Print this Article


<%on error resume next%>

දහමෙන් පරිබාහිරව යා හැකි මඟක් නැහැ

අප සෑම දෙනාම මේ ශාසනය තුළ යම් ඉලක්කයක් අරමුණක් ඇති කරගෙන නිමාව දක්වා ම යන්න නම් අප කාටවත් ම මේ දහම අතහැරලා මේ දහමෙන් පරිබාහිරව යා හැකි මඟක් නැහැ. ඒ නිසා ඔබටත් අපටත් අමිහිරි විය හැකි අපහසු වියහැකි හරි දේ හරි මඟ අනුගමනය කිරීමෙන් මිස මේ ජීවිතය තුළ හෝ මේ ගෞතම බුද්ධ ශාසනය තුළ හෝ වෙනත් සසුනක දී හෝ නිර්වාණ ධර්මය අවබෝධ කොට ගන්නට නම් එය පිළිපැදිය යුතුª වෙනවා.

බුදුරදුන් දේශනා කළ ධර්මය මනාකොට බැසගන්නේ නම් මරණ මොහොතේ දී ඔහු එය අවබෝධ කරගන්නා බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. මරණ මොහොතේ් නොහැකි වුණොත් ධම්මකථික දෙවිවරුන් අතර ඉපිද එය අබෝධ කර ගන්නා බවද, එසේත් නොහැකි වූයේ නම් මතු කලෙක පසේබුදුබව ලබා එබඳු අය ධර්මාවබෝධයෙන් නිවන පසක්කර ගන්නා බව ද, එසේත් නොහැකි වූයේ නම් මතු බුදුවරු පහල වන කල්හි සතර පද ගාථාවක් අසා චතුරාර්ය සත්‍ය අවබෝධ කර නිවන් දොර විවර කර ගන්නා බවද දේශනා කළා.

මෙසේ අවධාරණය කළ දේශනා අප හොඳින් විවරණය කොට ගෙන එක් එක් පුද්ගල සංකල්පයන් තුළ නතර වෙන්නේ් නැතුව හිර වෙන්නේ් නැතුව නවතින්නේ් නැතුව හරි දේ හරි ක්‍රමය සොයාගත යුතු වෙනවා. යම් කෙනෙකු මේ ශාසන ප්‍රතිපදාවට පිවිසෙන්නට නම් අනුපිළිවෙලක් බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒ දේශනාව තුළ මුලින්ම වදාළේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය යි. සද්ධර්ම ශ්‍රවණය යි, යෝනිසෝමසිකාරය යි, ධම්මානුධම්ම පටිපදාව යි. මේ අනුව පැහැදිලි වෙනවා අප ගමන් කළයුතු වැඩ පිළිවෙල පිළිබඳවත් අපේ සිහිය, අපගේ් ඇසුර කෙබඳු දිසාවකට නැමී තිබිය යුතු දැයි හොඳින් විවරණය වෙනවා.

අප යම් වැඩපිළිවෙලකට අනුධර්ම ප්‍රතිපදාවක අල්ප වූ ස්වල්ප වශයෙන් යෙදෙන්නේ නම් එය වේගවත් නොවන්න පුළුවනි. අල්ප වූ ස්වල්ප වූ මගින් යෙදෙන්නේ නමුත් එය ඉලක්කය විය යුත්තේ ලෝකෝත්තර මඟටයි. ලෝකෝත්තර සම්මා දිට්ඨිය උපදවා ගැනීමයි. ලෝකෝත්තර සම්මා දිට්ඨියට පැමිණීම ලෝකෝත්තර සම්මා දිට්ඨිය උපදවා ගැනීම ආර්යභාවයට පැමිණීම යි. යම් කෙනෙකු ඒ නූපන් මඟ උපදවා ගන්නේ ද එබඳු කෙනා මේ ශාසනයේ උරුමය අයිතිය ලද නැවත කිසි දිනෙක සතර අපායට නො වැටෙන උත්තමයන් වහන්සේ නමක් බවට පත්වන බව දේශනා සඳහන් වෙනවා.

