Print this Article


<%on error resume next%> නිසල සිත ගෙනෙයි සෙත

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
පහස්සරම්ද, භික්ඛවෙ චිත්තං, කඤ්ච ඛො ආගන්තුකෙහි උපක්කිලෙසෙහි උපක්කිලිට්ඨං

මහණෙනි, සිත ස්වභාවයෙන් පිරිසුදුයි. එය බැහැරින් එන උපක්ලේශයන් නිසා කිළිටි වේ. අපට බාහිර යමක් දැනගන්නට උපකාර වන්නේ සිතයි. ‘මනො පුබ්බංගමා ධම්මා’ යයි වදාළේ ඒ බවයි. බුදුරජාණන් වහන්සේ දෙසූ ත්‍රිපිටක ධර්මයන්ගෙන් අභිධර්මය හෙවත් උන්වහන්සේගේ ගැඹුරුම විශිෂ්ටම ධර්මය අභිධර්මයයි. එහි උගැන් වෙන්නේ සිත පිළිබඳවමයි.

සෙසු සූත්‍ර, විනය පිටක දෙකේද සිත පිළිබඳවම කරුණු සඳහන් වෙතත් ඒවායේ ප්‍රමුඛත්වය ලබා දී ඇත්තේ සිත පිරිසුදු කරගෙන විමුක්තිය කරා ළඟා වන ශීලාදි ගුණධර්ම පිළිබඳවයි. එසේම එම ධර්ම දේශනාවලදී විමුක්තිය කරා යාමට පුද්ගලයාට බාධා කරන අකුශල ධර්ම ගැන ද විස්තර සඳහන් කොට ඇත. කෙසේ වුවත් ලෞකික ලෝකෝත්තර යන දෙමඟටම පුද්ගලයා ගමන් කරවන ප්‍රධානම ශක්තිය ඇති ආයතනය සිතයි. එනම් මනායතනයයි.

බුදු දහම උගන්වන පරිදි මනස හෙවත් සිත මුල්කරගෙන උපත ලබන සත්ත්වයා සිත මුල්කර ගෙනම සසර සැරිසරල සිත මුල්කරගෙනම සසරින්, දුකින් මිදෙන්න ඕන බව බුදුරදුන් වදාළහ.

චිත්තෙන නීයතී ලොකො චිත්තෙන පරිකස්සති
චිත්තස්ස එක ධම්මස්ස නත්වෙව වසමන්වගු

යන ධම්මපදය කියන පරිදි සත්ව සංඛ්‍යාත ලෝකය පවත් වන්නේ ඉදිරියට ගෙනයන්නේ චිත්තය විසිනි. සිත නමැති මේ පුදුම සහගත එකම ධර්මය විසින් වසඟතර නොගත්තෙකු , එයට යටත් නොවූවකු මේ තුන්ලොවට නැතැයි බුදුරජාණන් වහන්සේ පෙන්නා දී තිබෙනව. එමෙන් ම සිත මුල්වෙල කරණ, කියන, සිතන කවර හෝ ක්‍රියාවක් කර්මය මැයි බුදුන් වදාරළ තියෙනව.

සිත මුල්ව කරන කර්ම සංඛ්‍යාවට ඇතුළත් ක්‍රියා නිසා සත්ත්වයන් නමැති ලෝකය පවතින බවත් සියලු ම සත්ත්ව ප්‍රජාව නමැති ජීවිත කර්මය නිසා පවතින බවත් සියලුම සත්ත්ව ලෝකය කර්මය නමැති හැකිල්ලෙන් බැඳී තිබෙන බවත් බුදුරජාණන් වහන්සේ දක්වා ඇත්තේ කරත්ත රෝදයට අලවංගුවෙන් ගැළවී වැටෙන්නට නොදී එය රඳා තබන කඩ ඇණය වැනිය කියා යි. කඩ ඇණය තියෙනතාක් කරත්තයට ගමන් කළ හැකියි. කඩ ඇණය ගැලෙව්වොත් එය පෙරලී බිම වැටෙයි. ඒ වගේ තෘෂ්ණාව නිසා රැස්කරන කර්ම නමැති කඩ ඇණය විදර්ශනා නුවණින් ගලවා දමනතුරු ඔබත් මමත් ඇතුළු තුන් ලෝකෙම සත්වයෝ සසර සැරිසරති.

