UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුදහමෙන් විද්‍යාවත් කලාවත් පෝෂණය වුණා

සිංහල සංස්කෘතිය හා එකට එක්ව තිබූ ආගම, කලාව හා සංස්කෘතිය ක්‍රමයෙන් බටහිර ජාතීන් විසින් බිඳ දැමූ බව අප මීට පෙර කතා කළා. බටහිර ජාතීන් මෙරට ආක්‍රමණය කළ පසුව අපේ ශක්තිමත් බැමි හැම අතින්ම බිඳ දැමුවා. විශේෂයෙන්ම අපේ හෙළ කලාවන් විස්කම් දැක් වූ හෙළ තාක්‍ෂණයත් ආගමෙන් වෙන් කිරීමට ඔවුන් උත්සාහ කළා. ඔවුන්ගේ එම උත්සාහය සාර්ථක වුණා. සිංහල සභ්‍යත්වයේත් සංස්කෘතියේත් බිඳ වැටීම ඇරැඹුණේ එතැන් සිටයි.

අපේ සිංහල බෞද්ධ සංස්කෘතියේ ඇති වූ මේ වෙනස්කම නිසා අපේ රටේ සදාචාරය පිරිහී ගොස් ඇති බව කාටත් පැහැදිලියි.

අතීතයේ දී විද්‍යාව මෙන්ම කලාවක් සියලු කටයුතුවලදී ආගම හා එක්වුණා. විද්‍යාවේ නවීන සොයාගැනීම් සඳහා බුදුදහම උපකාරී වුණා. කලාවටත් එසේමයි.

එහෙත් ක්‍රමයෙන් මේ තත්ත්වය අපෙන් ගිලිහී ගියා. ගම් මට්ටමෙන් යම් ප්‍රමාණයකට විද්‍යාව, කලාව, ආගම එක්තැන් වුවත්, අපේ ප්‍රධාන ප්‍රවාහයේ මේ මාධ්‍ය තුන වෙන් වෙලා ගිහින් තිබෙනවා.

කලාව වෙනම මාර්ගයක ගමන් ඇරැඹුවා. නවකතා, කෙටිකතා, නාට්‍ය, චිත්‍රපටි ඔස්සේ කලාව එක් මඟක් ගත්තා. එය ආගමේ ආධිපත්‍යයෙන් මිදුණා. අපේ මුතුන් මිත්තන්ගේ කාලය ගෙන බලන්න.

චිත්‍රයක් ඇන්දානම් එය ආගමික පසුබිමක් ඇති සිතුවමක්. කවියක් ලිව්වානම්, ආගමික කවියක්. අපේ ඉතිහාසය පුරාම මේ බව දැක්වෙනවා. ආගමේ සාරධර්ම තුළයි මේ සියල්ල සිදුවුණේ. උගත් නොවන නූගත් යැයි සැලකූ ගැමියාගේ කවියක් ගෙන බලන්න.

මං බාලේ ඇති කළ තලගොයි පැටියා
මට තනියට ඌ මිදුලේ කෙළ සිටියා
නපුරු සතෙක් ඇවිදින් ඌ අරන් ගියා
නිවන් පුරේ පලයන් තලගොයි පැටියා

තම සුරතලා අහිමි වූ විට එම තිරිසන් සත්ත්වයාට පවා නිවන් ප්‍රාර්ථනා කිරීමට එකල අපේ ජනතාවට සිත් පැහැදී තිබුණේ කවිය හා ආගම දහම මුසුව තිබූ නිසයි.

රන් විමනේ සිටිමුත් දුක නැතිවෙත්ද
පැණි මීයේ කෑවොත් බඩ ගිනි නැත්ද
මිණි බරණින් සැදුනත් ගත නොදිරත්ද
පැණි වරකා ගහටත් හෙන නොවදිත්ද

අපේ සමස්ත ජන කවියම සෞන්දර්යාත්මකව බුදු දහම හා එකතු වුණා. එයින් බෞද්ධ ඉගැන්වීම් හැඟීම් ඉස්මතු වුණා. දැන උගත් පඬිවරු නිර්මාණය කළ ගද්‍ය පද්‍ය ගෙන බලන්න. ඒ සියල්ල ආගමික පසුබිමකින් නිර්මාණය වූ ඒවා.

