Print this Article


<%on error resume next%> ආලෝකය රැගෙන ආ ලංකාපටුන

දන්ත ධාතුන් වහන්සේ ලංකාවේ පමණක් නොව ලෝකය පුරා වසන බෞද්ධ ජනතාවගේ වන්දනාමානයට පාත්‍ර වූ අතිශය පූජනීය වස්තුවකි.

මෙය කොතරම් නම් වටින්නේ දැයි සලකතොත් අප මාතෘ භූ®මියේ රජවරු දන්ත ධාතුන් වහන්සේ සැලකුවේ රාජ්‍යත්වයේ සංකේතය වශයෙනි.

ඒ නිසාම සෑම රජ කෙනකුම පාහේ තමා වසන රජ මාලිගය සමීපයේ දන්ත ධාතුන් වහන්සේ වඩා හිඳුවීමට වෙනම ධාතු මන්දිරයක් සැකසුවේ හෝ ඉදි කරන ලද්දේ ය.

දන්ත ධාතුන් වහන්සේට දක්වන අතිශය ගෞරවය වෙනුවෙන් මෙම මන්දිරය මාලිගය වශයෙන් නම් කිරීමට ඔවුහු සියලු දෙනා වග බලා ගත්හ. එසේම මෙම ධාතුන් වහන්සේ තම දිවි හිමියෙන් ආරක්‍ෂා කිරීම වෙනුවෙන් එය වඩා හිඳ වූයේ දැඩි ආරක්‍ෂක ස්ථානයක ඉතා සුරක්‍ෂිත අති පූජනීය ආකාරයට ය.

රාජ්‍යත්වයට මෙන්ම දේශයට යම් කිසි සතුරු උවදුරක් පැමිණෙන විට හෝ එවන් සේයාවක ලකුණක් හෝ දැනුණු මොහොතක ප්‍රථමයෙන්ම රජතුමාගේ කාර්ය වූයේ දන්ත ධාතුන් වහන්සේ ඉතා සුරක්‍ෂිතව උපක්‍රමශීලිව සතුරන්ගේ අතට පත් නොවනසේ ආරක්‍ෂා කිරීම ය. රජවරු ඒ සඳහා වන, ගුහා, පර්වත, රුක් දෙබල්, කුරහන් ගල් ආදී වූ දෑ උපක්‍රමශීලිව උපයෝගී කර ගැනීමට පෙළඹුණේ දේශයේ මෙන්ම රාජ්‍යත්වයේ පැවැත්ම මෙම අචේතනික වස්තුවේ මහා බලයට යටත්ව පවතින බව සිතූ බැවිනි.

නූතනයේ ද එවන් බලයක් ශක්තියක් පරම පූජනීයත්වයක් මෙන්ම අභිමානයක් දන්තධාතුන් වහන්සේ සතුව පවතින බව පාලකයාගේ සිට සියලු බෞද්ධ ජනතාවගේ සිත් තුළ පැලපදියම් වී ලේ ධාතුවේ ද කා වැදි ඇති අතර එය පාරම්පාරිකව රැගෙන එන මහා පූජනීය උරුමයක් බවට පත් වී තිබෙයි.

