Print this Article


<%on error resume next%>

පූජාච පූජනීයානං

104 වන වියට පා තබන තෙල්වත්තේ බුද්ධපි‍්‍රය නා හිමි

බටපොල බටකැලේ සිරි උත්තරාරාමාධිපති ගාලු දිසාවේ උතුරු වැල්ලබඩ පත්තුවේ ප්‍රධාන සංඝනායක කල්‍යාණද්වජ සද්ධම්ම කීර්ති ශ්‍රී තෙල්වත්තේ බුද්ධපි‍්‍රය නා හිමිපාණන් වහන්සේ වසර 104 ට පා තබයි.

1911 පෙබරවාරි 12 වෙනි දින ගාල්ල තෙල්වත්ත ග්‍රාමයේ දී උපත ලැබීය. අන්තෝනි ගමගේ අන්තො අප්පු උපාසක මහතා සහ ගාල්ලගේ රැගිනිස්හාමි උපාසිකා මාතාව දෙමව්පියන් වූහ. පවුලේ සතරවෙනියා ලෙස උපන් මේ කුමරුවා ඒ.ජී. පීරිස් නමින් හඳුන්වන ලද අතර තෙල්වත්තේ ශ්‍රී රාහුල විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූහ.බටපොල සුභද්‍රාරාමාධිපති ශ්‍රී ධම්මපාල අනු නා හිමියන් වෙත එම කුමරුවා පැවිදි කිරීමට 1924 අගෝස්තු මාසයේ දී භාර දෙන ලදී.අනු නා හිමියන් ඇසුරේ මූලික වත් පිළිවෙත් බණ දහම් හදාරා 1925 ජනවාරි 10 දින බටපොල ධම්මපාල හිමියන්ගේ ආචාර්යත්වයෙන් ශ්‍රී කල්‍යාණවංශ මහ නිකායේ මහනායක තෙල්වත්තේ මේධ ශ්‍රී ආරියවංශ හිමියන් විසින් මේ කුමරුවා තෙල්වත්තේ බුද්ධපි‍්‍රය නමින් පැවිදි බිමට පත් කරවනලදිතෙල්වත්තේ බුද්ධපි‍්‍රය නා හිමියන් බටපොල විහාර පරම්පරාවේ වර්තමානයේ වැඩ සිටින වයෝවෘද්ධතම නා හිමියන් වේ. ගෙවී ගිය දශක දහයකට අධික කාලය තුළ ඉතා ගුණ ගරුකව ප්‍රතිපත්තිගරුකව සිදු කළ සේවය ගෞරවයට පාත්‍ර වෙයි.

ස්වකීය ජීවිත කාලය තුළ උන්වහන්සේ අංගසම්පූර්ණ විහාරස්ථානයක් ගොඩ නඟා ගමක් හදා සුවිසාල ආගමික සේවාවක් ඉටු කළහ.දානය, බණ, පිරිත, පාංශකූලය වැනි ආගමික කටයුතු සඳහා මෙන්ම ගමේ ප්‍රදේශයේ පොදු කටයුතු වලටත් උන්වහන්සේ වැඩිපුරම වැඩම කළේ පාගමනින් ය. බටකැලේ නායක හාමුදුරුවන් වහන්සේ වැඩම නොකළ නිවසක් බටපොළ ගමේ නැති තරම් ය.සුපේශල ශික්‍ෂාකාමී සිල්වත් ගුණවත් උගත් ධර්ම විනයධර තෙල්වත්තේ බුද්ධපි‍්‍රය නාහිමියන්ට චිර ජීවනය සැලසේවා.


කළුතර ශ්‍රී ඥානාවාස අනු නා හිමි

රත්මලාන ශ්‍රී බෝධිරුක්ඛාරාමය, අඟුලාන ශ්‍රී ආනන්දබෝධි විහාරය, උතුරු කළුතර ශ්‍රී ගංගාරාමය, අම්පාර ගොනාගොල්ල ශ්‍රී ගෝතම විහාරය යන චතුර් විහාරාධිපති, ශ්‍රී ලංකා අමරපුර සද්ධම්මයුත්තික (මාතර) නිකායේ අනුනායක ධුරන්ධරව වැඩ විසූ කළුතර ශ්‍රී ඥානාවාසාභිධාන නා හිමිපාණන් වහන්සේ අපවත්වී වසරක් සපිරේ.