සද්ධර්ම රත්නාවලිය, ජාතක පොත පමණක් නොවෙයි. සංදේශ කාව්‍ය වලින් වුවත් අපේ බොදු හැඟීම් ඉස්මතු කළා. සංදේශ කාව්‍ය වල විවිධ වර්ණනා තිබුණත් වෙහෙර විහාර වර්ණනා, බුදුරජාණන් වහන්සේගේ වර්ණනා ආදියත් ඇතුළත් කර තිබෙනවා.

අපේ ඉතිහාසයේ චිත්‍ර, මූර්ති, කැටයම්, ගද්‍ය, පද්‍ය ආගමික ආධිපත්‍යද ආගමික සාරධර්ම තුළින් බුදුදහමේ පණිවුඩය ගෙන ආවා. ඒ පණිවුඩය ලබා දුන්නේ සාහිත්‍ය රසයද ලබාදෙමින්. සාහිත්‍යයේ වටිනාකම ද අඩු නොවන ලෙසින් බුත්සරණ, අමාවතුර, සද්ධර්ම රත්නාවලිය ගද්‍ය සාහිත්‍යයත්, ගුත්තිලය, කව්සිළුමිණ, කාව්‍යශේඛරය, සංදේශ කාව්‍ය වැනි පද්‍ය සාහිත්‍යයන් රස වින්දනයට ඉහළ ස්ථානයක් ලබා දුන්නා. මේ සියලුම ග්‍රන්ථ වලින් ඉහළ මට්ටමේ ගුණාත්මක රස වින්දනයක් ලබන්නට පුළුවන්.

කම්මුලට අත තබාගෙන සියල්ල අනිත්‍යයි, දුකයි අනාත්මයි යනුවෙන් ශෝක වෙමින් දුකින් පෙළීමට එදා ජනතාවට සිදුවූයේ නැහැ. ඔවුන් පරිසරයේ සුන්දරතාවය දැක්කා. සංසාරය දුක සැප අත් වින්දා. ඒ සමඟම ආගමික සාරධර්ම ගිලිහීමට ඉඩ ලබා දුන්නෙත් නෑ.

විද්‍යාව කලාව දෙකම ආගම හා එක්ව සංවර්ධනය වුණා. බුදු දහමින් විද්‍යාවත් කලාවත් පෝෂණය වුණා.

පෙර දිග ලෝකයේ මෙන් නොව අපරදිග ලෝකයේ දේශපාලන සමාජ චින්තනය, විද්‍යාව, කලාව ආගම දහම සමඟම එකට ගමන් කෙළේ නැහැ. ඒ මාධ්‍යයන් තුනම වෙන් වෙන් මාර්ග ඔස්සේ ගමන් කළා.

අපේ සංස්කෘතියේ මෙවන් වෙනස්කම් සිදුවන විට අධ්‍යාපනයට පවා එම වෙනස්කම් බලපෑවා. එමඟින් අධ්‍යාපනයේ පවා අඩාලවීම් සිදුවුණා. එදිරිවීර සරත්චන්ද්‍ර වැනි වියතුන් කලාව ආගම සමඟ සංස්කෘතිය ඉදිරියට ගෙන යන්න උත්සාහ කළා.

ඒ වගේම බටහිරින් පැමිණි නවකතා කලාව ඉවත නොදා අපේ පණිවුඩයන් ඒ තුළින් ජනතාවට ලබා දෙන්න ජයසේන ජයකොඩි වැනි කතුවරුන් උත්සාහ ගෙන තිබෙනවා. එහෙත් අද නිර්මාණය ලෙස ඉදිරිපත් වන ඇතැම් ගීත, කවි, කතා නාට්‍ය නිර්මාණ වැනි දේ දෙස බැලූ විට අපට දැකගත හැක්කේ මොනවාද? පෙර තිබුණු ආශිර්වාදය ආවරණ ඒ නිර්මාණ තුළ දකින්න නැහැ.

අපේ විද්‍යාව තාක්‍ෂණය නැත්තටම නැතිවුණා. රුවන්වැලි සෑය හදපු තාක්‍ෂණය, යෝධ වැව හදපු තාක්‍ෂණය වර්තමානයේ දකින්න තියෙනවද? බටහිර විද්‍යාව, තාක්‍ෂණය අපේ සියල්ල ආක්‍රමණය කළා.