අපේ ධම්මානුධම්ම පටිපදාවේ ඉලක්කයක් තිබෙන්න ඕන. ලෝකෝත්තර සම්මා දිට්ඨිය නිවන් මඟ ඉලක්ක කරගත් ආකාරයේ වැඩපිළිවෙලක් එහි තිබිය යුතුයි. උදාහරණ ලෙස අඹ ගෙඩියක් කඩා ගන්නට ඕනනම් අඹ ගෙඩිය තිබෙන තැනමයි උඩ පනින්ට ඕන. අඹ ගෙඩිය අන් තැනක තිබිය දී වෙනත් තැනක උඩ පැන්නොත් අඹ ගෙඩිය කඩා ගන්නට ලැබෙන්නේ නැහැ. අඹ ගෙඩිය කඩා ගන්නට නම් අඹ ගෙඩිය තිබෙන තැනමයි උඩ පනින්නට ඕන. ඒ වගේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය අඹ ගෙඩියනම් ඒ අඹ ගෙඩිය කඩා ගන්නට පුළුවන් විදිහේ උඩ පැනීමක් වැඩ පිළිවෙළක් තිබෙන්නට ඕන.

ඒ වගේ අල්ප වූ ස්වල්ප වූ වැඩපිළිවෙලක් වුවත් එය ඉලක්ක අරමුණු වෙලා තිබෙන්න ඕන. ඒ තුළ විවේකය ඇසුරුකොට විරාගය ඇසුරුකොට නිරෝධය ඇසුරු කොට නිවනට නැමෙනත් කොට වඩන ප්‍රතිපදාවක් වෙන්න ඕන. බුදුුගුණ භාවනාව පවා කෙසේ හෝ වඩන කෙසේ හෝ භාවිතා කරන භාවනාව වැඩපිළිවෙල තුළ නිවන අපේක්ෂා කරන්න පුළුවන්. ඒත් එය කිසිදිනක ඉටුනොවන බව අප මතක තබාගත යුතු වෙනවා.

ධම්මානුධම්ම ප්‍රතිපදාව කියා කියන්නේ අප සිල්ගුණ පුරනවා. දන් පැන් පූජා කරනවා. භාවනා කරනවා. මේ එක් එක් ප්‍රතිපදාවෙන් යුක්තයි කියා වචනයේ ප්‍රමාණවත් නැහැ. ඒ ක්‍රියාව ද ප්‍රමාණවත් නැහැ. ඒ සඳහා රූපාදි ස්කන්ධයන් දැන, ඊට හේතුව දැන, එය නැතිකරන පිළිවෙල දැන, ප්‍රතිපදාවට පැමිණීමෙන් පමණක් සුපටිපන්න මනාකොට පිළිපදින ප්‍රතිපදාවකට පිවිසෙන බව දේශනා වුණා.

ඒනිසා අපි හොඳින් වටහා ගත යුතුයි. කෙසේ හෝ පිළිපදින කෙසේ හෝ භාවිතා කරන අනිත්‍ය භාවනාව, දුක පිළිබඳව ප්‍රකට කරන භාවනාවක්්, අනාත්මය ප්‍රකට කරන භාවනාවක් වෙන්න පුළුවන්, අසුභය, මෛත්‍රිය, කරුණාව, මුදිතා, උපේක්ෂාව වෙන්න පුළුවන් මේ කුමන භාවනාවක් වැඩුවත් ඒක ලෝකෝත්තර ප්‍රතිපදාවට පූර්ව ප්‍රතිපදාවක් වෙන්නේ් නැහැ.

සංයුක්ත නිකායේ එන සත්තට්ඨාන සූත්‍රය කියවා විමසා බැලුවොත් මේ ප්‍රතිපදාව වැටහෙනවා. එහි ස්ථාන හතක් දැන කුසල විය යුතු බව සඳහන් වෙනවා. රූපයත්, රූප සමුදයත්, රූප නිරෝධයත්, නිරෝධ කරන පිළිවෙලත්, රූපයේ ආශ්වාදයත්, රූපයේ ආදීනයත්, රූපයේ නිස්සරණයත් යන ආර්ය ප්‍රතිපදාවට පිවිසිය යුතුªබව දේශනා කරනවා.

අපට සැක සංකා පුද්ගල සංකාවලට නො නැමී වටහා ගැනීමට පුළුවන් නුවණක් තිබෙන්නට ඕන. ධම්මානුධම්ම ප්‍රතිපදාව කියා කියන්නේ කුමක හෝ යෙදීම නොව ඒ යෙදීමට ප්‍රථම දැනගත යුතු කොටසක් තිබෙනවා. ඒ දැනගත යුතු ඉගෙනගත යුතු දේ දැන ඉගෙන ගන්නේද කියන අදහස් තම තමන් තුළින් විමසා බැලිය යුතුයි. මේ ධම්මානුධම්ම ප්‍රතිපදාවෙහි ලෝකෝත්තර ඉලක්කය කරා යන්නට පුළුවන් වැඩපිළිවෙලක් වෙන්නට ඕන. එහෙම වැඩපිළිවෙලකට ඊට සුදුසු විදිහේ මනස ලිහිල් වීමත් මේ තුළ සිදුවෙන්න ඕන. ඒ අනුව බුදුරජාණන් වහන්සේ ධම්මානුධම්ම ප්‍රතිපදාවට පූර්වත්වයෙන් යෝනිසෝ මනසිකාරය නැතිනම් නුවණින් මෙනෙහි කිරීම තිබිය යුතු ගුණාංග ලෙස වදාළා.

