Print this Article


කලකට පෙර අනුශාසනා ලැබුණේ නිවසේ ක්‍රියාකාරිත්වයෙන්මයි

කලකට පෙර අනුශාසනා ලැබුණේ නිවසේ ක්‍රියාකාරිත්වයෙන්මයි

තමන්ට ලබා දිය නොහැකි අනුශාසනාව ආච්චිගෙන් සීයාගෙන් ලබාදීමට අප පියවරගත යුතුයි. ආච්චි සීයා තමන්ගේ නිවසට ගෙන්වා ගෙන හැකි පමණින් ඔවුන්ට සලකමින් දරුවන්ට ඔවුන්ගේ අනුශාසනා ලබා දිය යුතුයි

දරුවන් මල් කැකුළු වගේ, මේ දරුවන්ට නිසි පරිදි අනුශාසනා ලබා දීම මඟින් ඔවුන් යහමඟට ගැනීම කාලීන අවශ්‍යතාවයක් වෙලා තියෙනවා. අපේ හැදෙන වැඩෙන දරුවන්ට අනුශාසනා ලබා ගැනීමට තිබෙන්නේ පන්සල පමණක් නොවේ.අපේ ආත්තම්මා සීයා අනුශාසනා කරනවා. ගුරුවරු අනුශාසනා කරනවා. ඒ අවවාද නෙමෙයි.

යමක් සිදුවීමට පෙර ලබාදෙන දැනුම්දීම අනුශාසනා ලෙස සලකන්න පුළුවන්. ගමේ තැපැල් මාමා හොඳ අනුශාසකවරයෙක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. ඔහුට නිවසක වැරැද්ද හොඳින් තේරෙනවා. එන ලියුමෙන් කියන්න පුළුවන් කුමන හෝ වරදක් සිදුවීමට යන බව. බොහෝ විට තැපැල් මාමා අපේ ගමේ කෙනෙක් එතුමා පවුල් ගැන දන්නවා. වැඩිහිටියන්ට හිතවත්, බොහෝ විට වැඩිහිටියන්ට නොඅඟවා දරුවන්ට අනුශාසනාවක් ලබාදෙනවා. නුසුදුසු අයකුගෙන් ලිපියක් පැමිණෙන්නේ නම් අනුශාසනා ලබාදෙනවා.

“දරුවෝ මම මේ ළමයත් හොඳට දන්නව. එයා එච්චර හොඳ කෙනෙක් නෙමෙයි. ඒ නිසා පුතේ, දුවේ පරිස්සමින් මම අම්ම තාත්තට කියන්නෙ නෑ . දැන්ම ඔය ඇසුර නවත්තන්න. කෙතරම් හොඳ අනුශාසකවරයෙක්ද?”

ගමේ වෙද මහත්තයා අපට හිටපු හොඳ අනුශාසකවරයෙක් තරුණ තරුණියො විතරක් නෙමෙයි බාල , මහලු, හැමෝම වෙද මහත්තය ළඟට, බෙහෙත් ගන්න යනව. අතක් පයක් බිඳගෙන ගිය වේලාවට එක් වරම බෙහෙත් බැඳල එවන්නෙ නැහැ. කොයිතරම් අනුශාසනා කරනවද? රණ්ඩු වෙන්න එපා. දඟලන්න එපා කියනව. මව්පියො නැති වේලාවට එහෙ මෙහෙ යන්න එපා කියනව. අනතුරු වුණහම අධ්‍යාපනය අඩාල වන බව කියනව,සමාජයට කෙතරම් වැඩදායි අනුශාසකවරයෙක්ද?

අද අපි මෙවැනි අය ළඟට අපගේ දූ දරුවන් ඉදිරිපත් කරනවාද? අපට වැරැදුණු එක් තැනක් මෙයයි. චැනල් සේවාව සොයාගෙන යාම නිසා වෙද මහත්තයා අපේ සමාජයෙන් ඈත් වෙලා.අපේ ගමේත් නගරයේත් අපේ සමාජයේ සිටිය යුතු ආච්චි , සීයා, ඈත් වෙලා. නගරයේ නම් ඒ අය ගමේ ඉන්නවා. ගමේ නම් තමන්ගේ ගේ පිටිපස්සෙ ඇතැම් විට ඒ අය ඉන්නෙ.

