UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෙර භවය

පෙර භවය

ඇතැම් දරුවන්ගේ මුහුණේ සහ ශරීරයේ තිබූ ලප කැළැල් පවා ඊළඟ භවයේ උපන් දරුවන්ගෙන් සොයාගෙන ඇති බව පරීක්‍ෂකයන් තහවුරු කර ගෙන ඇත. ඇතැම් පරීක්‍ෂණ වලින් දැක්වෙන පරිදි යමෙක් මරණයට පත්වීමට පෙර ලැබූ මාරාන්තික සලකුණු ද නැවත ඉපැදීමේ දී ශරීර ලක්‍ෂණ ලෙස ඉස්මතු වූ අවස්ථා ඇත.

පෙර භවයන්හි අත්දැකීම් හා ගති ලක්‍ෂණ පුනරුප්පත්තියේ දී තහවුරු කර ගන්නේ කෙසේද?

පුනරුප්පත්තිය පිළිබඳව පර්යේෂණ පවත්වන විද්‍යාඥයන්ගේ ප්‍රධාන අවධානය යොමු වන්නේ පරීක්‍ෂණයට යොමු කරන පුද්ගලයාගේ පෙර භවයේ ලත් අත්දැකීම් හා ගති ලක්‍ෂණ හෙවත් හැඩහුරුකම පිළිබඳවය.

විශේෂයෙන් බහ තෝරන වියේදීම තම පෙර භවයේ අත්දැකීම් විස්තර කරන දරුවන් මෙම පර්යේෂණ සඳහා යොදා ගනු ලැබේ. පෙර ආත්මයේ තමා පි‍්‍රයකරන දේවල් තමා පි‍්‍රය කළ ප්‍රදේශ ස්ථාන ආදිය බොහෝ වරක් මේ දරුවන් ප්‍රකාශයට පත්කර ඇත. මෙය තහවුරු කර ගත හැකි කොත්මලේ රම්බොඩ රෝහලේ දී 1959 දී මෙලොව එළිය දුටු දියණිය චන්ද්‍රාවතී නම් වූවා ය. වයස අවුරුදු 5 පමණ වන විට මේ පුංචි දියණිය සිය මවට ගේ දොර වැඩකටයුතු සඳහා අනලස්ව උදව් වන්නට වුවාය.

මව වතුර ගෙන ඒමට යන විට මව සමඟ යෑම ඇගේ සිරිත විය. මව වතුර කළයක් උකළට ගෙන එන විට ඇයද ඇගේ පුංචි කළය උකුළේ තබාගෙන ඒමට පුරුදුව සිටියා ය.

1965 වන විට ඇයගේ වයස අවුරුදු 6 1/2 ක් විය. උදරාබාධයකින් දැඩි ලෙස රෝගාතුර වූ ඇය කෙතරම් ප්‍රතිකාර කළද එයින් සුව නොවූ ඇය දෙමාපියන්ගේ සෝ සුම් මැද අවසන් ගමන් ගියා ය.

ඇයගේ මරණයෙන් වසරක් ගතවීමෙන් අනතුරුව එනම් 1966 මැයි මස 5 වැනි දා චන්ද්‍රාවතියගේ මව තවත් දරුවෙකු බිහි කළා ය. පිරිමි දරුවෙකු වූ ඔහු නමින් කුමාරසිරි නම් විය. මේ පුංචි දරුවාගේ උපතේදීම සිරුරේ දක්නට ලැබුණු විශේෂ ලක්‍ෂණයක් විය. එනම් කරාබු පැළඳීමට කන් පෙති සිදුරු කළ සිදුරු හා සමාන සලකුණු දෙකක් මේ පුංචි දරුවාගේ කන් පෙතිවල දක්නට ලැබීමයි.

බහ තෝරන වියට පත්වීමත් සමඟ ඔහු මවගෙන් ඉල්ලා සිටියේ ‘කෝ මගේ අරුංගල් දෙක?’ යනුවෙනි.

මෙයින් පුදුමයට පත් දෙමාපියන් ඔවුන්ගේ මතකය චන්ද්‍රාවතී දෙසට නැවත වරක් යොමු කර ඇත. එනම් මේ පුංචි දරුවාගේ හැසිරීම් රටාව බොහෝ සෙයින්ම චන්ද්‍රාවතීට සමාන බව අවබෝධ කර ගත්හ.

මේ කුමාරසිරි දරුවා, පුංචි කාලයේ බොහෝ ලෙස පි‍්‍රයකොට ඇත්තේ ගවුම් ඇඳීමටය. ඔහු අතිශයෙන් ඇළුම් කොට ඇත්තේ පෙර ආත්මයේ චන්ද්‍රාවතී ද ඇළුම් කළ නිල් පැහැති ගවුම ඇඳීමටය. ඔහුගේ පි‍්‍රයතම ආහාරය වී ඇත්තේ අඹය. චන්ද්‍රාවතියද බොහෝ ලෙස පි‍්‍රය කොට ඇත්තේ අඹ කෑමට ය.

වයස අවුරුදු 6 පමණ වන විට මේ පුංචි දරුවා පෙර ආත්මයේ තමාගේ මරණය සිදු වූ අයුරුද වළ දැමූ ස්ථානය ද ඥාතීන් හා පාසල් ගුරුවරු කීප දෙනෙක් ද හඳුනාගෙන ඇත.

පෙර ආත්මයේ චන්ද්‍රාවතී මෙන් කුමාරසිරි දරුවාද මව සමඟ වතුර ගෙන ඒමට යාමත් පුංචි කළයක් උකුළේ තබා ගෙන යෑමටත් බොහෝ සෙයින් පි‍්‍රයතාවයක් දක්වා ඇත.