තුන් ලොවටම වැඩ පිණිස වූ අසූහාරදහසක් ධර්ම ස්කන්ධය දේශනා කළ ශ්‍රී මුඛයෙහි ශබ්ද තරංගයන් හා නිබඳව ස්පර්ශ වූ නිසාත් සම්බුදු රජාණන් වහන්සේගේ සුවිශේෂ ධාතුන් වහන්සේ වශයෙන් පිළිගැනෙන නිසාත් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේගේ පුරා වෘත්තය හා සබැඳෙන සෑම තැනක් ම ශාසන වංශ කතාව නියෝජනය කෙරෙන ප්‍රබල ස්ථානයන් බවට පත්ව තිබෙයි. පිවිතුරු සද්ධර්මය චිරාත් කාලයක් යෙහෙන් වැජඹෙන ධර්මද්වීපය යැයි විරුදාවලිය ලත් අප මාතෘභූමියට අමිල අනර්ඝ මාණික්‍යයක් සේ වූ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ උරුම වන්නේ හේමමාලා සහ දන්ත කුමරුන් එය රැගෙන පැමිණි ඓතිහාසික ගමනක ප්‍රතිඵලය නිසාය. ක්‍රි.ව. 310 දී ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ඉන්දියාවේ කාලිංග දේශයේ තාම්‍රලිප්ත නැව් තොටේ සිට (වත්මන් තමලුක් නගරය) වෙළෙඳ නැවක නැගී ඔවුන් පැමිණෙන්නේ ලංකාවේ ලංකා පටුන නම් නැව් තොටට ය. එය දමිල බසින් හඳුන්වන්නේ ‘ඉලංකතුරෙයි’ වශයෙනි. පුරාතණයේ මෙය ලංකාව සහ ඉන්දියාව අතර පැවැති සටන් වෙනුවෙන් සේනාව පිටත් කිරීමට යොදා ගත් වරායක් වශයෙන් සැළකූ බව ද ඉතිහාස කතා සනාථ කරයි. මෙම වරාය පිහිටා ඇත්තේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කොට්ටියාර් පත්තුවෙහි ය. මුතූර් සේරුවිල මාර්ගයේ තොප්පූර් කරා පැමිණ උප්පූරල් හරහා මෙතැනට පැමිණිය හැකි ය.

මෙතැනට පැමිණිය හැකි තවත් මාර්ග කීපයක් තිබෙයි. කඳු සහිත උස් බිමෙක ඉතා රමණීය දර්ශනයක් මවන සමුද්‍රා සන්නයේ ඇති ලංකාපටුන අදත් රුවල් නැව් හත අටක් නවතා තැබිය හැකි තොටුපලකි.

දන්ත ධාතුන් වහන්සේ රැගෙන පැමිණීම නිසා ලංකාපටුන ශාසන ඉතිහාසයට එක් වන්නේ පූජනීය නැව් තොටක් වශයෙනි. එසේම එය ඊට ප්‍රථමයෙන් පුදබිමක් ලෙස පැවැති බවට පුරාවිද්‍යා සාධක මතුව ඇති නිසා ලංකාපටුන දෙයාකාරයකින් පූජනීය භූමියක් බවට පත් වී තිබීම සුවිශේෂි කරුණකි.

මෙම කඳු සහිත සුන්දර භූමියෙහි උසම කඳු මෙවුල මත චෛත්‍යයක ශේෂ ලකුණූ දකින්නට ලැබෙයි. ඉතිරි වූ උස අඩි 8 ක් පමණ ගොඩැල්ලක් 1965 වසරේදී දකින්නට ලැබී තිබේ. මෙම ගොඩැල්ල නිධන් හොරුන් විසින් හාරා එහි තිබූ වස්තුන් සොරා ගත් බවක් ද කියැවෙයි. එසේම තවත් තැන් තැන් හි ගරා වැටුණු ගොඩැලි වල ගල් කණු උළු ගඩොල් ආදියද දකින්නට ලැබෙයි.

කාවන්තිස්ස රජතුමා සේරුවිල මංගල මහා සෑය කරවීමෙන් පසුව අවට නොයෙක් බෞද්ධාරාම ඇති කළේය. විශේෂයෙන් වරාය අසල පිහිටි පර්වතවල ආරාම ඇති කිරීම පිළිබඳව බෙහෙවින්ම පැරැණි රජවරුන් උත්සුක වී ඇත. මේ අනුව කාවන්තිස්ස රජතුමා (රා.ව.පූර්ණ. දෙවැනි සියවස දී) ලංකා පටුන වරාය අසල ඇති පර්වතය මත ස්තූපයක් ඉදිකර එහි බෞද්ධාරාමයක් බිහි කළේය. ඔහුගේ ආගමික කාර්යයන් අතර සමුද්‍රගිරි විහාරය කරවීමද එකකි. ලංකා පටුන නටබුන් හඳුන්වන්නේ සමුද්‍රගිරි විහාරය නමිනි. (උපුටා ගැනීම – නැගෙනහිර පළාත හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය – පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමි)

