Print this Article


යුග යුග දිදුලන විදුලකර පිරිවෙන

රත්මලානේ ශ්‍රී ධර්මාලෝක නායක මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ කැලණියේ පෑලියගොඩ විද්‍යාලංකාර ශාස්ත්‍ර ශාලාව 1875 නොවැම්බර් 01 වනදා ඇරැඹූහ.එබැවින් උන්වහන්සේ විද්‍යාලංකාර පිරවෙන්හි ආදි කර්තෘන් වහන්සේ ද වේ. එම ශාස්ත්‍ර ශාලාව ඇරැඹීම සඳහා ධර්මාලෝක නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍ය රත්මලානේ ධර්මාරාම නාහිමියන්ගේද සියලු සහාය ලැබිණි.


රත්මලානේ ශ්‍රී‍්‍ර ධර්මාලෝක නා හිමි, රත්මලානේ ශ්‍රී‍්‍ර ධර්මාරාම නා හිමි , ලුනුපොකුණේ ශ්‍රී ධර්මානන්ද නා හිමි , කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නා හිමි , යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නා හිමි , නාත්තන්ඩියේ ශ්‍රී ප්‍රඥාකර නා හිමි

රත්මලානේ ශ්‍රී ධර්මාලෝක නා හිමි

එම ශාස්ත්‍ර ශාලාවෙන් රට දැය සමයට වැඩ ඇති හිතැති සම්භාවනීය සිසු පරපුරක් බිහිවූහ.

රත්මලානේ ශ්‍රී ධර්මාලෝක නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ශාස්ත්‍ර ශාලාවක් මෙන්ම “ධර්ම ශාලාවක්”ද තැනූහ. ශාස්ත්‍ර ශාලාව නම් විද්‍යාලංකාර පිරිවෙනයි. ධර්ම ශාලාව නම් රත්මලානේ ධර්මාරාම නාහිමියන් වේ. රත්මලානේ ශ්‍රී‍්‍ර ධර්මාලෝක නාහිමියන්ගේ පැවිදි දිවියෙහි සුවිශේෂී වූ නිර්මාණය නම් විද්‍යාලංකාර පිරිවෙනයි. මෙසේ දේශීය හා විදේශීය වශයෙන්ද මහඟු මෙහෙවරකට මග පෑදු විද්‍යාලංකාර පළමු පරිවේණාධිපති රත්මලානේ ශ්‍රී ධර්මාලෝක නාහිමියෝ 1887 දී අපවත් වී වදාළහ.

රත්මලානේ ශ්‍රී‍්‍ර ධර්මාරාම නා හිමි

රත්මලානේ ශ්‍රී ධර්මාරාම නාහිමියන් සිංහල භාෂාවෙහි න,ණ,ල,ළ අක්ෂර ව්‍යවහාරය පිළිබඳ විශේෂ සිංහල රීති පැහැදිලි කළ පඩිරුවනකි. 1887 දී විද්‍යාලංකාර පරිවේණාධිපතිධුරයට පත් උන්වහන්සේ පොත්පත් රැසක්ද රචනා කරන ලදී. විද්‍යාලංකාර පිරිවෙනින් ජාතික, ආගමික, ශාසනික, සංස්කෘතික වශයෙන් ඉටුකළ සේවා අපමණය. උන්වහන්සේගේ යුගය විද්‍යාලංකාර පිරිවෙන් ස්වර්ණමය යුගයකි. 1918 මැයි 3 වනදා රත්මලානේ ශ්‍රී ධර්මාරාම නාහිමියෝ අපවත් වී වදාළහ.

ලුනුපොකුණේ ශ්‍රී ධර්මානන්ද නා හිමි

1918 සිට 1945 දක්වා විද්‍යාලංකාර පිරිවෙනේ තෙවැනි පරිවෙණාධිපතින් වහන්සේ ලෙස කටයුතු කළ ලුනුපොකුණේ ශ්‍රී ධර්මානන්ද නාහිමියෝ පාලි භාෂාව පිළිබඳ විශාරද බුද්ධිමතෙකු වූහ. ග්‍රන්ථ සංස්කරණයෙහිද නියැළී සිටි ධර්මානන්ද නාහිමියන් වෙතින් දේශීය හා විදේශීය ශිෂ්‍යයෝද අධ්‍යාපනය ලැබූහ. බුදුදහම නැවත ඉන්දියානු සමාජයට හඳුන්වාදීමට ඉමහත් වෙහෙසක් දැරූහ. ශාස්ත්‍රීය සඟරා මඟින්ද පාඨකයන්ගේ මෙන්ම ලේඛකයන්ගේද ශාස්ත්‍ර පිපාසය සන්සිඳවීමට මහ මෙහෙවරක් සැලසූහ.