යෝනිසෝමනසිකාරය ලෝකයේ බොහෝ දෙනා විවිධ ලෙස එය අර්ථවත් කරනවා. ඒ අතරින් සැබෑ වූ ම අර්ථය දැනගත යුතුයි. කෙසේ හෝ කරන මනසිකාරයත් මෙනෙහි කිරීමත් නොව එය නුවණින් මෙනෙහි කිරීම ධම්මානුධම්ම ප්‍රතිපදාව වන්නේ.

යෝනිසෝමනසිකාරය කියන වචනයට යොදන්න පුළුවන් පහසු වචනය නුවණින් මෙනෙහි කිරීමයි. අයෝනිසෝ මනසිකාරය එහිි ප්‍රතිවිරෝධි වචනය යි. අයෝනිසෝ මනසිකාරයෙන් වෙන්වෙලා නුවණින් මෙනෙහි කරන්නට ඉගෙන ගන්න ඕන. නුවණින් මෙනෙහි කරනවා කියනකොට ඒක ලෝකයට සාපේක්ෂව දකින්නට පුළුවන්. අප දන්නවා තථාගතයන් වහන්සේ ලෝකයේ පහළ වෙන්නත් කලින් යම් යම් ධම්මානුධම්ම ප්‍රතිපදාවන් තිබුණා. ඒ සඳහා මනස මෙහෙයවන ක්‍රමයක් ලෝකයේ තිබුණා. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ තමන්ගේ ආචාර්යවරු කරා වැඩමකළ බව සඳහන් වෙනවා. ආලාරාමකාරම උද්දකාරාම වැනි තවුස්වරු ගැන ධ්‍යාන සමාපත්තිලාභීන් ගැන අප දන්නවා. ලොවුතුරු බුදුරජාණන් වහන්සේ ලොව පහල වන්නටත් ප්‍රථම මේ නුවණ මෙහෙයවෙලා රූප අරූපි ධ්‍යානය, රූපි අරූපි ධ්‍යාන බඹතල කරා යන්නට පුළුවන් ගමන් මගක් වැඩපිළිවෙලක් භාවනාවක් ධ්‍යානයක් සමාපත්තියක් ලෝකයේ පැවතුණා. ඒ තුළ යෙදෙන්නෙත් යෝනිසෝ මනසිකාරයක්. නමුත් ඒ ලෝකයට සාපේක්ෂව යි. ඒ නුවණින් මෙනෙහි කිරීම ලෝකයෙන් එතෙර කරන්නට ලෝකයෙන් තරණය කරන්නට ප්‍රමාණවත් වන්නේ නැහැ. එය කාම ලෝකය ඉක්මවා රූප ලෝකය, රූප ලෝකය ඉක්මවා අරූපි ලෝකය, අරූපි ලෝකය ඉක්්මවා ඉහළ බඹතල දක්වා ලොව කෙළවරට යාමට සමත් වුණා. එහෙත් එයින් තරණය වන්නට එතෙර වන්නට නොහැකි වුණා.

එනිසා ඔබ අර්ථවත් කරගත යුතුයි මම භාවිතා කරන ධම්මානුධම්ම ප්‍රතිපදාව යෝනිසෝ මනසිකාරය මේ කියන ලෝකය තුළ ධ්‍යාන සමාපත්තිය අභිඥා ලැබෙන වැඩපිළිවෙලක් වෙන්නට පුළුවන්. ඒ භාවිතාවන් තුළ සිත සමාධිමත් වන බවත් කාමයන්ගෙන් වෙන්වෙලා හිත ඉහළට යන බවත් ධ්‍යානයට සමාධියට සමාපත්තියට සමවදින බවත් දැනෙන්නත් පුළුවන්. එනමුත් ඔබ එතැනදී ද මුලාවට පත්වී සසරෙහි රැදෙන්න පුළුවන්.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.