UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සැහැල්ලු සිතට මිලක් නැත

සැහැල්ලු සිතට මිලක් නැත

සාර්ථකත්වය සඳහා යන ගමනේදී මානසික වෙහෙස නැතිනම් විඩාව මනුෂ්‍යයාට බාධකයකි. එහෙත් එය පසුබැසීමට නොව තව තවත් දිරිමත්වීමට ආශිර්වාදයක් කොට සැලකිය යුතුය. බුදුදහම මානව කේන්ද්‍රීය ධර්මයකි. එය මනැස මුල්කොට ගත් දේශනාවකි. එබැවින් ඉහත තත්ත්වයන්ගෙන් මිදීම සඳහා උපදෙස් රාශියක් එහි යෝජනා කර තිබේ.

අද පවතින්නේ ‘තාක්ෂණික සංස්කෘතියක්’ තුළ ගොඩනැඟුණූ ලෝකයකි. නූතන සමාජ තත්ත්වය විවිධ විෂයන්වල දී විවිධාකාරයෙන් සාකච්ඡා කෙරේ. කාර්මීකරණය, නාගරීකරණය, නවීකරණය සහ විශ්වගම්මානකරණය ආදි වශයෙනි. මෙහිදී ‘තාක්‍ෂණික සංස්කෘතිය’ යන්නෙන් අදහස් කරන්නේ විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුවත් සමඟ යන්ත්‍රාශි‍්‍රතව ගොඩනැඟී ඇති මනුෂ්‍යජීවන සංස්කෘතිය යි.

මේ සංස්කෘතිය තුළ මිනිසා ද යන්ත්‍ර බවට පත්වී තිබේ. ඒ නිසා ඔවුනොවුන් අතර තිබෙන අන්‍යෝන්‍ය සම්බන්ධතා ගිලිහී ගොස් ඇත. ලෝකයේ ඇති සෑම දෙයකින්ම අවසානයේ ප්‍රයෝජන ගන්නේ මිනිසාය. අද මිනිසාට එහිදී අභියෝග රැසකට මුහුණ දීමට සිදුව තිබේ.

හුදෙකලා බව, පවුල තුළ මෙන්ම සමාජය තුළද ගැටුම් ඇතිවීම, දුම්වැටි මෙන්ම මත් ද්‍රව්‍ය භාවිතය බහුල වීම, විරැකියාව, තරගය, ඉච්ඡාභංගත්වය සහ පරිසර දූෂණය මේ අතර ප්‍රධානය. මේ තත්ත්වයන්ට මිනිස් මනැස අභ්‍යන්තරිකව දක්වන ප්‍රතිචාරවල දී මානසික වෙහෙස, විඩා බර ගතිය ඇතිවේ. එය කාංසාවට ද කාංසාව විෂාදය තත්ත්වයට ද බලපායි. කාංසාජනක හැඟීම් හෝ විෂාදජනක හැගීම් ඍණාත්මකය. මේ තත්ත්වය පිලිප් සිම්බාඩෝ නමැති මනෝ විද්‍යාඥයා හඳුන්වා ඇත්තේ ‘ශිෂ්ටාචාරයේ ව්‍යාධිය’ යනුවෙනි. මෙවැනි පරිසරයක මනුෂ්‍යයා අකාර කිහිපයකට ප්‍රතිචාර දක්වයි. ඒ ආවේගාත්මක ප්‍රතිචාර, චර්යාත්මක ප්‍රතිචාර, කායික මට්ටමේ ප්‍රතිචාර සහ චිත්ත මට්ටමේ ප්‍රතිචාර ආදි වශයෙනි.