අද අපි දරුවන් මේ වැඩිහිටි ඇසුරට යොමු කරන්නේ නැහැ . ඔවුන්ගේ අදහස් පරණයි. ඒවා සුදුසු නෑ, මේ අද බොහෝ විට දරන මතයක්.

එහෙත් සමාජයේ ඇසූ පිරූ තැන් ඇති වැඩිහිටියෝ අපට අනුශාසනා ලබා දෙන්නේ වගකීමක්ද සහිතවයි.ඔවුන් ඒ වගකීම දරන්නත් සූදානම්. අපි දරුවන් පන්තියට නිවසට තනිකරල නෑදෑ ගෙදරකට සීමා කරල ඔවුන් වැඩිහිටියන්ගෙන් ඈත් කරනව.අපේ ආච්චි සීයා මේවට සිතින් වෛර කරනවා.

එයාලට ඕන විදිහටනේ. ළමයි හදන්නෙ.අපි ක්‍රිස්තු පූර්ව හයේ කට්ටියලු ‘ මේවැනි වදන් වයෝවෘද්ධ අයගෙන් අපට අසන්නට ලැබෙනවා. එතනම වැඩිහිටි ආශිර්වාදය අපට නොලැබී යනවා.

තමන්ට ලබා දිය නොහැකි අනුශාසනාව ආච්චිගෙන් සීයාගෙන් ලබාදීමට අප පියවරගත යුතුයි. ආච්චි සීයා තමන්ගේ නිවසට ගෙන්වා ගෙන හැකි පමණින් ඔවුන්ට සලකමින් දරුවන්ට ඔවුන්ගේ අනුශාසනා ලබා දිය යුතුයි.

කලකට පෙර අපට අනුශාසනා ලැබුණේ නිවසේ ක්‍රියාකාරිත්වයෙන්මයි.

මන්න කෙටියත් බිම තබාගෙන පලා ටික කෙහෙල් මුහය සිහින්ව ලියනවිට කොස් ටික කපා ගන්නා විට ඊට දමන කොස් ඇට ටික සුද්දකරන විට වටේට බලාගෙන ඉන්නා දූ දරවැන්ට ලොකු අනුශාසනාවක් ලැබුණා. ඒවා අවවාද නොවෙයි.අද මේ පරිසරය ඈත්වෙලා අප ඊට හේතු දක්වනවා. රූපවාහිනිය නිවසට ඇවිත්, අන්තර්ජාලය තියෙනවා, දුරකතන සංවාද වැඩියි. බාහිර අය නිරතුරුවම දුරකතනයෙන් අමතනවා මේ නිසා නිවසේ අය කරනු ලබන කතාවලට බාධා ඇතිවනවා.

මේ හේතු දක්වමින් අපගේ අඩුපාඩු සාධාරණ කරනවා.

නමුත් ඒ සියලු උපකරණ අපගේ සබඳතා වඩාත් ළංකර ඇති බව අප තේරුම් නොගන්නේ ඇයි.

පියා ඈතක සිටිනවා නම් ඉතා පහසුවෙන් ඔහුට කතා කරන්න පුළුවන්. අම්ම සිටියත් එසේමයි. ඔබට කිසි දිනක හමු වී සාකච්ඡා කිරීමට නොහැකි ස්වාමීන් වහන්සේ රූපවාහිනි නාලිකා ඔස්සේ දැක ගැනීමට පුළුවන්. ඔවුන් හා ප්‍රශ්න සාකච්ඡා කළ හැකියි. ඔබ අගයන චරිත තිබෙනවා. ඒ අයගෙන් නිවැරැදි ආදර්ශ ලබා ගන්නට පුළුවන්. රූපවාහිනියට ගුවන් විදුලියට දොස් කීමෙන් පමණක් ඵලක් නැහැ. නිවැරැදි දේ සුදුසු දේ අප තොරා ගැනීමයි වැදගත් වන්නේ.