1930 අපේ‍්‍රල් 13 දින කළුතර දී බී.උපාලිස් පෙරේරා මහතා සහ කේ. සිසිලියා ප්‍රනාන්දු මහත්මිය මව්පියන් කොට උපත ලැබූහ.

නමින් රූපරත්න පෙරේරා නම් වූහ. පාසල් අධ්‍යාපනය කළුතර අධිරාජදින පාසලින් ලබමින් සිටියදී කළුතර ඤාණින්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ඇසුර ලැබ 1945.අප්‍රේල් 27 දින උන්වහන්සේගේ ශිෂ්‍යයකු ලෙස පැවිදිව කළුතර ඥාණාවාස නම්වූහ.

මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙණින් මූලික පිරිවෙන් අධ්‍යාපනය ලබා වැඩිදුර අධ්‍යාපනය ලැබීමට කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙණට ඇතුළත් වූහ. ඒ වන විට රත්මලාන බෝධිරුක්ඛාරාමයෙහි නේවාසිකව වැඩ සිටිමින් විද්‍යෝදයට අධ්‍යාපනය සඳහා වැඩම කළහ. 1952.ජුනි 27 දින උපසම්පදාව ද ලැබූහ.

වැඩිමහලු පැවිදි සහෝදර වැලිකඩ ශ්‍රී ඥානේශ්වර මහා නා හිමියන්ට සහායව බෝධිරුක්ඛාරාමයෙහි දියුණුවට කටයුතු කළහ. මේ දෙනම ම එකතුව ප්‍රදේශයේ දරුවන්ට අධ්‍යාපනය ලබාදීම සඳහා දෙනමගේ ම ගුරුදේවයන් වහන්සේගේ නමින් ඥානේන්ද්‍ර නමින් දිනපතා පාසලක් ආරම්භ කළහ. දහම් අධ්‍යාපනය ලබාදෙනුවස් සිරිමා බෝ නම් දහම් පාසලක් ද ආරම්භ කළහ. කාලයාගේ ඇවෑමෙන් නැතිවී ගියත් පැවිදි සිසුන් සඳහා පිරිවෙණක් ද ආරම්භ කොට කලක්ම හොඳට පවත්වාගෙන ගියහ.

වැලිකඩ ඤාණිස්සර මහා නා හිමියන්ගේ අපවත්වීමෙන් පසු විහාරාධිපත්‍යයට පත් වූ ඤාණවාස නා හිමියෝ ස්වකීය විහාරස්ථාන සියල්ල රැකබලා ගනිමින් ප්‍රදේශයේ ජාතික ආගමික සාමාජික කටයුතු වලට ද නොමද සහායක් දුන්හ.

වසරක් පාසා හැම වෙසක් පෝය දිනකම ඤාණාවාස නා හිමියන්ගේ සංකල්පයකට අනුව කිරිපිඬු බුද්ධ පූජාවක් ද අලි ඇතුන් සහිත පෙරහරකින් ගමේ සංචාරයකොට විහාරස්ථානයේදී පූජා කිරීම කරගෙන එමින් ජනතාවගේ ශ්‍රද්ධාදී ගුණධර්ම දියුණු කළහ.

සිරිමාබෝ දහම් පාසල රත්මලාන ශාසනාරක්‍ෂක මණ්ඩලය තුළ ඇති ඉතා හොඳ දහම් පාසලක් බවට පත් කළහ. වසරක් පාසා එහි ත්‍යාග ප්‍රදානෝත්සව මහත් සැලකිල්ලලෙන් ඉටුකළහ.

ඒ නිසා ම ශාසනාරක්‍ෂක මණ්ඩලයෙහි සභාපතිත්වයට පත්ව අපවත්වනවිටත් එහි සභාපති වූහ.

