UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නිසි අයුරින් වඳිමු පුදමු

බුදුරජාණන් වහන්සේ දේශනා කළ වදාළ දස පුණ්‍ය ක්‍රියාවන්ගෙන් ‘වෙයියාවච්ච’ යන්නට මුල් තැනක් හිමිවනවා. සරලව පවසනවා නම් වත් පිළිවෙත් පැවැත්වීම මේ නමින් හඳුන්වනවා. උපචාර විධි නමින් ද අප හඳුන්වන්නේ එයයි.

සෑම ආගම දහමකටම වත් පිළිවෙත් තිබෙනවා. එය පුණ්‍ය ක්‍රියාවක්. දස පුණ්‍ය ක්‍රියා දෙස සලකා බැලීමේ දී දාන, සීල, භාවනා, පත්තිදාන, පත්තානුමෝදනා, වෙයියාවච්ච, අපචායන ධම්ම දේශනා, ධම්ම සවණ, දිට්ඨිජුකම්ම හඳුන්වා දෙන්න පුළුවන්. මෙයින් සයවෙනුව දක්වා තිබුණත් වෙයියාවච්ච අපට වැදගත් වන්නේ සෙසු සියලු පුණ්‍ය ක්‍රියාවන්ට එය සෘජුවම අදාළ වීමයි. දානය සඳහා වෙන් වූ වත් පිළිවත් තිබෙනවා. සීලයටත් එසේමයි. භාවනාවටත් වත් පිළිවෙත් තිබෙනවා. වැඩිහිටියන්ට සලකනු ලබන වත් පිළිවෙත් තිබෙනවා.

ඒ සියලු පුණ්‍ය ක්‍රියාවන්ගේ පිළිවෙළ සකසා දෙනවා. දස පුණ්‍ය ක්‍රියා අතර පළමු තැන ගන්නා දානය බෞද්ධයින්ට අමුතුවෙන් හඳුන්වා දිය යුතු පින්කමක් නෙමෙයි. එසේ වුනත් බොහෝ දෙනෙක් වත් පිළිවෙත් නිසි ලෙස වටහාගෙන නැහැ.

දානමය පින්කමක් නිසි ලෙසින් පවත්වන්නට අපේ තරුණ පරපුර දැනුම්වත් කළ යුතු වනවා. බොහෝ තරුණ පිරිසට මේ ගැන නිසි අවබෝධයක් නැහැ. දානමය පින්කමක් සිදු කිරීමේ දී අප ප්‍රථමයෙන්ම විහාරස්ථානයට යා යුතුයි. එසේ යාමේ දී තමන් දිනයක් තීරණය කර ගන්නවාට වඩා පින්කම් කළ හැකි දින වකවානු ස්වාමීන් වහන්සේට දන්වා උන්වහන්සේටත් පහසු දිනයක් තෝරා ගැනීම අප විසින් කළයුතු වනවා.

එසේ විහාරස්ථානයට යාමේ දී අප කටයුතු කළ යුත්තේ කෙසේද? ඒ සඳහා අපට දැහැත් අතක් අවශ්‍යයි. තවත් විදිහකින් කියනවානම් දැහැත් වට්ටියක් අවශ්‍යයි. මේ දැහැත් අතට බුලත් කොළ 40 කින් යුක්ත විය යුතු වනවා.

වර්තමානයේ දී මෙය බුලත් කොළ 37 ක් විය යුතු බවට සාකච්ඡා වනවා. එසේ පවසන්නේ සන්තිස් බෝධි පාක්‍ෂික ධර්ම එයින් නිරූපණය වන බව පෙන්වීමටයි. එසේ කටයුතු කළහොත් අප මේ සමාජයේ මූලික පිළිගැනීමකට පහර දීමක් සිදු කලා වනවා. බුලත් අත බුදු දහමට සම්බන්ධවන ආකාරය අප දැනගත යුතුවනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයේ දන්ත ධාතූන් වහන්සේ හතළිස් නමක් වැඩ සිටි බව අප දන්නවා. එම ධාතූන් වහන්සේ හතළිස් නම නියෝජනය කරමින් අප බුලත් අතට කොළ 40 ක් ගනු ලබනවා. එසේ බුලත් කොළ 40 ක් මඟින් කරනු ලබන ආරාධනය සත්‍ය බව ඉන් හැඟවෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් කිසි දිනක අසත්‍යයක් පිටවී නැහැ. බුලත් කොළ 40 ක් නියෝජනය කරන්නේ එයයි. එසේම බුලත් අත නැත්නම් දැහැත් වට්ටිය පිළිගැන්වීමේ දීත් අප අවධානය යොමු කළයුතු චාරිත්‍රයක් තිබෙනවා. බුලත් කොළයේ නැට්ට පැත්ත සුබ කටයුත්තකදී නම් එය භික්‍ෂූන් වහන්සේ හෝ ලබන්නාගේ පැත්තට තිබිය යුතු වනවා. දල්ල පැත්ත තමන් දෙසට තිබිය යුතු වනවා.

