Print this Article


අපවත් වී වදාළ කණුමුල්දෙණියේ ශ්‍රී ධර්මාශෝක නා හිමි

අපවත් වී වදාළ කණුමුල්දෙණියේ ශ්‍රී ධර්මාශෝක නා හිමි

දෙහිවල නව පොළොන්නරු ගල්විහාරාධිපති ආචාර්ය කණුමුල්දෙණියේ ශ්‍රී ධර්මාශෝක නාහිමිපාණෝ දේශීයව මෙන්ම ජාත්‍යන්තරව ද ගෞරවාදරයට පාත්‍ර වූ ආදර්ශමත් ධර්මදූතයාණන් වහන්සේ නමකි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ, ගිරුවා පත්තුවේ දකුණු කණුමල්දෙණියේ දී 1952 අප්‍රේල් 16 වැනිදා ජන්ම ලාභය ලැබූ නාහිමියන්ගේ දෙමව්පියන් වූයේ එවකට ගම්පති ධුරය දැරූ ඩී. ජේ. ලියනආරච්චි රාලහාමි හා දෝන ගිමාරා රුවන්පතිරණ මහෝපාසිකාවයි. දකුණු කණුමුල්දෙණිය රජයේ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා තමාගේම ආශාවෙන් සහ දෙමාපියන්ගේ මෙහෙයවීමෙන් තුදුස් වන වියේදී 1965 අගෝස්තු මස 15 වැනි දින මාතර මහා මන්තින්ද පරිවේණාධ්‍යක්‍ෂකව වැඩ විසූ ධර්මකීර්ති ශ්‍රී කඹුරුපිටියේ ශ්‍රී බෝධිගුප්ත නා හිමියන්ගේ ශිෂ්‍යයෙකු වශයෙන් පැවිදිව එම පිරිවෙනෙන්ම මූලික හා උපරිම භික්ෂු අධ්‍යාපනය ලබාගත්තේය.

1973 දී මහනුවර මල්වතු මහා විහාරයෙන් උතුම් වූ උපසම්පදාව ලබාගත් උන්වහන්සේ එම වර්ෂයේම අනුරාධපුර බුද්ධශ්‍රාවක ධර්ම පීඨ භික්ෂු විශ්ව විද්‍යාලයට ඇතුළත්ව අවුරුදු 5 ක් ත්‍රිපිටකය හා සිංහල, දෙමළ හා පාලි, සංස්කෘත, ඉංග්‍රීසි ආදී භාෂා ශාස්ත්‍ර පිළිබඳ නේවාසික පාඨමාලාවක් හදාරා පන්ති සාමාර්ථයක් ද සහිතව ත්‍රිපිටක වේදී උපාධිය ලබාගත්තේය. උන්වහන්සේ දෙහිවල විහාරස්ථානයට ලැබුණේ උපසම්පදාවේදී එම විහාරස්ථානයේ අධිපතිව සිටි ශාස්ත්‍රාචාර්ය පණ්ඩිත සංයුක්ති භාණක ආචාර්ය මාරාගොඩ සද්ධානන්ද මාහිමිපාණන්ගේ ද ගෝලයකු වශයෙන් සම්බන්ධ කර තිබුණු නිසයි. රත්මලානේ පරම ධම්ම ජාත්‍යන්තර ධර්මදූත භික්ෂු පුහුණු ආයතනයේ ද අධ්‍යාපනය ලැබූහ.

කොළඹ ඇක්වායිනාස් කොලීජියේ ඉංග්‍රීසි පාඨමාලාවක් හදාරා ඉංග්‍රීසි ඩිප්ලෝමා සහතිකයක් ද ලබාගත් උන්වහන්සේ කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනේ ශ්‍රී සුමංගල ගුණානුස්මරණ සභාව මඟින් පවත්වන ත්‍රිපිටක පරීක්‍ෂණ වලට පෙනී සිට විනයාචාර්ය සද්ධර්මාචාර්ය ආදී උපාධි ලබාගත්තේ ඒවාට හිමි ත්‍යාගත් දිනා ගනිමිනුයි. ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ විභාගවලින් ද උසස් අයුරින් සමත් වූ නායක හාමුදුරුවෝ 1977 දී එවකට විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයට හෙවත් කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව දෙවන පෙළ ඉහළ පංති සාමාර්ථයක් ද ඇතිව ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත් අතර මීට අමතරව කැලණිය විශ්වවිද්‍යාලයේ නූතන භාෂා අංශයේ ඉංග්‍රීසි පාඨමාලාවක් හදාරා උසස් සහතිකයක් ද ලබා ගත්තේය.

1982 දී කොළඹ දෙමටගොඩ ධර්මදූත විද්‍යාලයේ ආචාර්යවරයකු වශයෙන් රජයේ ගුරු වෘත්තියට පිවිසුණු අපේ හාමුදුරුවෝ කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනයේ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව හදාරා එහි උපාධිය ද එසේම “දර්ශනපති” උපාධිය ලබා ගත්තේය.

1988 දී කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරයෙකු වශයෙන් තේරී පත්වී අවුරුදු 5 ක් පමණ එම ධුරය දරා අවුරුදු කීපයක් එංගලන්තයේ, යුරෝපයේ හා අප්‍රිකාවේ ගතකොට යළි පැමිණ 1994 දී අනුරාධපුර බුද්ධශ්‍රාවක ධර්ම පීඨ භික්ෂු විශ්වවිද්‍යාලීය ආචාර්යවරයෙකු වශයෙන් දිගු කලක් අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ කටයුතු කිරීම නිසා දිවයිනේ විවිධ පළාත්වලදීත් පිටරටවලදීත් තමන් ගෙන් ඉගෙන ගත් ගිහි පැවිදි ගෝලයින් හමුවීම නිසා විශේෂ සතුටක් ලද නාහිමියෝ දේශකයෙකු, ලේඛකයකු හා ග්‍රන්ථ කර්තෘවරයකු වශයෙන් ද ප්‍රසිද්ධියක් දැරුවේය.

නාහිමියන් ධර්ම ශාස්ත්‍රීය කටයුතු හා විදේශ සංචාර කරන අතරේම තම විහාරස්ථානයේ දියුණුවට කර ඇති සේවය ද අසීමිතයි. 1933 දී ආරම්භ කර ඇති මෙම විහාරස්ථානයේ මීට පෙර සංඝ පරම්පරා 2 ක් ගත උනත් භෞතික වශයෙන් එතරම් දියුණුවක් තිබුණේ නැත. 1980 දී අපවත් වූ මාරාගොඩ සද්ධානන්ද, ලොකු හාමුදුරුවන් ශාසනයට කළ ලොකුම සේවය ශ්‍රී ධර්මාශෝක නාහිමි වැනි ගෝලයෙක් තම පන්සලට ලබාදීමයි.

ගමටත් පන්සලටත් පළාතටත් පොදුවේ ශ්‍රී ලංකාවට මෙන්ම ලෝක ශාසනයටත් අසීමිත ශාසනික ජාතික මහා මෙහෙවරක නියැළී ( 2012. 11. 25 ) පසුගියදා අපවත් වී වදාළ ආචාර්ය කණුමුල්දෙණියේ ශ්‍රී ධර්මාශෝක නාහිමිපාණන් වහන්සේට අමා මහ නිවන් සුවයම ලැබේවා.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.