ස්වකීය සංඝ සභාවෙහි විවිධ තනතුරු දරමින් කටයුතු කළ අතර සංඝ සභාව ද බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක ධුරයෙන් ද අනතුරුව අනුනායක ධුරයෙන් ද පිදුම් ලැබූහ රත්මලාන බෝධිරුක්ඛාරාමයට අමතරව අඟුලාන ශ්‍රී ආනන්දබෝධි විහාරයේත් උතුරු කළුතර ශ්‍රී ගංගාරාමයේත් අම්පාර ගොනාගොල්ල ශ්‍රී ගෝතම විහාරයේත් ආධිපත්‍යය ඉසුලූහ.

මෙසේ ජාතික ආගමික හා සාමාජික වශයෙන් මහ වෙහෙවරක නියැලී සිටි ශ්‍රී ඥානාවාස අනු නාහිමියන් අපවත්වීමෙන් වාර්ෂික ගුණ සමරු පින්කම ශිෂ්‍ය හා දායකාරකාදීහු පවත්වා උන්වහන්සේගේ ගුණ සැමරූහ.


දෙල්ලව සුසීල හිමි

දකුණු ලක ගාලු දිසාවේ හිනිදුම්පත්තුව මොරවක ගණේගොඩ රාජ මහා විහාරාධිපති ශාස්ත්‍රාචාර්ය පණ්ඩිත දෙල්ලව සුසීල ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ අගෝස්තු මස 28 වන දින හැත්තෑපස් විය සපිරූහ.

හිනිදුම්පත්තුවේ දෙල්ලව ගමෙහි විසූ අම්පාගොඩ ලියනගේ දියෝනිස් මහතාණන්ගේ හා සිසිලියානා අබේගුණවර්ධන මහත්මියගේ පුතෙකු ලෙස 1937 අගෝස්තු 28 වන දින උපත ලැබූහ. මූලික ගිහි ඉගෙනුම දෙල්ලව රජයේ පාසලින් සපිරුණි. වයස අවුරුදු දොළහේදි එවකට දෙල්ලව විහාරාධිපතිව වැඩ විසූ දෙල්ලව පුඤ්ඤානන්ද මා හිමිපාණන්ගේ මග පෙන්වීම පරිදි මොරවක ගණේගොඩ රාජ මහා විහාරස්ථානයේදි දෙල්ලව සුසීල නමින් පැවිදි බිමට පත් වූහ. උන්වහන්සේගේ පැවිදි දිවි මග ඒකාලෝක කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශනය සලසා දෙමින් ගුරු පදවිය හොබවන ලද්දේ මොරවක ගණේගොඩ රාජ මහා විහාරාධිපති රාජකීය පණ්ඩිත මොරවක ශ්‍රී සිද්ධාර්ථ නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේය.

ස්වකීය විහාරස්ථානයේ පැවැත්වූ ශ්‍රී සිද්ධාර්ථ පිරිවෙනින් මූලික පැවිදි අධ්‍යාපනය ලැබූ සුසීල හාමුදුරුවෝ 1958 වසරෙහි මහනුවර මල්වතු මහා විහාරයේදී උපසම්පදාව ලැබූහ. 1959 දී ප්‍රාචීන ප්‍රාරම්භ විභාගය උසස් ලෙස සමත් වූ දෙල්ලව හාමුදුරුවෝ 1960 දී විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගය සමත්ව කැලණිය විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයට ඇතුළත් වූහ. වසර හතරකට පසු ශාස්ත්‍රවේදි ගෞරව උපාධිය ලබා ගනිමින් වියත් පඬිවරයෙකු බවට පත් වූහ.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ යාපහුව මහා විද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස රජයේ ගුරු සේවය ආරම්භ කළ ශාස්ත්‍රවේදි දෙල්ලව සුසීල හිමිපාණෝ මාතර දිස්ත්‍රික්කයේ මොරවක මහා විද්‍යාලය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ථෙරපුත්ත මහා විද්‍යාලය , නුවරඑළිය, තෙරිපැහැ මහා විද්‍යාලය, වලපනේ කුරුපනාවල මහා විද්‍යාලය, උඩුපුස්සැල්ලෑව මහා විද්‍යාලය යන විදුහල්වල ආචාර්යවරයෙකු වශයෙන් සේවය කොට රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ වැඩ බලන විදුහල්පති ලෙසද කටයුතු කළහ.