මෙහි මුලදීම සඳහන් කළ ගාථාවෙන් ප්‍රකාශ වන්නේ තෘෂ්ණාදී ක්ලේශයන්ගේ තිඹිරිගෙය වූ සත්ත්වයන්ට පමණක් උරුම වූ මේ සිත ප්‍රකෘතියෙන් ප්‍රභාස්වර බවයි. එනම් එය ආලෝකවත්ය. අතිපාරිසුද්ධය. එහෙත් එම ප්‍රභාස්වර හිත බැහැරින් එන උපක්ලේශ නිසා කිළිටි වෙයි. මේ සිතට ම විඥානය, මනස, යන පර්යාය නම් ද තිබේ. සිත හා එක්ව කියවෙන අනෙක් ධර්මය චේතසිතයි. එනම් සිතිවිලියි. සිත හෝ සිතිවිලි හෝ රූපය මෙන් ද්‍රව්‍යාත්මක නොවේ. පටිච්චසමුප්පාද දේශනාවට අනුව අවිද්‍යාදි සියලුම චිත්ත ලොව තුසිත රූප යන තුනම අයත්ය. ඒවා අතර මේ භවයට සම්බන්ධ අවසාන චෛතසිකය භව යන්නයි. එනම් කම්ම භාවයයි. අනාගත භවයට උපයෝගී වන මෙලොවදී රැස් කළ කර්ම සමුදායයි.

සිත මුල්ව කර්ම රැස් කරන ඇස, කණ ආදී ආයතන හයක් අපට තිබේ. ඒ හයට රූපාදී ආරම්මණයක් හමුවුණාම ‘විඤ්ඤාණය හෙවත් ඒ පිළිබඳ සිතක් උපදී.’ මේ තුනේ එක්වීමෙන් තමයි ස්පර්ශය ඇති වන්නේ. ‘චක්ඛුඤ්ච පටිච්ච රූපෙච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං තිණ්ණං සංගති ඵස්සො’ කීවේ ඒ බවයි. ආයතන දෙකේ එක්වීමෙන් විඥානය පහල වෙයි. විඥානය විසින් අරමුණ සතුටුදායක එකක් ද අසතුටු දායක එකක් ද කියල විමසල බලති. ඉන්ද්‍රියය හා ස්පර්ෂ වුණු අරමුණ පි‍්‍රය වූවක් ද අපි‍්‍රය වුවක් ද කියල විමසා බලනවිට ඒ අරමුණ සුබ, සුඛ වශයෙන් හොඳයි කියල හිතෙනව නම් එය අල්ලා ගැනීමට පෙළෙඹෙනව. එහි රස විඳින්නට පෙළෙඹෙනව. එවිට තමයි කාමරාගය හෙවත් පි‍්‍රය කරන අරමුණ පිළිබඳ ඇල්ම, ආශාව සිතේ ඇතිවන්නෙ. එම අරමුණ අපි‍්‍රය එකක් නම් පටිඝය හෙවත් ද්වේශය උපදිනව. එවිට එය ද්වේශයෙන් යුතුව බැහැර කරනව. එයින් ඈත්වීමට විවිධ උපක්‍රම යොදනව. රූපාදිය අල්වා ගැනීමට ඇති වන කැමැත්ත හෙවත් කාමරාගය වස්තු කාම, ක්ලේශකාම කියල දෙවිධියකින් සිතේ උපදිනව. වස්තු කාම කියන්නෙ අරමුණ තමාට අත්කර ගැනීමට ඇති ආශාව. ක්ලේශකාම කියන්නෙ අරමුණ නිසා පසුව සිතේ ඇතිවන කාම සිතිවිලි. මේ කාමයන් සහ පටිඝය නිසා තමයි සත්ත්වයන් අපමණ පව් කරන්නෙ. මේ කෙලෙස් දෙකම කොපමණ තදබලද යන්න වැටහෙන්නෙ මාර්ගඵලාවබෝධයෙහි දී සකදාගාමි මාර්ග ඥානයෙන් එම කෙලෙස් දෙකේ ඕලාරික ගතිය තුනී වී අනාගාමී මාර්ග ඥානයෙන් දුරුවන බව දක්වා තිබීමෙනි. අනාගාමි ඵලස්ථියා යළිත් කාම භවයක උපදිනවා නම් උපදින්නේ එක්වරක් පමණක් වන අතර අනාගාමි ඵලස්ථයා යළිත් කිසිම කාම සුගතියක නූපදියි.

