Print this Article


බෝසත් සිරිතෙන් සිසු දිවියට අඩිතාලමක්

බෝසත් සිරිතෙන් සිසු දිවියට අඩිතාලමක්

අපේ දරුවන් බොහෝ අවස්ථාවල අභියෝග භාර ගැනීම හා ඒවාට මුහුණ දීම මඟ හරින අවස්ථා ඇත. යහපත් බෝසත් දරුවකු හැටියට, ඇතිවන ගැටලුවක දී අභීතව, යුක්ති ගරුකව නැඟීසිටීමට, ඉදිරිපත්වීමට ඇති හැකියාව ප්‍රදර්ශනය කළ යුතුය. එසේ වූ විට බෝසත් චරිතයෙන් ප්‍රකට කෙරුණු, අභියෝග භාරගැනීම හා ඒවාට සාර්ථකව මුහුණ දීම යන ගුණාංග අප ජීවිතයට ගළපා ගත්තා වේ.

තෙරුවන් සරණ ගිය බෞද්ධයාට බුදුරජාණන් වහන්සේ පිළිබඳ ඇත්තේ අපමණ ශ්‍රද්ධාවකි. ගෞරවයකි. එසේ වන්නේ බුදුරජාණන් වහන්සේගේ ආදර්ශවත් ශ්‍රේෂ්ඨත්වය කරණ කොට ගෙනය. බුදු සිරිතේ ශ්‍රේෂ්ඨ ලක්ෂණ ගැන කතා කරන අප සිදුහත් බෝසත් චරිතයේ සුවිශේෂී සිදුවීම් පිළිබඳ අවධානය යොමු කරන්නේ අල්ප වශයෙන් යැයි සිතේ. එබැවින් බෝසත් චරිතයෙන් අපගේ ජීවිතයට ලබාගත හැකි ආදර්ශ මොනවාදැ’යි විමසා බැලීම මේ ලිපියෙන් අපේක්‍ෂා කෙරේ.

සිදුහත් කුමරු සුදොවුන් රජතුමාගේත් මහමායා දේවියගේත් පුතණු හැටියට මෙලොව උපන් බව සැම දනිති. කුමාර කාලය, ගෘහස්ථ කාලය (විවාහ වූ පසු කාලය) හා තවුස් දම් පිරූ කාලය වශයෙන් බුද්ධත්වයට පෙර කාලය බෙදා දැක්විය හැකිය. කුමාර කාලය උපතෙහි පටන් වයස අවුරුදු 16 දක්වා ද විවාහක කාලය අවුරුදු 16 සිට 29 දක්වා ද තවුස් දිවිය අවුරුදු 29 සිට 35 දක්වා ද කාල පරාසයන්ට ඇතුළත් වේ.

අද සමාජයේ පාසල් දරුවෝ මෙම කාලවකවානු පිළිබඳ හොඳින් දනිති. ඒ ගැන මතකයෙන් කියන්නට, ලියන්නට ශක්තිවන්ත වෙති. එසේ වන්නේ දිනපතා පාසලෙන්, දහම් පාසලෙන් ලබා ගන්නා දැනුම මෙන්ම ධර්ම දේශනාවලදී කරුණු අසා දැන ගැනීමෙනි. එහෙත් බෝසත් සිරිතේ ප්‍රකට කෙරුණු විවිධ අවස්ථා විමර්ශනය කොට එහි ඇති හරවත් භාවයෙන් බිඳක් හෝ තම චරිතයට සමීප කර ගැනීමට කටයුතු කර ඇත් ද යන්න ප්‍රශ්නයකි. විශේෂයෙන්ම පාසල් දරුවන් තමන්ගේ ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා බෝසත් සිරිතේ මෙම සුවිශේෂී ලක්ෂණ පිළිබඳ දැනුමක් ලබා ගත යුතුව ඇත. එවැනි ඵලදායක, අර්ථවත් අවස්ථා කිහිපයක් පමණක් මෙහි දී සාකච්ඡා කරනු ලැබේ.