මෙම භූමියේ බටහිර පැත්තේ ගල්පර්වත ගණනාවක් ආශ්‍රයේ කටාරම් සහිත ලෙන් පෙළක් තිබේ. ඒවායින් කියැවෙන්නේ මහා සංඝයා වහන්සේට එම ලෙන් පූජා කළ බව යි. මෙහි අක්‍ෂරයන් ක්‍රි.පූර්ව දෙවැනි සියවසට අයත් බව එල්ලාවල මේධානන්ද හිමියෝ පවසති. මෑත යුගයේ පැවැති කොටි ත්‍රස්තවාදී උවදුර නිසා ලංකාපටුන ප්‍රදේශය ද පැවැතියේ දැඩි අනාරක්‍ෂිත තත්වයකය. ඊටත් එපිට යුග, කාල විපත් මැද මෙම ස්ථානය වල් වැදී තිබුණි.

ත්‍රස්තවාදී උවදුරු සමයේ දී ජීවිත අභියෝගයකට පවා මුහුණදෙමින් මෙම පූජනීය ස්ථානය ආරක්‍ෂාකර ගැනීමට සේරුවිල සරණකිත්ති නා හිමියන් දරන ලද ප්‍රයත්නය ප්‍රශංසනීය වෙයි.

එදා පිට රැටියන් මුහුදු ගමන් එන විට ලාංකේය බිමේ ඇති සම්බුදුරජාණන් වහන්සේගේ පාදශ්පර්ශයෙන් පිවිතුරු වූ ද ස්වභාව සෞන්දර්යයේ අග්‍ර ඵලයක් වූ ද අති රමණීය ශ්‍රී පාද කන්ද දර්ශනය වෙයි. එසේම ලක් බිමේ වෙරළාසන්නයේ ඇති කඳු මුදුන් මත ඉදි වූ ස්තූප පෙළෙහි බෞද්ධාගමික සොඳුරු අභිමානය ද ඔවුහු දුටුවෝය. එවිට මේ අප පැමිණෙන්නේ කුඩා වුවද අතිශය සම්භාවනීය වූ සදහම් දීපයකට බව ඉන් හැඟීමක් ඇතිවෙයි.

ලංකාපටුන ද එම හැඟීම දනවන සොඳුරු පූජනීය බිමක් වශයෙන් අතීතයේ දී පැවැත එන්නට ඇත. අද එහි කඳු ගැටයෙහි ආරුක්කු මත කුඩා ස්තූපයක් ඉදි කර ඇත. නමුත් එහි ආකෘතිමය ලක්‍ෂණ අපගේ ඓතිහාසික උරුමයේ සාඩම්බර ලක්‍ෂණයන්ට අනුගත නොවන බවක් හැඟෙයි.

දම්දිවේ උදාරත්වය උදාන ගීතිකාවක් සේ ලොවට හඬ ගා කියමින් වෙරළේ රළ මතින්ද නැගෙන්නා වූ ඒ ස්වරය අදත් මේ රමණිය කඳු මෙවුල මතදී ඇසෙන්නා සේය. හේමමාලාවන්ට දන්තකුමරුන්ට ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ රැගෙන පැමිණීමට ඉඩ හසර සළසා දුන් වරායක විහාරය සදානුස්මරණීය පූජනීය පින් බිමක්මය. එය නැගෙනගිරෙන් පායා එන හිරුමඬලේ ආලෝක කදම්භයක් සේම අගනේ ය.

 


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.