාම ලැබූහ. සිය ගුරු දේවයන් වහන්සේගේ අපවත්වීමෙන් පසු මණ්ඩලාරාම විහාරස්ථානයේ විහාරාධිපති තනතුරට පත්වූහ. දෙමහල් ගොඩනැගිලි සමග මේ වන විට අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කිරීමට උන්වහන්සේ සමත්වූහ. සිය ගුරුදේවයන්ට උපහාරයක් වශයෙන් ආරම්භ කළ ආරියවංශ දහම් පාසලේ ප්‍රධානාචාර්ය ලෙස පත්වූ උන්වහන්සේ ප්‍රදේශයේ දරුදැරියන්ට දහම් දැනුම ලබා දෙන තෝතැන්නක් බවට පත්වී ඇත.

සිය නිකායේ කාරක සංඝ සභික ධුරයට පත්වූ උන්වහන්සේ ඉටුකරන ආගමික හා සාමාජික සංස්කෘතික සේවාවන් අගයා සිය නිකාය මගින් ගාලු කෝරලේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධුරයෙන් පිදුම් ලැබූහ.

උන්වහන්සේ හබරාදුව සමථ මූල මණ්ඩලයේද වසර 10 ක් පමණ කාලයක් සේවය කර ඇති අතර, බුදු දහමේ හා සඟ සසුනේ ඉදිරි පැවැත්ම සඳහා උගත් බුද්ධිමත් ශාසනලැදි ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා 12 නමක් රටට දායාද කර තිබීමද සතුටට කරුණකි.

ලෝකයේ රටවල් කිහිපයක ධර්මදූත සේවයේ යෙදී ඇති හරුමල්ගොඩ කාස්සප නාහිමියන්ගේ 69 උපන්දිනය සමරා විහාරස්ථානයේදී බෝධි පූජා, පිරිත් දේශනා ඇතුළු පින්කම් මාලාවක් පවත්වා උන්වහන්සේට සෙත් පැතූ®හ.


උපුල්දෙණියේ ශ්‍රී මේධානන්ද නා හිමි

අනුරාධපුර උපුල්දෙණිය ග්‍රාමයේ දී 1941 දෙසැම්බර් 22 වැනි දින පින්වත් මව්පිය දෙපළ පින්වත් කුමරකු බිහි කළහ. ඒ කුමරා උපුල්දෙණිය මහා විද්‍යාලයේ මූලික අධ්‍යාපනය හැදෑරීය. 1951 නොවැම්බර් 02 වන දින ශ්‍රී සීලානන්ද නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් උපුල්දෙණිය මේධානන්ද නමින් පැවිදි විය. මූලික පිරිවෙන් අධ්‍යාපනය සඳහා ගම්පහ දොරණාගොඩ සදානන්ද පිරිවෙනට ඇතුළත් වූහ. උන්වහන්සේ විසි වයස් සම්පූර්ණ කර 1961 ජූලි මස 10 වන දින මහනුවර මල්වතු මහා විහාරයේ දී උපසම්පදා වූහ. කැලණිය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට ඇතුළත්ව 1968 දී සාමාන්‍ය ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්හ.

විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු උන්වහන්සේ නිට්ටඹුව නාපාගොඩ ත්‍රිපිටකෝදය මහ පිරිවෙනෙහි උපගුරු තනතුරකට පත්වූහ. 1976 සිට උප ගුරුවරයකු වශයෙන් උපුල්දෙණිය මහා විද්‍යාලයෙහිත් ගලෙන්බිඳුණු වැව මහා විද්‍යාලයේත්, නිට්ටඹුව බෞද්ධ මහා විද්‍යාලයේත් සේවය කළ උන් වහන්සේ 1996 දී ගුරු සේවයෙන් විශ්‍රාම ලබා ගත්හ.

උපුල්දෙණිය උප්පලාරාම විහාරස්ථානය ඉදිකර ධර්මශාලාවක් චෛත්‍යයක් සහ බෝධි ප්‍රාකාරයක් ද කරවූහ. 1975 දී උපුල්දෙණිය සීලානන්ද නමින් දහම් පාසලක් පෙර පාසලක් ද ආරම්භ කළහ. 1983 දී ගලෙන්බිඳුණු වැව, හුරුළු වැව ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී තනතුර ද, 1993 දී හුරුළු වැව විහාරාධිපති සංගමය පිහිට වූ උන්වහන්සේ එහි ද ලේඛකාධිකාරී තනතුර ද අනුරාධපුර මහා විහාර සංඝ සභාවේ ලේඛකාධිකාරී වශයෙන් ද සේවය කළහ.

