Print this Article


<%on error resume next%>

ඓතිහාසික රිදී විහාරස්ථ ශ්‍රී සුමංගල දහම් පාසල

විහාරස්ථාන මූලික කරගෙන ස්ථාපිත වූ දහම් පාසල් අධ්‍යාපනයෙන් රටේ බාලපරපුර සුමගට පත්ව සදාචාරශීලීමත් පුරවැසියන් පිරිසක් බවට බිහිවෙමින් පවතී. මෙවන් යුගයක මහාසංඝරත්නයේත්, ගිහි සමාජයේත්, බාල පරපුරේත් විශාල උනන්දුවක් දහම් පාසල් පවත්වාගෙන යෑම සම්බන්ධව පවතින බවක් දකින්නට ඇත. මෙම උදාර දැහැමි අරමුණු පෙරදැරිකරගත් මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක, තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නා හිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් කුරුණෑගල ඓතිහාසික රිදී විහාරයේ දී ශ්‍රී සුමංගල දහම් පාසල 1988 දී ආරම්භ කෙරිණි.

ධර්ම අධ්‍යාපනයට මූලික තැනක් ලබාදීමත් සමඟ එහි ධර්ම අධ්‍යාපනය ලබන දරු දැරියන් සංඛ්‍යාව පන්සියවිස්ස දක්වා වැඩි වී ඇත. රිදීගම ශාසනාරක්‍ෂක මණ්ඩලයේ උසස්ම ප්‍රතිඵල ලබන දහම් පාසල බවට මෙම දහම් පාසල පත් කර ගැනීමට මල්වතු මහා විහාර පාර්ශ්වයේ කාරක මහා සංඝ සභාවේ කාරක සභික තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්‍ඛිත හිමියන්ගේ ඇප කැප වීම උදාරය. ධර්ම අධ්‍යාපන සේවය ක්‍රියාත්මක වන අතරම, සමාජ සත්කාර හා පොදු සේවා රැසක් ක්‍රියාත්මක කිරීම විශේෂ සිද්ධියකි.

රිදී විහාරයට සම්බන්ධ ගැඹුරු ලෙන රජමහ විහාරය මූලික කරගනිමින් ක්‍රියාත්මක කරන මෙම සමාජ සත්කාර සේවය සමස්ත දහම් පාසල් ව්‍යාපාරයටම ආදර්ශයකි. ප්‍රදේශයේ විවිධ රෝගවලින් පෙළෙන පවුල් සඳහා මූල්‍යමය වශයෙන් ආධාර කිරීම, ශිෂ්‍යයන් සඳහා පාසල් උපකරණ, ලිපි ද්‍රව්‍ය ලබා දීම ආදිය වැඩසටහන් ගණනාවක්ම ක්‍රියාත්මක කර ඇත.

රිදී විහාරස්ථ තරුණ බෞද්ධ සංගමය, දහම් පාසලේ සිසු දරුවන් තුළින් බිහිවූවකි. තරුණ බෞද්ධ සංගමයේ දායකත්වය රිදී විහාර වාර්ෂික ඇසළ පෙරහර වෙනුවෙන් ලබාදීමෙන් විශාල ශාසනික හා බෞද්ධ සේවාවක් ඉටුකිරීමට දහම් පාසලට හැකි වී ඇත.

මෙම දායකත්වය අනාගතයේ දී වාර්ෂික ඇසැළ පෙරහර වෙනුවෙන් ස්ථාපිත වීම වැදගත් ය. රිදී විහාරයේ පවත්වාගෙන ගිය ශ්‍රී සුමංගල දහම් පාසල මාර්ග පහසුකම් සලසා ගෙන කුඹුරුලෙන විහාරයේ දී පවත්වන අතර දරුවන්ගේ ආගමික කටයුතු සඳහා රිදී විහාරයේ ඓතිහාසික මෙන්ම ශාසනික පසුබිමට මූලික තැනක් දී ඇත.

හාරසියයකට අධික සාමාජිකත්වයක් ඇති තරුණ බෞද්ධ සංගමය මෙවැනි තරුණ පිරිසක් ශ්‍රී සුමංගල දහම් පාසලින් බිහිවීම ගැන අගය කළ යුතු ය.

 


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.