එමෙන්ම ගිහි සිසුන් සඳහාද පාසල් ආරම්භ කර අධ්‍යාපන මෙහෙවර තවත් ව්‍යාප්ත කළහ. ඒ හේතුවෙන් ධර්මාලෝක විද්‍යාලය ආරම්භ විය. ලුනුපොකුණේ ශ්‍රී ධර්මානන්ද නාහිමි යුගයේ දී භාරතයේ හිල්සා ස්තූපයෙන් ලද නිර්මල ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා විද්‍යාලංකාර පින්බිමට වැඩම කරවූහ. එම ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ විද්‍යාලංකාර පිරිවෙන සතු ඓතිහාසික පූජනීය වස්තුවකි. ධර්මානන්ද නාහිමියන්1945 ජුනි 18 වැනිදා අපවත් වී වදාළහ.

කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නා හිමි

විද්‍යාලංකාර පිරිවෙන්හි සිව්වැනි පරිවේණාධිපති ධුරයට පත් කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නාහිමියන් ව්‍යක්ත විශාරද දේශකයන් වහන්සේ නමක් වූහ. ඒ මඟින් විද්‍යාලංකාර පිරිවෙන සාමාන්‍ය ජනතාව අතරට ගමන් කළේය. පිරිවෙන උසස් මට්ටමකට රැගෙන ඒමට උන්වහන්සේ ක්‍රියා කළහ. රටේ දේශපාලන ප්‍රශ්නවලදි විද්‍යාලංකාර පිරිවෙන ඉදිරිපත් වීමට නිර්භීත වූයේ උන්වහන්සේගේ මාර්ගෝපදේශකත්වය තුළිනි. විද්‍යාලංකාර පිරිවෙන විශ්වවිද්‍යාලයක් බවට පත්වීම ඓතිහාසික සිදුවීමකි. එහි ප්‍රථම උප කුලප තීන් වහන්සේ වූයේද කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේය. 1950 දී විද්‍යාලංකාර පිරිවෙනේදී පැවැති ත්‍රිපිටක මහා ධර්ම සංගායනාවද විද්‍යාලංකාර පිරිවෙන් ඉතිහාසයේ ඓතිහාසික සිද්ධියකි. එම ධර්ම සංගායනාව පැවැති ඓතිහාසික මණ්ඩප වේදිකාව අද ද ශේෂව පවතී.

අපමණ මෙහෙවරක් ඉටු කළ කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1959 දී අපවත් වී වදාළහ.

යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නා හිමි

ලුනුපොකුණේ ශ්‍රී ධර්මානන්ද නාහිමි යුගයේ පටන් විද්‍යාලංකාර පිරිවෙනේ අධ්‍යක්‍ෂ ධුරය හොබවන ලද්දේ යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමිපාණන් වහන්සේය. විද්‍යාලංකාර දියුණුවේ ආරක්ෂාවටත් සංවර්ධනයටත් දිවා රාත්‍රි වෙහෙසී ක්‍රියා කළ යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1959 සිට 1986 දක්වා විද්‍යාලංකාර පස්වන පරිවේණාධිපතීන් වහන්සේ ලෙස කටයුතු කළහ.

විද්‍යාලංකාර පිරිවෙන විශ්වවිද්‍යාල තත්වයට පත්වීමෙන් පසු ඊට ඇතුළත් නොවූ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු කර ගෙනයාමට යක්කඩුවේ නාහිමියන් විසින් දෙමටගොඩ ගොඩනැගිලි ඉදිකරවා 1959 දී පිරිවෙන් පන්ති එහි ඇරැඹූහ. 1963 දී පන්නිපිටියේ විද්‍යාලංකාර පිරිවෙනද ඇරැඹූහ. යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සාහිත්‍යයට සිදුකර ඇත්තේ උදාර මෙහෙවරකි. උන්වහන්සේගේ බණ කතා පොත් පෙළට විශේෂ ස්ථානයක් හිමිවේ. මෑත යුගයේ මෙරට සසුනඹරේ පහළ වූ ශ්‍රේෂ්ඨ පඬිරුවනක් මෙන්ම සීලයෙන් ගුණයෙන් හෙබි සංඝ පීතෘන් වහන්සේ නමක්ද වූ යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමියන් සහ විද්‍යාලංකාර පිරිවෙන දෙකක් නොව එකක් ලෙස සැලකිය හැකිය.