සිදුහත් කුමාරයා සුවිශේෂී හැකියාවකින් යුක්ත දරුවෙකි. දරුවකු නිසි වයසේදී අධ්‍යාපනය ලැබිය යුතු වන අතර මවුපියෝ ඒ පිළිබඳ වගකීම භාරගෙන කැපවීමෙන් කටයුතු කරති. සිදුහත් කුමාරයාට ද සිය පියා අධ්‍යාපනය ලබාදෙන්නේ ගුරුවරයා මාළිගයට ගෙන්වා ගැනීමෙනි. එසේ කරනු ලබන්නේ බමුණන්ගේ අනාගත වාක්‍ය සැලකිල්ලට ගැනීමෙන් පසුව බව පිළිගැනීමට සිදුවේ. කුමරා ගිහිගෙය හැර යෑම වැළැක්වීමට පිය රජතුමාට අවැසි විය. එබැවින් කුමාරයා මැනැවින් ශිල්ප උගත්තේ තමාගේ මාළිගයේදීමය. එමෙන්ම ඒ සඳහා වැය වුනේද ඉතා කෙටි කාලයකි. ගණිත මිනිතාදී වූ ශිල්ප පමණක් නොව රජකුමරුවකුට අවශ්‍ය කරන දුනු ශිල්ප හා කඩු ශිල්පද, ඇත්, අස්, රිය හැසිරවීම් ආදිය පිළිබඳ ද මේ කාලය තුළ කුමරු ඉතා ඉක්මනින් ප්‍රවීණත්වයක් ලබා ගත්තේය.

වර්තමානයේ දරුවන් ද මේ කරුණු සැලකිල්ලට ගත යුතුමය. ඔවුන් කළ යුත්තේ තමාට ලැබී ඇති කාලයෙන් උපරිම ප්‍රයෝජන අත්කර ගැනීමට යොමුවීමයි. ඉගෙන ගන්නා වකවානුව තුළ ඒ සඳහාම කැපවිය යුතුය යන්න එයින් අදහස් කෙරේ.පාසල් දිවියේ දී ලබාගත යුතු උපරිම දැනුම, කුසලතා , ආකල්ප හා ජීවන යහපුරුදු වඩා වර්ධනය කරගැනීමට කටයුතු කිරීම සිසුවාගේ වගකීමකි. මේ වගකීම සිදුහත් බෝසත් චරිතයෙන් ශිෂ්‍යයාට උකහාගත හැකි ආදර්ශයකි.

එමෙන්ම ශිෂ්‍ය ජීවිතයේ දී නොපනත්කම් නොකරන්නට වගබලා ගත යුතුය. දෙව්දත් කුමරුගෙන් පීඩාවට පත් හංසයා සිදුහත් කුමරු විසින් සුවපත් කරනු ලබන්නේ දයාව ප්‍රකට කරමිනි. කුඩා වුවත් සිදුහත් කුමරු මෙහි දී විනිශ්චයක් ලබා ගැනීම සඳහා ද යොමු වන්නේ යුක්තිය වෙනුවෙන් තමාගේ කාර්යභාරය ඉටුකිරීම සඳහාය.මෙයින් විදහා දැක්වෙන්නේ බෝසත් ළමා සිතක පහළවන කාරුණික ස්වභාවයයි. අද සමාජයේ දරුවන් ද බෝසත් ගුණයන් ගෙන් යුක්ත කාරුණික දරුවන් වන්නේ නම් කොතරම් අගනේද?

සිදුහත් කුමාරයාට විවාහ යෝජනාව ඉදිරිපත් වූ අවස්ථාවේ ඔහු ශිල්ප නොදත්තකු සේ හඳුන්වා දෙන්නට ඥාතීන් ගත් වැරැදි උත්සාහය ව්‍යවර්ථ කරන්නට ඉදිරිපත්වීම අභියෝගවලදි නොබියව ඉදිරිපත් වීමේ හැකියාව පෙන්නුම් කරන්නකි. හැකියාව තිබියදි නොහැකියාව පිළිබඳ කථා ඇති වූ කල අවස්ථාවට හා ස්ථානයට උචිත පරිදි තම ශිල්ප දැක්වීමට සිදුවන්නේ නම් ඊට පසුබට විය යුතු නොවේ. එය සිදුහත් කුමාරයාගේ විශිෂ්ට ලක්ෂණයකි. එහි ප්‍රතිඵලය යි ශිල්ප දැක්වීම. අපේ දරුවන් බොහෝ අවස්ථාවල අභියෝග භාර ගැනීම හා ඒවාට මුහුණ දීම මඟ හරින අවස්ථා ඇත. යහපත් බෝසත් දරුවකු හැටියට, ඇතිවන ගැටලුවක දී අභීතව, යුක්ති ගරුකව නැඟීසිටීමට, ඉදිරිපත්වීමට ඇති හැකියාව ප්‍රදර්ශනය කළ යුතුය. එසේ වූවිට බෝසත් චරිතයෙන් ප්‍රකට කෙරුණු, අභියෝග භාරගැනීම හා ඒවාට සාර්ථකව මුහුණ දෙන ආකාරය අප ජීවිතයට ගළපා ගත්තා වේ.