මෙයින් ආවේගාත්මක ප්‍රතිචාරවලදී කනගාටුව, කෝපය, බලාපොරොත්තු සුන්වීම සහ ඒ හා සමාන ප්‍රතිචාර දක්වනු ලැබේ. චර්යාත්මක ප්‍රතිචාරවල දී සිත එක අරමුණක රඳවා තබා ගැනීමේ නොහැකියාව, අමතකවීම ,කාර්යක්ෂමතාව හීනවීම සහ අන් අය සමඟ සම්බන්ධතා ගොඩනඟා ගැනීමට නොහැකිවීම වැනි ප්‍රතිචාර දක්වයි. කායික මට්ටමේ ප්‍රතිචාරවල දී පිටේ කැක්කුම , හිසරදය, අධික රුධිර පීඩනය ආදිය ඇතිවිය හැකිය. චිත්ත මට්ටමේ ප්‍රතිචාරවලදී ආත්මාභිමානය පහත වැටීම, අසරණවීම සහ බලාපොරොත්තු සුන්වීම ආදිය ඇතිවේ. මේ තත්ත්වය උත්සන්න වුවහොත් ඇතැම් විට සියදිවි නසා ගැනීමට වුවද පෙළැඹිය හැකිය.

ගැටලු නොවිසැෙඳන තාක් කල් මනැස දැඩි පීඩනයකට හසුවෙයි. සංකීර්ණ සිතුවිලි, චිත්තාවේග සහ ගැවසෙන පරිසරය අනුව ප්‍රස්තුත ගැටලුවට ඒ ඒ පුද්ගලයා දක්වන ප්‍රතිචාර විවිධ වෙයි.ආතතියේ මූලාරම්භය සොයාගැනීම ගැටලුව අඩක් නිරාකරණය කිරීමට හේතුවෙයි.කාර්යබහුලත්වයද ගැටලු සංකීර්ණ වීමට බලපායි. කාර්යබහුලත්වය තමන් විසින් නිර්මාණය කරගන්නා ලද්දක් මෙන්ම පරිබාහිර හේතු නිසාද ඇතිවූවක් විය හැකිය.

සාර්ථකත්වය සඳහා යන ගමනකදී මානසික වෙහෙස නැතිනම් විඩාව මනුෂ්‍යයාට බාධකයකි. එහෙත් එය පසුබැසීමට නොව තව තවත් දිරිමත්වීමට ආශිර්වාදයක් කොට සැලකිය යුතුය. බුදුදහම මානව කේන්ද්‍රීය ධර්මයකි. එය මනැස මුල්කොට ගත් දේශනාවකි.එබැවින් ඉහත තත්ත්වයන්ගෙන් මිදීම සඳහා උපදෙස් රාශියක් එහි යෝජනා කර තිබේ. පහත ඒවා ඉන් ප්‍රධානය.

* දෛනික චර්යාවේ වෙනස්කම් ඇතිකර ගැනීම
* සුදුසු පරිසරයක වාසය කිරීම
* අල්පේච්ඡතාව ඇතිකර ගැනීම
* සුභරතාව මෙන්ම මෛත්‍රීය වර්ධනය කර ගැනීම
* අවෛරී බව
* උපේක්ෂා සහගත බව
* සමාජ ධර්ම අනුගමනය කිරීම
* අගතිගාමී නොවීම