මේ නිසා සමාජයීය සදාචාරයට කිසිසේත් අනුකූල නොවන ඇතැම් ව්‍යාපෘතීන් ඇරැඹුණා. මත්ස්‍ය මාංශ වෙළෙඳාම පවා බුදුදහම අනුමත කර නැහැ. එය වැරැදි ජීවන වෘත්තියක් ප්‍රතිපදාවක් ලෙස දක්වා තිබෙනවා. එසේ තිබියදී මාංශ අනුභවයට මසුන් බෝ කිරීම අපේ සංස්කෘතියට නොගැළපෙන බව අද බොහෝ දෙනාගේ පිළිගැනීම වී තිබෙනවා. එමෙන්ම මත් වතුර නිෂ්පාදනය, අලෙවිය යන මේ සියල්ලටම අද විද්‍යාව හා තාක්‍ෂණ උපයෝගී කරගෙන තිබෙනවා. බුදු දහම ඒවාට ඉඩ ලබා දී නැහැ.

අද ජනාධිපතිතුමා මේ බව තේරුම් අරගෙන ‘මතට තිත’ වැඩසටහන ඇරැඹුවා. බුදුදහමට අනුකූල නොවන වැඩසටහන් ව්‍යාපෘති නිසා සිදු වී ඇත්තේ කුමක්ද? අපේ ආයුෂ අඩුවෙලා. ලෙඩ රෝග වැඩි වී තිබෙනවා. බුද්ධිය පිරිහෙන තත්ත්වයට පත්වෙලා. මෙවන් ක්‍රියාවන්ට බුදු දහම ඉඩ දෙන්නේ නැහැ. මත් වතුර පමණක් නොවෙයි මත් ද්‍රව්‍ය, මත් දුම්, මත් වායු ආදී විවිධ හානිකර දේ විද්‍යාව හා තාක්‍ෂණය විසින් නිර්මාණය කර තිබෙනවා. මීට හේතු වී ඇත්තේ විද්‍යාව ආගමේ ආධිපත්‍යයෙන් මිදීමයි.

බුදුදහමේ ආශිර්වාදය ඇතිව සාරධර්ම නොඉක්මවන විද්‍යාවන් කලාවන් මෙහෙයවූවා නම් මිනිසාට හානිකර කිසිවක් බිහි වන්නේ නැහැ. විද්‍යාව නිසා මිනිසාට කිසිදු හානියක් වන්නේ නැහැ. තමන්ට පමණක් නොව අනුන්ටත් හානිදායක වන දුම්වැටිය පවා නිපැයුණේ විද්‍යාව හා තාක්‍ෂණය දහමින් ඈත් වූ නිසයි. උපකරණයක් හොඳට මෙන්ම නරකටත් භාවිතා කරන්න පුළුවන්. එහෙත් බුදුදහම හැම විටම කෙළේ එම සියල්ල යහපත් දේට යොමු කිරීමයි. අද අප භාවිතා කරන ජංගම දුරකථන නිසා සොරකම්, ඝාතන සියල්ල පහසු වී තිබෙනවා. එමෙන්ම රාජකාරී අධික අයට එය මහත් පිටිවහලක්. හුණු කෑල්ලක් අතට ගෙන කළුලෑල්ලේ බණ පදයක් මෙන්ම අසභ්‍ය වචනයක්ද ලියන්න පුළුවන්. ආගමේ ආවරණය ඇතිනම් හැම විටම සුබ දේට මිස නොමනා දේට කිසිවකු යොමු වන්නේ නැහැ.

අප සංස්කෘතියට හානි නොකර ක්‍රමයෙන් විද්‍යාව හා තාක්‍ෂණ භාවිතා කළා නම් අපටම හුරු විද්‍යාව, කලාව හා ආගම එක්වූ සංස්කෘතියක් බිහි කරන්න තිබුණා.

 

ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය දෙසැම්බර් මස 12 වැනි දා බදාදා අපරභාග 05.56 ට ලබයි.13 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 02.13 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම දෙසැම්බර් 12 වැනිදා
 බදාදා ය.
මීළඟ පෝය
දෙසැම්බර් 20 වැනි බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

දෙසැම්බර් 12

First Quarterපුර අටවක

දෙසැම්බර් 20

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 27

Second Quarterඅව අටවක

ජනවාරි 05


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]