අප මෙතෙක් කී කරුණු අනුව ඔබ හිතන්න කර්ම කියන්නෙ කාමාදි ක්ලේශ ධර්ම මුල්කරගෙන සිත ප්‍රධානව උපදින සිත කිළිටි කරන චෛතසිකවලට. එසේම ප්‍රකෘතියෙන් ප්‍රභාස්වර සිත අපිරිසුදු හෙවත් පාප කර්ම කිරීමට තරම් දූෂ්‍ය වන්නේ ඔබම ගන්නා අරමුණු දෙස විපරීත වශයෙන් බැලීම සහ අල්වා ගැනීම නිසයි. බුදුදහමෙන් අපට කියන්නේ අරමුණ පිළිබඳව ඇති සැටියෙන් හෙවත් යථාස්වභාවයෙන් බලන්න කියලයි. බුදුදහම අනුව යමක් ඇති සැටියෙන් දකින්නනම් අනිත්‍ය දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්‍ෂණ තුන පිළිබඳව නුවණින් බලන්න ඕන. සාමාන්‍ය දර්ශනයේ දී හොඳ හෝ නරක වශයෙන් දකින අරමුණ යථාතත්ත්වයෙන් දකින විට පොදුවේ ඒ හැම අරමුණක්ම අසාර වශයෙනුයි වැටහෙන්නේ. කවර අන්දමේ සත්ත්ව රූපයක් වුවත් සෑදී ඇත්තේ දෙතිස් කුණපවලිනි. එසේම සත්ත්ව රූපය කියන්නෙ සතර මහා භූතධර්මයන්ගේ එකතුවකි. රූපයත්, විඥානයත් (සිතේ උපදින) වේදනා, සංඥා, සංකාර යන සිතිවිලි තුනත් එකතුව සැදී තිබෙන සත්ත්ව ප්‍රඤ්ජයයි. මේ ස්කන්ධ පසම කර්මයෙනුයි ඇතිවන්නේ. කර්ම නැත්නම් ස්කන්ධ පස ඇති නොවේ. එය බුදු දහමේ නිවණය යි කියති. සත්ත්වයාගේ සදාකාලික නිවීමයි.

තමා අපිරිසුදු වන්නේ තමා විසින්ම කරන ලද පාපක්‍රියා නිසයි. එසේම තමා පව් නොකළේ නම් තමා ඒ නිසා පිරිසුදු වේ. තමාගේ පිරිසුදු භාවය හෝ අපිරිසුදු භාවය යන දෙකම තමා අයත් වේ. වෙනත් කෙනෙකුට තවත් අයෙක් පිරිසුදු කරන්න හෝ අපිරිසුදු කරන්න නොහැකිය.