වයස අවුරුදු 16 දී විවාහ වන සිදුහත් කුමරු අවුරුදු 29 දක්වා වූ කාලය අධික සැප සම්පත් විඳිමින් ගත කළේය. කාමසුඛල්ලිකානු යෝගයේ නිස්සාරත්වය පිළිබඳ සිදුහත් කුමරු සිය අවධානය යොමු කරන්නේ සතර පෙර නිමිති දැකීමෙන් අනතුරුවය. සතර පෙර නිමිති දැකීමත්, ඒවාට ඡන්න ඇමැතිවරයා දුන් විග්‍රහයත් සිදුහත් බෝසත් චින්තනය නව මගකට යොමු කිරීමට සමත් වේ.

විමර්ශනයට හා ගවේෂණයට සිදුහත් කුමරුගේ සිත බෙහෙවින් නැඹුරුවේ.විමසීමෙන් ලබාගත් දැනුම විමර්ශනය කොට තේරුම් ගැනීමට සිදුහත් කුමරු ලබා තිබූ පරිචය මහත්ය. පාසල් වියේ දරුවකු ගැටලුවක් ඇති වූ කල්හි අදාළ අයගෙන් විමසා ඒ මඟින් ලබා ගන්නා තොරතුරු මෙන්ම මඟ පෙන්වීම ද ඔස්සේ තම අභිමතාර්ථ ජය ගැනීම සඳහා යොමු වන්නේ නම් ඉතා වටී. නිසරු දේ නිසරු බව හැඳින දුරු කරන්නටත්, සරු දේ සරු ලෙස දැන භාර ගන්නටත් වත්මන් දරුවා කටයුතු කරන්නේ නම් තම ශිෂ්‍ය ජීවිතය වඩාත් ප්‍රබෝධජනක වනු ඇත. විමසීම සමඟ විමර්ශනය ද ඒ සඳහා අලස නොවීම ද ශිෂ්‍ය ජීවිතයක තිබිය යුතුමය. මෙම ගති ලක්ෂණය සිදුහත් කුමාර චරිතයෙන් ආදර්ශයට ගෙන අපගේ ජීවිත තුළද පිහිටුවාගත යුතුය.

ගිහිගෙය හැරයන සිදුහත් කුමරු තාපස වේශයෙන් සිය දිවියේ ඉදිරි කටයුතු අරඹයි.පළමු කොට සිය අභිමතාර්ථය සාධනය කරගනු සඳහා ගුරුවරුන් සොයා යෑම සිදුවේ.ආලාර කාලාම, උද්දකරාම පුත්ත තාපසවරුන් වෙතින් ලත් දැනුම ප්‍රමාණවත් නැත යන නිගමනය මත එකල පැවැති කෙලෙස් තාපන විධි අනුගමනය කරන්නට පෙළැඹුණේ ගවේෂණයේ ඇති කැමැත්ත නිසාවෙනි.අධිෂ්ඨානය පෙරටු කොට කටයුතු කිරීම බෝසත් දිවියේ කැපී පෙනේ. එහි ප්‍රතිඵලය වන්නේ සිදුහත් බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කර ගැනීමයි.

සිසු ජීවිතයේ දී ද ගුරු ආශ්‍රය මඟින් තමන්ගේ ජීවිතය ජය ගැනීම සඳහා උපකාරවත් වන හරවත් දේ ලබා ගැනීමට උත්සුක විය යුතුය. එසේ වූ කල බෝසත් චරිතයෙන් ප්‍රකට ගුණාංග සිය ජීවිතයට ගළපා ගත්තා වේ. නොදන්නා කරුණු ගවේෂණයේ දී පළමුවෙන් ම ගුරු බස අවශ්‍යවන බව ශිෂ්‍යයා වටහා ගත යුතුය.

සිදුහත් කුමාර චරිතයේ උට්ඨාන වීර්යය, නොපසුබස්නා උත්සාහය, යහපත් ඉලක්ක හඹායෑම ආදි විශිෂ්ට ගුණාංග ශිෂ්‍ය ජීවිතය ඔපවත් කරගැනීම සඳහා යොදා ගත හැකිය.බෝසත් සිරිත පුරාම ඉහත ලක්ෂණ ප්‍රකටව පෙනේ. ශිෂ්‍ය ජීවිතයේ දී අභියෝග ජය ගෙන සාර්ථක ඉලක්කයකට ළඟාවීමට ශිෂ්‍යයා සමත් වේ නම් එය අගය කළයුත්තකි.

විමර්ශනශීලිත්වය සහ ගවේෂණයත් අපේක්‍ෂිතය ඉලක්කය කරා ළඟාවීම සඳහා ගනු ලබන උපාය මාර්ගයන්හි නිවැරැදි බවත් ආදරය, කරුණාව, දයාව ආදි උතුම් ගුණාංගත් ශිෂ්‍ය ජීවිතයක තිබිය යුතුමය. එසේ වූවිට සාර්ථක දිවියකට අත්තිවාරමක් සැපයෙනු ඇත. මෙවන් දරුවකු වන්නට ඔබත් සිතට ගන්න.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.