1960 දී විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ කුලපති පදවියට පත්වූ යක්කඩුවේ නාහිමියෝ සාහිත්‍ය චක්‍රවර්ති ගෞරව උපාධියෙන්ද පිදුම් ලැබූහ. යක්කඩුවේ නාහිමියෝ 1986 මාර්තු 01 වනදා අපවත් වී වදාළහ.

නාත්තන්ඩියේ ශ්‍රී ප්‍රඥාකර නා හිමි

නාත්තන්ඩියේ ශ්‍රී ප්‍රඥාකර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ස්වකීය ආචාර්ය ප්‍රාචාර්යයන් වහන්සේලා වෙත මහත් ගෞරව බැතියෙන් කටයුතු කළහ. උන්වහන්සේ අචල ශ්‍රද්ධාවෙන් ම යුක්ත වූහ. ගුණ සම්පන්න වූහ. අපූර්ව සංවිධාන ශක්තියකින් යුක්ත වූ උන්වහන්සේ විද්‍යාලංකාර පිරිවෙනේ සයවැනි පරිවේණාධිපතීන් වහන්සේ ලෙස කටයුතු කර 1990 මැයි 26 වනදා අපවත් වී වදාළහ.

ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමි


වත්මන් පරිවේණාධිපති ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමි

කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ “මල්වතු මහා විහාර පාර්ශ්වයේ කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක අග්ගමහා සද්ධම්ම ජෝතිකාධජ ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විද්‍යාලංකාර පිරිවෙනේ හත්වැනි පරිවේණාධිපතීන් වහන්සේ ලෙස කටයුතු කරති.

ගිහි පැවිදි උභය සමාජයේම මහත් ගෞරවාදරයට පාත්‍ර වී වැඩ වෙසෙන වැලමිටියාවේ කුසල ධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සම්භාවනීය විචිත්‍ර දේශකයන් වහන්සේ නමක් වෙති. විද්‍යාලංකාර පිරිවෙනේ අභිවෘද්ධියටත්, ආරක්ෂාවටත්, පෝෂණයටත් මද විවේකයක් පවා නොතකා දිවා රෑ වෙහෙසී සිය දිවි දෙවැනි කොට සලකා විදුලකර නාමයට උපහාර දැක්වීමට ක්‍රියා කරන ආදර්ශවත් සංඝ පීතෘන්වහන්සේ නමකි. උන්වහන්සේ ඉතා නිහතමානීය. පරිත්‍යාගශීලිය. සැමට ආදර්ශවත්ය. විද්‍යාලංකාර පිරිවෙන්හි අනාගත චිරස්තිථිය පතා ඓතිහාසික මෙහෙවරක් ඉටු කරන උන්වහන්සේ, පිරිවෙනේ දියුණුවට හා ආරක්ෂාවට ගත සිත මෙහෙයවා ක්‍රියා කළ ගිහි පැවිදි උතුමන් වෙත කළගුණ සැලකීම පරම යුතුකමක් සේ සලකති. එය පිරිවෙන් සිසුන් වෙත ප්‍රායෝගික පුහුණුවක් ලබාදීම වස් විද්‍යාලංකාර දින සැමරුම් උත්සවය පවත්වනු ලැබේ.

විද්‍යාලංකාර පිරිවෙනට වසර 137 ක් සපිරීම නිමිත්තෙන් විද්‍යාලංකාර පරිවේණාධිපති වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ අනුශාසනා පරිදි විද්‍යාලංකාර දින උත්සවය හා පින්කම් මාලාව මෙම 6 වැනිදා සිට 9 වැනිදා දක්වා විද්‍යාලංකාර පිරිවෙනේදී පැවැත්වේ. ඒ අනුව 6 වනදා පරිත්‍රාණ ධර්ම දේශනාව ද 7,8 දිනවල ධර්ම දේශනා ද 9 වනදා උත්සව මහා සභාව ද පැවැත්වේ. දිනපතා පස්වරු 5 – 8.30 දක්වා ඓතිහාසික ශ්‍රී‍්‍ර සර්වඥ ධාතු ප්‍රදර්ශනය හා වන්දනාව සිදුකැරේ.

පාරිවේණික සිසුන් සඳහා ත්‍යාග ප්‍රදානය හා උත්සව සභාව ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් ගේ ප්‍රධානත්වයෙන් සිදුකැරේ. එදින ගිහි පැවිදි උතුමන් කීපදෙනෙකු සඳහා ගෞරවනාම ප්‍රදානය ද සිදුකැරේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.