බස් නැවතුම්පළක සිටියදී එහි සිටින සියලුම දෙනා සමඟ අප කතාබහ කරනවාද? මනස අවුල් කරගත් අයෙක් ඉන්න පුළුවන්. යාචකයෙක් ඉන්න පුළුවන් ඒ වගේම අපේ ගමටම යන අප සම¼ඟ සුහද නැති අයෙක් ඉන්න පුළුවන්.මේ කිසිවකු සමඟ අප කතා බහ කරන්නේ නැහැ.

එහෙනම් ඇයි අපි රූපවාහිනියට දොස් කියන්නෙ. අද අපට ගුවන් විදුලි නාලිකා විශාල සංඛ්‍යාවක් තියෙනව. රූපවාහිනි නාළිකාත් තිහකට අධික සංඛ්‍යාවක් තියෙනව. නිවැරැදි නාලිකාව තෝරා ගැනීමයි වැදගත් වන්නේ. වැරැද්දක් සිදු කරගෙන සමාව යැදීමට වඩා වැරැදි සිදු නොවීමට අප තරුණ පරපුර දැනුවත් කළ යුතු වනවා.

එමෙන්ම අවවාද ලබාදීමට පෙර මව්පියන් විශේෂයෙන්ම තම දූ දරුවන්ට නිසි පරිදි අවශ්‍යතා ඉටු කර ඇත්දැයි සොයා බැලියයුතු වෙනවා.

තම දූ දරුවන් විනෝද ගමන් රැගෙන යනවාද? ගඟක, මුහුදක විනෝදවීමට ඔවුන් රැගෙන යනවාද ඔවුන් කුරුලු ගීත අසන්න ආසයි. දරුවාට අවශ්‍ය කලා රසය නිසි පරිදි ලබාදුන්නාද? අපේ පැරැණි කියමනක් තියෙනවා. අවවාදයට වඩා ආදර්ශය උතුම් කියා ‘ එය ඇත්තෙන්ම අවලාදයට වඩා ආදර්ශය උතුම් යැයි අප සිත්හි තබා ගත්තත් නිවැරදියි.

අද බොහෝ විට වැඩිහිටියෙන්ගෙන් අසන්නට ලැබෙන්නේ අවවාදයන්ට වඩා අවලාදයි. ඇතැමුන් දරුවන්ට පවා පවසන්නේ ..’මෙහෙම කළොත් මම ජීවිතේ නැති කරගන්නවා, යන ප්‍රකාශයයි.

අපට ඇතැම් අවවාද ලැබෙන්නේ පොදු ඒවා ලෙසින්. ඒ ගැන අප වඩාත්ම සැලකිලිමත් වන්නට ඕන. ඇතැම් විට වැවකට, ගඟකට, නාන්නට ගියහොත් එතැන අවවාදයයි, යනුවෙන් දක්වා තිබෙන්නේ නොකළ යුතු ක්‍රියාවන් නිසා පාරේ වාහන පදවා ගෙන යද්දි අවවාද දක්වා තිබෙනවා. අප මේ ගැන අවධානය යොමු කරනවාද?

අනුශාසනාව දෙස බලන ඇසම එවන් අවවාද කෙරෙහි වඩාත්ම යොමු කළ යුත්තේ ඒ අවවාද සමස්ත සමාජයටම යොමුකර ඇති බැවින්. ඒ අවවාද අප ඉක්මවා ගියහොත් බෙහෝ විට අපට දුක් සහිත ඉරණමක් අත්වන්නට පුළුවන්.මේ නිසා නිරතුරුවම අනුශාසනාව සේම අවවාදය ගැන ඇස ගසා ගැනීමට අවධානය යොමු කළ යුතුවනවා.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.