Print this Article


සිව්මහල් ධාතුමන්දිරය විවෘත කිරීමේ උළෙලට පින්කම් මාලාවක්

සිව්මහල් ධාතුමන්දිරය විවෘත කිරීමේ උළෙලට පින්කම් මාලාවක්

කොළඹ 01 ලෝටස් පාරේ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ 2600 සම්බුද්ධ ජයන්තිය නිමිත්තෙන් ඉදිකළ සිව් මහල් ධාතු මන්දිරය විවෘත කිරීම හා වාර්ෂික කඨින පින්කමද නිමිත්තෙන් මේ මස 20 සිට 24 දක්වා පින්කම් මාලාවක් පැවැත්වේ. එම පින්කම් මාලාව සම්බුද්ධාලෝක විහාරාධිපති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යාය මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරවාසී ශාස්ත්‍රපති විතාරන්දෙණියේ මේධානන්ද හිමියන්ගේ ද මෙහෙයවීමෙන් පැවැත්වේ.

ආරම්භක වැඩසටහන මේ මස 20 වැනි දා සවස 4 ට බුද්ධ ප්‍රතිමා වහන්සේ රැගත් පෙරහර ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය අසලින් ද, 4.30 ට විශේෂ ආශිර්වාද පූජාව දරණාගම කුසලධම්ම හිමියන් විසින් ද, 7.00 ට හත්වරුවේ පිරිත් දේශනාවේ ආරම්භයද සිදුවේ. 21 වැනි දා සවස 4.30 බුද්ධ ප්‍රතිමා වහන්සේ රැගත් පෙරහර ආරම්භ කිරීම ලේක්හවුස් ආයතනය හා විදුලිබල මණ්ඩලය අසල සිට, සවස 5 ට විශේෂ පූජාව බොරැල්ලේ අතුල නාහිමියන් විසිනි. 22 වැනි දා සවස 4.30 ට බුද්ධ ප්‍රතිමාව රැගත් පෙරහර ආරම්භ වේ. ශ්‍රී ලංකා මහ බැංකුව හා ලංකා බැංකු මූලස්ථානය අසල සිට එදින විශේෂ ආශිර්වාද පූජාව පන්නල ඤාණාලෝක හිමියන් විසිනි.

23 වැනි දා සවස 6 ට බුද්ධ ප්‍රතිමා වහන්සේ රැගත් පෙරහර පිටකොටුවේ බෝධීන් වහන්සේ අසලින් ආරම්භ වෙයි. 6.30 ට ධාතු මන්දිරයේ විදුලිය විවෘත කිරීම, 7 ට විශේෂ පූජාව උඩුවේ ධම්මාලෝක හිමියන් විසිනි. එදින රාත්‍රිය පිරිත් දෙසුම පැවැත්වෙන අතර එදින විශේෂ දායකත්වය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසිනි. රාත්‍රි 8.30 ට හත්වරුවේ පිරිත් අනුශාසනාව හා දොරකඩ අස්නකීම.

24 වැනිදා පෙරවරු 4 ට කඨින පෙරහර ජනාධිපති මන්දිරයේ සිට, උදෑසන 6 ට කඨින පූජාවද, 7 ට සඟසතු දානයද පෙරවරු 9 ට සර්වඥ ධාතු මන්දිරය විවෘත කිරීම හා උත්සව සභාවද මහා නාහිමිවරු ඇතුළු මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ප්‍රධාන ආරාධිත අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත. එදින දවල් ශතාධික මහා සංඝරත්නය උදෙසා සපිරිකර දක්‍ෂිණාවක් පිරිනැමේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.