එයින් කියන්නේ පව් හෝ පින් කළයුත්තේ පෞද්ගලිකව ඒ ඒ පුද්ගලයා විසින් බවත් එහි සැප හෝ දුක් විපාක විඳිය යුත්තේ ඒවා කළ පුද්ගලයාම බවත් කියන අදහසයි.ඒ නිසා අතර මැදියකුට අප කිසිවකු පව්කාරයෙක් කිරීමට හෝ පින්වන්තයෙක් කිරීමට හෝ පව් පින් දෙකම දුරු කළ අයකු (නිවන් ලැබුවකු) කිරීමට හෝ (දෙවැනි බලවේගයකට) නොහැකිය.

සත්ත්වයාගේ සිත හා සිතිවිලි රූප මෙන් ද්‍රව්‍යාත්මක නොවේ. සත්ත්ව රූපය පිළිබඳ කලලය මව්කුස පිහිටීමේ දී රූපී අවයවත් විඥානයත් එකවිට උපදී. විඤ්ඤාණ පච්චයා නාම රූපං යන පටිච්ච සමුප්පාදය අනුව පළමුව වෙන් විඥානය හටගෙන අනතුරුව සෙසු අවයව එක් වේයයි කීවොත් බුදු දහම ආත්මයක් ඇත යන ශාස්වත දෘෂ්ටියට හෙවත් ආත්ම වාදයට අයත් වේ. එම නිසා විඥානය හෙවත් සිත, ආත්මයක් නොව එයත් කර්මානුරූපව සත්ත්වයාට ආවේණික වූ ශක්තියකි. මේ සිත අප කිසිවකුට ඇසින් දැකිය හැකි වස්තුවක් නොවේ. (සුදුද්දසං) සුනිපුණං (ඉතාම සූක්‍ෂ්මය) සත්ථ කාම නිපාතිනං (දෙව්ලොවය මිනිස් ලොවය, බඹලොවය, තිරිසන් ලොවය.)

සතර අපාය, මහල්ලාය, මැහැල්ල ය, ළදරුවාය, තරුණයාය, කුළහීනයාය, කුලීනයාය ආදී වශයෙන් කාම ක්ලේශාදියෙන් මත් වූ ඔහුට විශේෂයක් නැත. අසුචි වල, කුණු මස් වැදැල්ලක, සමන් මලක ආදී කවර තැනක හෝ ඇලෙන නිල මැස්සා මෙන් තමන්ට රුචි යමක් ද එහි ඇලීම සිතේ ස්වභාවයයි. ‘යත්ථ කාම නිපාතිනං’ කීවේ එයයි. එසේම ‘දුරංගමං එක චරං අසරීරං ගුහාසයං’ යන බුදු වදන අනුව තමාට අවශ්‍ය නම් ලෝකයේ ඕන දුරකට සිත යැවිය හැකියි. කොහේ යතත් යන්නේ තනිවමයි. එසේම සිත රූපයක් නොවන නිසා එහි හැඩ රුවක් දතහැකි නොවේ. සිත ගුහාවක සිටිතැයි කියයි. එනම් බුදු දහමට අනුව හෘදය වස්තුව නමැති ගුහාවේ පතක් පමණ වූ ලේ ධාතුව ඇසුරු කොට සිත පවතීයි, සමහරුන් කියන්නේ සිත මොළය ඇසුරෙන් තිබෙන්නක්ය කියායි. කොහේ තිබුණන් අරමුණක් හමු වූ විට ඒ පිළිබඳ සිතක් පහළ වුනාමයි සිත තිබෙන බව අප දන්නේ. මේ චපල (එක අරමුණක නොසිටින) සිත යමෙක් සමථ විදර්ශනා බලයෙන් දමනය කරගතහොත් සදාකාලික සැප ලැබිය හැකි බව ‘චිත්තං දන්තං සුඛාවහං’ යනුවෙන් වදාළසේක. අපේ සිත නිතරම පවට බරව පවතින බව හෙළි වේ. ඔබ හිතන්න ඔබේ හිත දවසේ පැය විසිහතර තුළම ක්‍රියාත්මක වන්නේ සිත කිළිටි කරන සිතිවිලි වලට නේද කියල? ඔබ ක්‍රියා කරන්නෙත් ඒ සිතිවිලි වලට අනුව නේද? ඔබ හරිහම්බ කරන්නෙ ඔබ සෙසු අය ඇසුරු කරන්නේ ඔබ සෙස්සන් හා කලකෝලාහල කරන්නෙ, පස්පව් දස අකුසල් කරන්නෙ, ඒවා නරක බව දැන දැනම ආත්මාර්ථය සලකා නොවේද කියල හිතන්න. ඔබ ඔබේ හිතට යටත්වෙලා ඔබේ හිතේ වහලෙක්වෙල ක්‍රියා කරනව මිස ඔබට සිතේ වහල් භාවයෙන් මිදී සුගතියක උපදින්නට මේ සසර ගමනේ දී හැකිවූයේ ඉතාම සුළු කාල පරිච්ඡේදයක්ද බව සිතන්න.