මිනිසා ස්වභාවයෙන් ම අතෘප්තිකර සත්වයෙකි. තෘෂ්ණාවේ දාසයෙකි. (ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ) කහවණු වැස්සක් වැස්සත් සෑහීමකට පත් නොවන සත්වයෙකි. අප බොහෝ දෙනාගේ සිත් පංච නීවරණ ධර්මයන්ගෙන් වැසී තිබේ. එබැවින් ඒ පිළිබඳ අවධානය යොමුකර අල්පේච්ඡතා ගුණය වර්ධනය කිරීම තුළින් දෛනික ජීවිතයේ ඇතිවිය හැකි බොහෝ ගැටලුවලින් මිදීමට හැකියාව ලැබේ.අල්පේච්ඡතා ගුණය දියුණු කරන්නා තුළ සංතුෂ්ටියද දැකගත හැකිය. ලදදෙයින් සෑහීමට පත්වීම එහි ලක්ෂණයයි. ස්වර්ණහංස ජාතකයට අනුව, දිනපතා හංසයකු ලබාදුන් රන් පියාපතක් විකුණා ලබාගත් මුදලින් ජීවිතය ගෙන ගිය කාන්තාවක එයින් සෑහීමට පත් නොවී එක්වර රන් පියාපත් කිහිපයක් ගැනීමේ ආශාවෙන් ස්වර්ණහංසයා අල්ලාගත් අතර එයින් සිදුවූයේ දිනපතා ලද පියාපතවත් එතැන් සිට නොලැබී යෑමය. එබැවින් ලද දෙයින් සෑහීමට පත්වීමේ ගුණය ප්‍රගුණ කිරීම ඉතා වැදගත් කරුණකි.

මිනිසාගේ බලාපොරොත්තු දිනපතා ම අලුත් වෙයි. එසේ බලාපොරොත්තු වන දෑ ඉෂ්ට නොවන තැන ඉච්ඡාභංගත්වයට පත්වේ. මෙය මානසික ආතතියට ප්‍රබල හේතුවකි. අල්පේච්ඡතාව හා ලදදෙයින් සෑහීමට පත්වීමේ ගුණය හුරුකළ පුද්ගලයාට මෙම මානසික ආතතියෙන් ගැලවිය හැකිය.

එසේම උපේක්ෂාව වර්ධනය කිරීම තුළින් දෛනික ජීවිතයේ දි ඇතිවිය හැකි බොහෝ ගැටලු විසඳාගත හැකිය. කිසියම් ප්‍රශ්නයක් නිරාකරණය කිරීමට යෑමේදි එය තව තවත් ප්‍රසාරණය වන්නේ නම් කළ යුත්තේ තණ රොඩු, පස් ආදියෙන් අසූචි ගොඩක් වසා දමන්නා සේ අදාළ ප්‍රශ්නය ද ඉවත දැමීමය. අසූචි ගොඩ අවුස්සන වාරයක් පාසා එහි දුර්ගන්ධය සැම තැනම පැතිරෙයි.අදාළ ප්‍රශ්නයටද එසේම විය හැකිය.

අධික රුධිර පීඩනය , පිළිකා හා මීමැස්මොරය වැනි රෝගි තත්ත්වයන් මනැසින් බොහෝදුරට පාලනය කළ හැකි ඒවාය. භාවනාව හුදු ආගමික අභ්‍යාසයක් පමණක් නොව ප්‍රායෝගික ජීවිතයේ දී යොදාගත හැකි දෙයකි. මෙවැනි රෝග ශරීරය පුරාපැතිර යෑමට එරෙහිව ප්‍රතිශක්තිකරණයක් ගොඩනැඟීමට භාවනාව තුළින් සංවර්ධනය කරන ලද සිතකට හැකියාව ලැබේ .

මේ ආකාරයට නවීන ලෝකය තුළ කටයුතු කිරීමේදි මිනිසාට ඇතිවිය හැකි විවිධ ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා බුදුදහමෙන් ලබාගත හැකි උපදෙස් රාශියක් ඇත. ඒවා අනුගමනය කිරීම තුළින් මානසික හා සමාජ ගැටලු රාශියකින් මිදීමට හැකියාව ලැබේ.

 

ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය දෙසැම්බර් මස 12 වැනි දා බදාදා අපරභාග 05.56 ට ලබයි.13 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 02.13 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම දෙසැම්බර් 12 වැනිදා
 බදාදා ය.
මීළඟ පෝය
දෙසැම්බර් 20 වැනි බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

දෙසැම්බර් 12

First Quarterපුර අටවක

දෙසැම්බර් 20

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 27

Second Quarterඅව අටවක

ජනවාරි 05


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]