UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

<%on error resume next%>

අසූමහා ශ්‍රාවක චරිත- 22

බුදුරදුන් ගොඩ නැඟු ධර්ම රාජ්‍යයෙහි මහ ඇමැතිවරු

කුණ්ඩධාන මහ රහතන් වහන්සේ

අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි පළමුව සලාක ගන්නා භික්‍ෂූන් අතුරෙන් කුණ්ඩධාන රහතන් වහන්සේ අග්‍ර ස්ථානය හිමිකර ගැනීමට තරම් පින්වන්ත වූවා. ඒ උතුම් තනතුර ලැබීම සඳහා පදුමුත්තර බුදුරදුන්ගේ කාලයෙහි නියත විවරණ ලබා බොහෝ පින් දහම් සිදු කරමින් කල් ගෙවූ බව සඳහන් වෙනවා.

අප බුදුරදුන්ට පෙර වැඩසිටිය කාශ්‍යප බුදුරදුන්ගේ කාලයෙහි මේ කුණ්ඩධාන තෙරුන් භුමාටු දෙවියෙකුව ඉපිද සිටියා. එක්තරා දිනක විනය කර්ම කිරීමට වැඩම වන යහළු භික්‍ෂු දෙනමකගේ මිත්‍රත්වය පරීක්‍ෂා කිරීමට කල්පනා කළා. මේ අතර ගමන් කරමින් සිටි එක් භික්‍ෂු නමක් තම පාත්‍ර සිවුරු අනෙක් භික්‍ෂූ නමට භාර දී සිරුරු කිස සඳහා වනයට ගොස් ආපසු එන විට ඉහත කී භුමාටු දෙවියා ස්ත්‍රි රූපයක් මවාගෙන අවුල් වූ කෙස් ඇතිව වස්ත්‍රය අඳිමින් පාසිවුරු ගෙන සිටි භික්ෂු නමට පෙනෙන සේ වනයේ සිට එන තෙරුන් පසු පස ගමන් කරන්ට වූවා. එය දුටු නැවතී සිටි භික්‍ෂු නම වනයේ සිට පැමිණි තෙරුන්ට පාපි භික්‍ෂුවක යයි චෝදනා කොට මිතුරුකම අත්හැර දැමුවා.

පොහොය ගෙට ගොස් දැඩි අමනාපයෙන් පසු වෙද්දී භුමාටු දෙවියන් තමා කළ වරද පිළිබඳව බියටත් තැවීමටත් පත්ව නැවත මිනිස් වෙසකින් අවුත් සියලු කරුණු වටහා දී කළ වරදට සමාව ගත්තා. එයින් අනතුරුව භික්‍ෂුන් එකතුව නිසි පරිදි විනය කර්ම සිදු කළා.

ඉහත කී දේවතාවා කළ අකුසලය නිසා දීර්ඝ කාලයක් අපායෙහි ඉපිද දුක් වින්දා. මිනිස් ලොව උපන් සෑම විටම අපමණ නින්දා අපහාස චෝදනා ලැබුවා. අප ගෞතම බුදුරදුන් කල සැවැත්නුවර බමුණු කුලයක ඉපිද කුණ්ඩධාන නමින් ප්‍රසිද්ධ වූවා. මහලු වියට ළංවත්ව බුදුරදුන් වෙත අවුත් පැවිද්ද ලබාගත්තා. පෙර භුමාටු දෙවියෙකුව ඉපිද ස්ත්‍රී රුවක් මවා භික්‍ෂූන් භේද කිරීමේ පාපකර්මය නිසා සෑම විටකම කුණ්ඩධාන තෙරුන් සමග ස්ත්‍රියක් ගමන් කරන්නට වූවා. උන්වහන්සේට එය නොපෙනුනත් අන් සැම දෙනාටම පෙනෙන්නට වූ නිසා බොහෝ දෙනාගෙන් නින්දා ලබන්නට වුණා. කොසොල් රජතුමා ඉදිරිපත් වී පරික්‍ෂා කිරීමේ දී එවැනි ස්ත්‍රිරූපයක් දක්නට ලැබෙතත් එවැනි කාන්තාවක් සොයා ගැනීමට පුළුවන් වුනේ්නෑ. එය පෙර කර්මයක් නිසා සිදුවූවක් බව වටහා ගත් කොසොල් රජතුමා අනුකම්පා කර උන්වහන්සේට අවශ්‍ය සිවු පසය ලබා දීමට පියවර ගත්තා.