විශාල ආගමික මෙන්ම සමාජ සේවාවක් ඉටුකළ උන්වහන්සේ 1996 වර්ෂයේ දී හුරුළු පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක තනතුරට ද 2002 දී හුරුළු පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක තනතුරට ද පත්ව සාම විනිසුරු පදවියෙන් ද පිදුම් ලැබූහ.

හිඹුටුගොල්ලෑව ශ්‍රී දේවානන්ද පුරාණ රජ මහා විහාරය, පෙරිය කුලම අශෝකාරාමය, කරවක්කුලම බෝධිමළු විහාරය, උල්පතගම ශ්‍රී ගංගාරාමය, මහ කැලෑගම ශ්‍රී සුගතාරාමය, සහ උපුල්දෙණිය උත්පලාරාමය යන විහාරස්ථානයන්හි අධිපති ධුර හොබවන්නේ ද නායක හිමියෝ ය.

2012 දෙසැම්බර් මස 22 වන දිනට වසර හැත්තෑ එකක් සම්පූර්ණ කරන උපුල්දෙණිය ශ්‍රී මේධානන්ද නාහිමියන්ට නිදුක් නීරෝගි සුවයත් දීර්ඝායුෂත් ත්‍රිවිධ රත්නයේ පිහිට සහ සියලු දේව ආරක්‍ෂාව ලැබේවා.


මඩපාත ශ්‍රී ධම්මාලෝක නා හිමි

සිය ජීවිතයේ ගත වූ කාලය ගැන සිහිපත් කර නිරාමිස පී‍්‍රතියක් ලැබිය හැකි නම් එම පුද්ගලයා සාර්ථක දිවියක් ගෙවූ පුද්ගලයෙකු ලෙස සමාජයේ අන් අය විසින් ද සලකනු ලැබේ. තමන්ගේ මෙලොව, පරලොව සුබ සිද්ධිය උදෙසා පමණක් නොව තම ආගම ධර්මය ,ජාතිය,දේශය, සමාජය කෙරෙහි ද අකුටිලව, අවංකව, අව්‍යාජව , නිස්සරණාධ්‍යාසයෙන් සේවාවක් කරන ගිහි හෝ පැවිදි පුද්ගලයන් විරල අප රටේ අතිගරු මඩපාත ධම්මාලෝක නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට ලැබෙන්නේ සුවිශේෂී ස්ථානයකි.

අඩසිය වසරකටත් වැඩි කාලයක් තිස්සේ සම්බුද්ධ ශාසනයටත්, රටටත්, සමාජයටත් මඩපාත ධම්මාලෝක නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් කරන ලද සේවාව ඇගයීමකට ලක් කළහොත් උන්වහන්සේ මෙම යුගයේ වැඩ සිටිය යුතු මහ තෙරපාණන් කෙනෙකි.

කොළඹ දිසාවේ, සල්පිටි කෝරලයෙ, මඩපාත නම් ගම් පියසේදි නාහිමිපාණෝ උපත ලදහ. ළමා කාලය ගත කළ මේ කුල දරුවා බෝකුන්දර පරමධම්ම නිකේතනාරාමයේ වැඩ සිටි සාර්වභෞම නිවන්තිඩියේ සද්ධානන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් පැවිද්ද ලබා ගත්හ.

නාහිමිපාණන් වහන්සේ මූලික අධ්‍යයන කටයුතු සිදුකර ඇත්තේ ලක්දිව ප්‍රකට පරිවේනස්ථානයක් වූ රත්මලාන පරමධම්මචේතිය පිරිවෙනිනි. ඉන් පසුව උසස් අධ්‍යාපනය සඳහා කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය මහ පිරිවෙනට ඇතුළත්ව එවකට ඉගෙනුමෙහි යෙදුණ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා අතර දීප්තිමත් ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ කෙනෙකු වශයෙන් ක්‍රියාකර ඇත.

උපසම්පාදවට පත් නාහිමිපාණෝ හතළිහේ දශකයේ අගභාගයේදි පිරිවෙන් අධ්‍යාපනය අවසන් කොට කටුවාවල පරමධම්ම විසුද්ධාරාමයට වැඩම කර ඇත. තම ගුරුදේවයන් වහන්සේ වන සාර්වභෞම නිවන්තිඩියේ ශ්‍රී සද්ධානන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ඒ වන විට අරඹා තිබුණ ශාසනික මහා සේවයට සෙවණැල්ලක් වෙමින් තම ගුරුදේවයන් සමග ලෝක ශාසනික සේවාවෙහි නිරත වී ඇත.