මෙම පුනරුප්පත්ති පරීක්‍ෂණය තුළින් තම පෙර ආත්මයේ අත්දැකීම් සමුදායක් චන්ද්‍රාවතී නම් දැරිය මේ ආත්මයේ කුමාර සිරි නමින් ඉපිද ප්‍රකාශ කර ඇති බව පෙනී යයි.

මෙම කතාවෙන් අපේ අවධානය යොමු වන තවත් පැතිකඩක් වන්නේ කෙනෙකු දිගින් දිගටම පුරුෂයෙකු හෝ ස්ත්‍රියක වශයෙන් නොඉපදෙන බවත් ඇතැම් අවස්ථා වල ස්ත්‍රීයන් ඊළඟ භවයේ පුරුෂයන් වශයෙන් ද ඇතැම් පුරුෂයන් ඊළඟ භවයේ ස්ත්‍රින් වශයෙන්ද ඉපදීමට අවස්ථාව ඇති බව පැහැදිලි වේ.

මෙය සම්බුදු දහම තුළද ඉගැන්වෙන කරුණකි. ඇතැම් අවස්ථාවල පුරුෂයන් වශයෙන් ඉපදෙන අය නැවත ආත්මයන්හි ස්ත්‍රීහු වශයෙන් උපදිති. එමෙන්ම ඇතැම් ස්ත්‍රීන් නැවත භවයන්හි පුරුෂයන් වශයෙන් උපදිති. ධර්මයේ මෙය ඉගැන්වෙන්නේ ස්ත්‍රී පුරුෂ භේදය කුසලා කුසල කර්ම මත තීරණය වන්නක් බවයි.

එකම දෙමාපියන්ගේ දූ දරුවන් පවා බොහෝ විට අසමාන මුහුණු හැඩරුව ලැබීම සාමාන්‍ය ලක්‍ෂණයකි. සමහර විට හැඩරුව මගින් පවුලේ සාමාජිකයන් තීරණය කැර ගැනීමේ හැකියාව නොතිබීමට පුළුවන්. එහෙත් පුනර්භවය පිළිබඳව සිදුකරන පර්යේෂණවලදී හැඩරුව පිළිබඳව (Facial Features) විශේෂ අවධානයක් යොමු කරනු ලැබේ. මිය ගිය අය යළි ඉපදීම අනාවරණ කරගත් බොහෝ අවස්ථාවල මියගිය පුද්ගලයාගේ හැඩරුව නැවත උපන් පුද්ගලයාගේ හැඩරුවට සමානවන අවස්ථා ඉන්දියාව, බුරුමය, ඉතාලිය, එංලගන්තය හා ශ්‍රී ලංකාව යන රටවලින් සොයාගෙන ඇත.

ඇතැම් දරුවන්ගේ මුහුණේ සහ ශරීරයේ තිබූ ලප කැළැල් පවා ඊළඟ භවයේ උපන් දරුවන්ගෙන් සොයාගෙන ඇති බව පරීක්‍ෂකයන් තහවුරු කොට ඇත.

ඇතැම් පරීක්‍ෂණ වලින් තහවුරු කැරගෙන ඇති පරිදි යමෙක් මරණයට පත්වීමට පෙර ලැබූ මාරාන්තික සලකුණු ද නැවත ඉපැදීමේ දී ශරීර ලක්‍ෂණ ලෙස ඉස්මතු වූ අවස්ථා ඇත.

දරුණු ලෙස පිහි ඇනුම් වෙඩි වැදීම් ආදියට ලක් වූ පුද්ගලයන් නැවත ඉපැදීමේ දී එම ස්ථානවල ලප කැළැල් (උපන් ලප) සටහන්ව ඇත.

මෙය ධර්මයේ සඳහන් වන්නේ කර්ම විපාක වශයෙනි. මෙහිදී විශේෂත්වය වන්නේ එහි විපාකය ලැබෙන්නේ එයට ලක් වූ තැනත්තාට නොව එය සිදුකළ පුද්ගලයාට වීමයි.

උදාහරණ ලෙස පෙර භවයක වෛද්‍යවරයෙක්ව සිට කාන්තාවකගේ ඇස් අන්ධ කළ චක්ඛුපාල හිමියන්ගේ ඇස් අන්ධවීම, පෙර භවයක බිරිඳගේ කීමට තම දෙමාපියන් වනයකට ගෙන ගොස් තලා පෙරා මරා දැමීම නිසා මුගලන් හිමියන් සොරුන්ගේ ප්‍රහාරයකට ලක්වී පිරිනිවන් පෑම ආදී සිද්ධීන් මෙහිලා සඳහන් කළ හැකිය.

“යා දිසං වපතේ බීජං
තා දිසං හරතේ ඵලං
කල්‍යාණකාරී කල්‍යාණං
පාප කාරීච පාපකංම”

යම් සේ බීජයක් වපුරන්නේ ද එහි ඵලය ලැබෙන්නේ වැපුරූ බීජයට අනුවමය. යහපත් දේ කිරීමෙන් යහපත් ප්‍රතිඵල පාපී ක්‍රියා කිරීමෙන් පාපී ප්‍රතිඵලද ලැබේ.

මතු සම්බන්ධයි

සාකච්ඡා කළේ
බණ්ඩාර පිලවල


අපරදිග මව මවිත කළ පුනර්භවයේ කතාව
 

 

ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය දෙසැම්බර් මස 12 වැනි දා බදාදා අපරභාග 05.56 ට ලබයි.13 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 02.13 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම දෙසැම්බර් 12 වැනිදා
 බදාදා ය.
මීළඟ පෝය
දෙසැම්බර් 20 වැනි බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

දෙසැම්බර් 12

First Quarterපුර අටවක

දෙසැම්බර් 20

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 27

Second Quarterඅව අටවක

ජනවාරි 05


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]