මේ අනුව සිතන්න ඔබ සසර ද කළ පින් ඉතාම ස්වල්පයයි. වැඩි ප්‍රමාණයක් කළේ කරන්නේ පව් කමුයි.

මහණෙනි, ක්‍ෂණිකව පෙරලෙන වෙනස් වන වෙන කිසි ස්වභාව ධර්මයක් සිත හැර වෙනත් මා දැකල නැහැයි, බුදුන් වදාළේ සිත මොනතරම් ඉක්මනින් වෙනස් වෙනවද යන්න පෙන්නා දීමටයි. සිතේ මේ පෙරළි ස්වභාවය වටහා දීමට සුදුසු උපමාවක් වත් පෙන්නා දීමට නොහැකි බව මෙයින් දේශනා කළහ. යාවඤ්චිදං භික්ඛවෙ උපමාපි න සුකරා’ යයි වදාළේ ඒ බවයි. විඥානස්කන්ධය නමින් ද හඳුන්වන සිත රූපාදී අරමුණු පිළිබඳව නිතර සිතන නිසා සිත කියල කියනව. පෘථජ්ජන අපේ ගතිය හෙවත් උපත අනියතයි. ‘එක භව පරියාපන්නස්ස සත්තස්ස උපච්ඡෙදො මරණං “කී පරිදි එක භවයක ජීවත් වන සත්වයාගේ එම භවයෙන් චුතවීම නික්මීම මරණයයි. මරණය නම් මාරයාගේ ක්‍රියාවයි. දැනුම සිටින භවය අත්හැර වෙනත් භවයකට උත්පත්ති වශයෙන් යාමයි.

මෙය පුනරුත්පත්තියක් හෙවත් යළි ඉපදීමක් නොවේ. ‘භවතො භවස්ස පටිසන්ධානං පටිසන්ධි කිච්චං’ භවන්තර පටිසන්ධාන පසෙන උප්පන්නත්තා පටිසන්ධි තං විඤ්ඤා’ පෙර සිට භවය හා පසුව උපන් භවය යන භවදෙක අතර එක්කිරීම හෙවත් ගැලපීම පටිසන්ධියයි. එනම් පෙර කළ කර්මයෙහි ප්‍රතිඵලයක් වශයෙන් අනතුරු භවයක උප්පත්ති වශයෙන් භව දෙක එක්කිරීමයි. පෙර සිටි සත්ත්වයා ගේ මරණයේ දී ඒ පස් කඳින් ඉවත් වන සිත චුති සිත යනුවෙන් හඳුන්වති. එම සිතම අනතුරු භවයේ මවුකුසේ ප්‍රතිසන්ධිය ලබත්ම ප්‍රතිසන්ධි සිත නමින් හැඳින් වේ. මවුකුසේ දී ඔහුගේ සිතේ ක්‍රියාකාරීත්වය ඇතිවන්නේ චුති සිතේ පැවති චිත්ත පරම්පරාවයි. මවුකුසින් බිහි වූ පසු චක්‍ෂුරාදී ඉන්ද්‍රියයන්ගෙන් රූපාදි අරමුණු ගැනීමත් සමග භවංග හෙවත් පෙර භවයට සම්බන්ධ සිත අභිනව භවයාගේ පැවැත්මට හේතුවක් වශයෙන් යම්තාක් සිත් පහළවේ නම් ඒ සියල්ල භවංග චිත්තයෝයි.’ භවංගං උප්පත්ති භවස්ස අංගකිච්චං සාධයමානං පවත්තති’ යයි අට්ඨ කථාව කීයේ ඒ බවයි.