පනහ දශකයේ තම ගුරු දේවයන් සමග එක් වී, උන්වහන්සේ ගේ මග පෙන්වීම මත කටුවාවල විහාරස්ථානයෙහි ධර්ම විද්‍යාලයක් ආරම්භ කරන්නේ එවකට සිටි අග්‍රවිනිශ්චයකාර හේම බස්නායක මැතිතුමාගේ සහභාගිත්වයෙනි. මෙම ධර්ම විද්‍යාලය මගින් පළාතට අවශ්‍ය කරන ගුණ නැණයෙන් යුක්ත විශාල ශිෂ්‍ය පිරිසක් ඇති කර ඇත.වර්තමානයේද මෙම ධර්ම විද්‍යාලය කැස්බෑව ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ සුවිශේෂී ස්ථානයක් ගෙන කටයුතු කරනු ලබයි.

සිය ගුරුදේවයන් වහන්සේගේ අපවත් වීමෙන් පසුව කටුවාවල පරමධම්ම විසුද්ධාරාම විහාරස්ථානයෙහි ආධිපත්‍යයට පත් වන මඩපාත ධම්මාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිය විහාරස්ථානය අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කිරීමට යුහුසුළුව කි‍්‍රයා කළහ. ඒ අනුව දෙස් විදෙස් හි ප්‍රකට සිද්ධස්ථානයක් මෙන්ම පුණ්‍ය භූ®මියක් ලෙස කටුවාවල විහාරස්ථානය පත් කරනු ලැබුයේ අප නාහිමිපාණන් වහනසේ විසිනි. ඒ සඳහා උන්වහන්සේ අප්‍රතිහත ධෛර්යයෙන් හා නොපසුබස්නා වීර්යයෙන් ක්‍රියා කළහ.

විචිත්‍ර භාණකත්වයෙන් හා සුපේශල සංඝශෝභනයෙන් යුක්තව කටයුතු කළ මඩපාත ධම්මාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආගමික, සාමාජික හා ජාතික සේවාව අගය කළ කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාව රත්මලාන විහාර පාර්ශ්වයේ උප ප්‍රධාන සංඝ නායක පදවියට උන්වහන්සේ පත් කරන්නට යෙදුණි.

මඩපාත ධම්මාලෝක නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිදු කළ විශිෂ්ට සේවය නම් තමන්ගේ ඇවෑමෙන් ශාසන සේවය ඉදිරියට කරගෙන යෑම සඳහා සවිබල සම්පන්න ශිෂ්‍ය පිරිසක් ඇති කිරීමයි. ඒ අතර වර්තමාන විහාරාධිපති සීනිපැල්ලේ චන්දාරාම ලොකු හාමුදුරුවන් වහන්සේ, කැස්බෑව ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරි ගොම්බද්දල දමිත හිමියන් සඳහන් කළ යුතුය.

මෙවැනි උදාර සේවාවක නිරතව වැඩ වාසය කළ මඩපාත ධම්මාලෝක නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දැනට වසර 14 කට පෙර අපවත් වී වදාළහ. ඒ වෙනුවෙන් ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා හා විහාරස්ථ කාර්ය සාධක සමිතිය, උපාසිකා සමිතිය ප්‍රධාන ගම්වාසී දායක පිරිස එක් වී මෙම දෙසැම්බර් මස 6, 7, 8, 9 දිනයන් හි විශේෂ පින්කම මාලාවක් සංවිධානය කළහ. එම උතුම් පින් බෙලෙන් අපවත් වී වදාළ මඩපාත ධම්මාලෝක නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිවන් සුව අත්වේවා.!

 

ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය දෙසැම්බර් මස 12 වැනි දා බදාදා අපරභාග 05.56 ට ලබයි.13 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 02.13 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම දෙසැම්බර් 12 වැනිදා
 බදාදා ය.
මීළඟ පෝය
දෙසැම්බර් 20 වැනි බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

දෙසැම්බර් 12

First Quarterපුර අටවක

දෙසැම්බර් 20

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 27

Second Quarterඅව අටවක

ජනවාරි 05


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]