රජතුමා උපස්ථාන කරන බව දැනගත් සමහර අය රජතුමාත් මේ පාපියා සමග එක් වූයේ යයි ද ඔහු පෝෂණය කරන්නට වූයේ යයිද එතුමාට ද චෝදනා කරන්නට පටන් ගත්තා. එයින් නොනැවතුණූ සමහර පෘතග්ජන භික්‍ෂූන් කුණ්ඩධාන තෙරුන්ට නිගරු කළා.මේ තොරතුරු දැනගත් බුදුරදුන් කුණ්ඩධාන තෙරුන්ට අවවාද කොට ධර්මය දේශනා කළා. එය මැනවින් සිතට ගත් කුණ්ඩධාන තෙරුන් දැඩි වෙහෙසක් ගෙන භාවනා කොට රහත් භාවයට පත්වූවා. දේවතාවෙක්ව සිටිය දී සිදු කළ ඉහත කී පාප ක්‍රියාවේ විපාක වශයෙන් පසු පස ගමන් කරන බවට පෙනුණු ස්ත්‍රී රූපය රහත්වීමත් සමග අතුරුදන් වූවා.

දිනක් බුදුරදුන් උග්ග නුවර සැදැහැති සුභද්‍රාවන්ගේ නිවසේ දානය සඳහා රහත් භික්‍ෂූන් පමණක් වඩමවන්න යයි අනඳ තෙරුන්ට දැන්වූවා. දානය සඳහා අනඳ හිමියන් සලාක (නම ලියූ පතුරක් හෝ තුන්ඩුවක්) දෙන අවස්ථාවේදී කුණ්ඩධාන තෙරුන්ද සලාකයක් ලබා ගැනීමට උත්සාහ කළා. මේ පිළිබඳව අනඳ හිමියන් බුදුරදුන්ට දැන්වූවා. බුදුරදුන්ගේ නියමයෙන් සලාකය දීමට පැමිණෙන විට කුණ්ඩධාන තෙරුන් අහසට පැන නැගි චතුර්ථ ධ්‍යාන සමාපත්තියට සමවැද වැඩ සිටිය බව ධර්ම ග්‍රන්ථයන්හි සඳහන් වෙනවා.

අසූ මහා ශ්‍රාවකයන් අතුරෙන් එක් නමක් බවට පත්වීමට තරම් වාසනාව තිබූ කුණ්ඩධාන තෙරුන් පැවිද්දේ සිට රහත්වන තුරු කාන්තාවක සමග ගමන් කරන්නේ යයි ලැබූ චෝදනා නිසා විඳින්නට සිදුවූ නින්දා අපහාස වල සීමාවක් නෑ. පිණ්ඩපාතයේ වැඩි විටද උන්වහන්සේගේ පාත්‍රයට බත් හැන්දක් බෙදා පසු පස එන යෙහෙළියට තවත් හැන්දක් දෙනවා යයි ප්‍රකාශ කළ අවස්ථා නිරන්තරයෙන් තිබුණා. ආත්මභාව ගණනක්ම මේ අන්දමට විවිධ නින්දා අපහාස, දේවාත්මයක් ලබා සිටිය දී කළ කර්මයට අනුව විඳින්නට සිදු වුවත් පිරූ පාරමී බලයෙන් නිවන් අවබෝධ කර ගැනීමටත් අග තනතුරක් ලැබීමටත් වාසනාවන්ත වූ බව අප සිතට ගත යුතුයි.


අසූමහා ශ්‍රාවක චරිත 21 - බුදුරදුන් ගොඩ නැඟු ධර්ම රාජ්‍යයෙහි මහ ඇමැතිවරු - රට්ඨපාල මහ රහතන් වහන්සේ
 

 
වප් අමාවක පෝය

වප් අමාවක පෝය නොවැම්බර් මස 13 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 07.14 ට ලබයි.
14 වැනි දා බදාදා පූර්ව භාග 03.39 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 13 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය නොවැම්බර් 20 වැනි දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

නොවැම්බර් 13

First Quarterපුර අටවක

නොවැම්බර් 20

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 27

Second Quarterඅව අටවක

දෙසැම්බර් 06


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]