අවමංගල්‍ය කටයුත්තක් සඳහා කරනු ලබන ආරාධනාවකදී නම් නැට්ට පැත්ත පිළිගන්වන්නා දෙසට යොමු විය යුතු වනවා. බුලත් පිළිගැන්වීමේ චාරිත්‍රය එයයි.

ධර්ම දේශනයකට, දානයකට නැතිනම් පිරිතකට ආරාධනා කිරීමේ දී බුලත් කොළයේ දල්ල පැත්ත තමන් දෙසට සිටින සේ පිළිගැන්විය යුත්තේ එම නිසයි.

මේ චාරිත්‍රය නොදැන විහාරස්ථානයට ගොස් බුලත් කොළයේ දල්ල පැත්ත භික්‍ෂූන් වහන්සේ දෙසට වන්නට පිළිගැන්වුවහොත් උන්වහන්සේ ‘කවුද මහත්තයො මැරුණේ’ කියා ඇසුවොත් අප පුදුම විය යුතු නැහැ. පිළිවෙත් අපට වැදගත් වන්නේ මේ නිසයි. සරලවම පවසන්නේ නම් චාරිත්‍ර හා වාරිත්‍ර වෙන් වශයෙන් අප අවබෝධ කර ගත යුතු වනවා.

චාරිත්‍ර වාරිත්‍ර යන්න පවා අද බොහෝ දෙනාගේ නිසි අවධානයට ලක් වී නැහැ. චාරිත්‍ර ලෙසින් අප හඳුන්වන්නේ වතාවන්හි කළ යුතුම යහපත් ක්‍රියාවන්ටයි. වාරිත්‍ර ලෙසින් අපට පවසන්නේ වැරැදි ක්‍රියාවන්ගෙන් වැළකී යහපත් ක්‍රියාවන්හි යෙදීමටයි. ඇතැම් අය සිතන්නේ වාරිත්‍ර යනු නොකළ යුතු දේ බවයි.

බුදුරජාණන් වහන්සේ අපට කළ යුතු යහපත් ක්‍රියාවන් දහයක් දස පුණ්‍ය ක්‍රියා නමින් හඳුන්වා දුන්නා. එමෙන්ම අයහපත් ක්‍රියාවන්ගෙන් වැළකී යහපත් ක්‍රියාවන්ගේ යෙදීමටත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එය වාරිත්‍ර ශීලයයි. මේ යටතේ දස කුසලයට අයත්වන ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකම් කිරීමෙන් වැළකීම, කම් වරදවා හැසිරීමෙන් වැළකීම, බොරුවෙන් වැළකීම, පරුෂ වචනයෙන් වැළකීම, හිස් වචනයෙන් වැළකීම, සම්පප්‍රලාපයෙන් වැළකීම, ලෝභයෙන් (අභිධ්‍යානයෙන්) වැළකීම ව්‍යාපාදයෙන් (තරහෙන්) වැළකීම, මිථ්‍යා දෘෂ්ටියෙන් (මෝහයෙන්) වැළකීම, සිදුකර කුසල් කටයුතුවල යෙදිය යුතු යි.