මහාචාර්ය මොරවක ශ්‍රී සිද්ධාර්ථ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1980 දී අපවත් වීමෙන් පසු ගණේගොඩ රාජ මහා විහාරයේ විහාරාධිපති වූයේ දෙල්ලව හිමියන්ය. 1982 වසරේදි මොරවක බෞද්ධ විද්‍යාලයේ විදුහල්පති ලෙස පත්ව වසර 15 ක් සේවය කොට විශ්‍රාම ලැබූහ.

ලෝක ශාසනික අති උදාර සේවාවක් සිදු කළ හා සිදුකරන දෙල්ලව සුසීල හිමිපාණන්ගේ හැත්තෑපස් වැනි උපන් දිනය පසුගිය අගෝස්තු මස 28 වැනි දිනට යෙදුණි. ඒ නිමිති කරගෙන උන්වහන්සේගේ ශිෂ්‍ය පිරිස හා දායක පිරිස තිස්පැය හතක පරිත්‍රාණ ධර්ම දේශනාවක් පවත්වා 75 නමක් විෂයෙහි සඟසතු මහ දනක් පිරිනමා එදින ගණේගොඩ රාජ මහා විහාර වංශය නමැති කෘතිය එළිදැක්වීමද සිදු කැරිණි.


බුලත්සිංහල ධම්මාරාම ලොකු හාමුදුරුවන් වහන්සේ

කළුතර දිසාවේ, පස්යොදුන් කෝරළයේ, බුලත්සිංහල, ගෝවින්න, ගෝවිනි මානානේ ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ විසූ බුලත්සිංහල ධම්මාරාම ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වී 2012 නොවැම්බර් මස 15 දිනට වර්ෂ 12 ක් සම්පූර්ණ වේ.

1914 පෙබරවාරි මස 26 දින බුලත්සිංහලදී ජම්මලාභය ලබා 1925 අගෝස්තු මස 25 දින සසුන් ගතව පුරා වසර හැත්තෑ පහක් පමණ සම්බුද්ධ ශාසනයටත්, පොදුජන සමාජයටත් උන්වහන්සේ සිදුකළ අමිල සේවාව දායක දනන්ගේ සිත් සතන් තුළ නොමැකෙන ලෙස සටහන්ව ඇත.

උන්වහන්සේ ගෝවින්න, ගෝවිනිමානානේ ශ්‍රී සුදර්ශනාරාමයෙහි වැඩ වෙසෙමින් විහාරස්ථානයෙහි අභිවෘද්ධිය උදෙසා තම කාලය, ශ්‍රමය පූර්ණව කැප කළෝ ය. දාන ශාලාව, සීමා මාලකය, ළිං පොකුණු යනාදිය ඉදි කළෝ ය. සුවිසල් විහාරස්ථානයේ කටයුතු ආරම්භ කළහ. විහාරස්ථ ශ්‍රී සුදර්ශන දහම් පාසල ආරම්භ කිරීමට පුරෝගාමීව කටයුතු කළහ. ඒ මඟින් ප්‍රදේශයේ දරු දැරියන්ගේ නැණ, ගුණ වඩන්නට විශාල කැපවීමකින් කටයුතු කළහ. විහාරස්ථානයේ අභිවෘද්ධිය උදෙසා දායක සභාව, උපාසිකා සමිතිය ආදී සමිති සමාගම් ඇති කිරීමට ද මුලිකව කටයුතු කළහ. ඈගල් ඔය ශශ්‍රී සුනන්දාරාමය, දේවමුල්ල ශ්‍රී සුමංගලාරාමය යන විහාරස්ථාන වලද විහාරාධිපතිත්වය දැරුවේද උන්වහන්සේ ය. ඒ මගින් මෙම විහාරස්ථාන වල අභිවෘද්ධිය උදෙසා ද මහත් මෙහෙවරක් උන් වහන්සේ වෙතින් සිදුවුණි.

2012 නොවැම්බර් මස 15 දිනට යෙදෙන ගුණ සැමරුම වෙනුවෙනි


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.