චුති, පටිසන්ධි, භවංග යන සිත්වලින් කෙරෙන කෘත්‍යය එකිනෙකට වෙනස් වූවත් ඒ සියලු සිත්වලින් ගන්නා අරමුණු එකක්ම වේ. එනම් පෙර භවයෙහි චුති සිතින් ගෙන තිබුණ අරමුණමයි.

පටිසන්ධි, භංග, චුති යන සිත් එකම ජාතියකදී කර්ම, කර්ම නිමිති ගති නිමිති යන මෙයින් එක් නිමිත්තක් අරමුණු කරගත් එකම සිතක් බව මෙයින් කියයි. ඒ නිසා තෘෂ්ණා මාන දෘෂ්ටි යන ත්‍රිවිධ ක්ලේශයන් ගෙන් මිදෙන තුරු සත්ත්වයාට සසරින් ගොඩ ඒම අතිශය දුෂ්කරයි. ඒ සඳහා අනුගමනය කළ යුතු පිළිවෙත තමයි මේ චපල සිත දමනය කිරීම. ‘චිත්තස්ස දමතො සාධු චිත්තං දන්තං සුඛාවයං’ යන බණ පදයට අනුව සීලයෙන් පළමුව කියත්, වචනයත් සංවර කරගෙන භාවනාවෙන් එනම් සමථ භාවනාවෙන් චිත්ත සමාධිය ඇතිකර ගෙන කාමච්ඡන්දාදී පඤ්ච නීවරණයන් වික්ඛම්බන වශයෙන් ඔබා තබාගන ප්‍රඥා භාවනාවයයි කියන පස්කඳ පිළිබඳ යථා ස්වභාවය දකින විදර්ශනා භාවනාව ප්‍රගුණ කොට සක්කාය දිට්ඨි ආදී දස සංයෝජන සමුච්ඡේද වශයෙන් නිසා ලබන සදාකාලික සැපත සදාකාලික නිවීම සදාකාලික විමුක්තිය වන නිර්වාන සම්පත්තිය සාක්‍ෂාත් කර ගැනීමට මේ අහම්බෙන් ඔබ ලැබූ මනුෂ්‍යාත්ම භාවය උපයෝගී කරගන්න උත්සාහ කරන්න. එසේ නොකොට පස්කම් සුවයන්ට ගිජුව ඔබ ගෙනයන මේ අනුවන ක්‍රියා පිළිවෙළ නිසා ඔබට එම නිවන කොතරම්දුරද සිතන්න. එමනිසා ක්ලේශයන්ට වහල් නොවන්න. නුවණින් කෙලෙස් සතුරන් දෙස බලා හඳුනාගෙන ඒවා යටපත් කරන්න. මේ ආත්මභාවය (අන්තදීපාරහරු) ආරක්‍ෂිත ගොඩබිමක් කරගන්නට උත්සාහ දරන්න.

ගසක මුල් නොසිඳා කඳින් ගස කැපුවත් එම ගස යළිත් අතුපතර ලියලා වැඩේ. එමෙන් සිතේ තියෙන තෘෂ්ණා ව මුලින්ම සිඳ ලන තෙක් සසරදුක් (ජාති, ජරා, මරණාදී) යළි යළිත් නොසිඳී පවතින බව මෙයින් බුදුරජාණන් වහන්සේ වදාළහ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.