සරලව පවසනවා නම් ප්‍රාණඝාතයෙන් වැළකී අප ආදරය කිරීමට පෙළඹිය යුතු වනවා. කළයුතු මෙන්ම නොකළයුතු ක්‍රියාවන්ද මෙහි අඩංගු වන නිසා වත්පිළිවෙත් ලෙසින් මෙය හඳුන්වනවා. අප පෙර සඳහන් කළ පරිදි බුලත් අතක් නැත්නම් දැහැත් වට්ටියක් තැනීමේ දී ඊට අඩංගු කළ යුත්තේ මොනවාද?

පුවක්, හුණු, එනසාල්, වසාවාසි, කරාබු නැටි ආදියත් එහි අඩංගු කළ හැකියි. එහෙත් කුමන හේතුවක් නිසාවත් ඒ සඳහා දුම්කොළ භාවිතා නොකළ යුතුයි. දුම්කොළය බුලත් අතට කිසිසේත් සම්බන්ධ වුවක් නොවන බව අප වටහා ගත යුතු වනවා. මුළු ලෝකයෙන්ම දුම්කොළය ප්‍රතික්‍ෂේපිත දෙයක් බව අප සිහිතබා ගත යුතු වනවා. මේ අයුරින් පිළියෙල කරගත් දැහැත් වට්ටිද අප ස්වාමීන් වහන්සේට පූජා කර වන්දනා මාන කළ යුත්තේ කෙසේද?

වන්දනා මාන කළ යුතු ආකාර කිහිපයක් තිබෙනවා. අපට සිටගෙනම දෝත හිස මුදුනේ තබා වන්දනා කළ හැකියි. දෑත නළලේ තබා වන්දනා මාන කරන විට තරමක අපහසුවක් දැනෙනවා. එහෙත් පැය ගණනාවක් වුවත් හිස මුදුනේ තබාගෙන වන්දනා කළ හැකියි. එසේ වන්දනා කරන විට දෙඅත නෙළුම් මලක පොහොට්ටුවක ආකාරයෙන් තබා ගත යුතු වනවා. ඒ වගේම දණ්ඩ නමස්කාරයෙන් වන්දනා කරන්න පුළුවන්. මුළු සිරුරම ඒ දණ්ඩක් මෙන් බිම දිගාවන සේ තබා වන්දනා කරන්න පුළුවන්.

ඒ වගේම පසඟ පිහිටුවා වන්දනා කරන්න පුළුවන්. එහිදී නළලත් (දෑතමත) වැලමිටි, දෙදණ බිම වදින සේ වන්දනා කරන්න පුළුවන්. එමෙන්ම උක්කුටකයෙන් හිඳ වන්දනා කරන්න පුළුවන්. එහිදී එක් කකුලක දණහිස බිම වදින සේ සිට අනෙක් කකුලේ යටි පතුල බිම වදින සේ සංවර වී දෙඅත එම කකුල මත තබා වන්දනා කරන්න පුළුවන්.

මේ අයුරින් හැර බඩ මැදින් දෙකට නැවී වන්දනා කරන ඉරියව්වක් බුදු දහමේ නැහැ. මව, පියාගේ මෙන්ම භික්‍ෂූන් වහන්සේගේ දෙපා ස්පර්ශ කරමින් වන්දනා මාන කිරීම ඉතාම සුදුසුයි. විශේෂයෙන් මව සහ පියාගේ දෙපා අල්ලා නැමදීමෙන් මාපිය, දූදරු සබඳතා හොඳින් තහවුරු වනවා. ‘ශීර්ෂ ප්‍රණාමයෙන්’ මාපියන් වන්දනා කිරීම බෙහෙවින්ම වැදගත්. මේ නිසා සියලු පින්කම්වලදී නිසි අයුරින් දැහැත් පිළිගැන්වීමත් නිසි අයුරින් වන්දනා කිරීමත් අප කළ යුතු වන්නේ එම පින්කම එයින් වඩාත් අර්ථවත් වන බැවිනි.

 

ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය දෙසැම්බර් මස 12 වැනි දා බදාදා අපරභාග 05.56 ට ලබයි.13 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 02.13 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම දෙසැම්බර් 12 වැනිදා
 බදාදා ය.
මීළඟ පෝය
දෙසැම්බර් 20 වැනි බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

දෙසැම්බර් 12

First Quarterපුර අටවක

දෙසැම්බර් 20

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 27

Second Quarterඅව අටවක

ජනවාරි 05


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]