Print this Article


<%on error resume next%> නිර්වාණබෝධයට භාවනාව පමණක් සෑහේ ද?

නිර්වාණබෝධයට භාවනාව පමණක් සෑහේ ද?

දුන් දෙයට වඩා වටිනාකමක් ඇත්තේ දෙන්නා තුළ පවතින ආධ්‍යාත්මික ස්වභාවයේය. කරන ක්‍රියාවට අනුව ඇතිවන ආධ්‍යාත්මික සංවර්ධනය යනු ගුණධර්ම පිරීමය. දානමාන දීම, සමාජ සංවර්ධන කටයුතු කිරීම නොවැදගත් යයි මෙයින් අදහස් නොකෙරේ. දානාදිය ගුණධර්ම ලෙස ලොව පිළිගනී. එමෙන්ම දායකයා ඇතුළතින් සංවර්ධනය විය යුතුය
(ඉකුත් 15 වන දා බාහිර පෙනුමෙන් පුද්ගල වටිනාකම මැනිය හැකි ද? මැයින් පළ වූ ලිපියෙහි අවසන් කොටසයි මේ.)

එසේ අවධියක බෝසතාණන් වහන්සේ තලගොයෙක් වී උපත ලබා සිටිසේක. ඒ ආසන්නයේ සිටි කූට තවුසෙක්ට මේ තලගොයා මරා කෑමට සිත්විය. තලගොයා දිනක් තවුසාට වන්දනා කිරීමේ අදහසින් ඉදිරියට පැමිණෙමින් සිටියදි තවුසාගේ ඉරියව් යහපත් නැති බව දැන අතරමග නැවතිණ. තලගොයා තමා ළඟට නොඑන බව තේරුම්ගත් තවුසා තමා ළඟ තිබූ කෙටේරියෙන් දමා ගැසුවේය. තලගොයා ළඟ තිබූ තුඹසකට ඇතුළු විය. තුඹසේ සිටිමින් බෝසත් තලගොයා මෙසේ කිවු බව සඳහන් වේ.

කින්තෙ ජටාහි දුමෙමධ
කින්තෙ අජිනසාටියා
අබ්‍යන්තරං තෙ ගහනං
බාහිරං පරිමජ්ජසිතී
(ගොධජාතකං)

“කින්තෙ ජටාහි දුමෙමධ” – ඔබ ජටාදාරා සිටීමෙන් ඵලයක් නැත.

“කින්තෙ අජිනසාටියා” – ඔබ අඳුන් දිවි සළු ඇඳීමෙන් ඵලයක් නැත.

“අබභන්තරං තෙ ගහනං” ඔබේ ඇතුළත කිලුටුය.

“බාහිරං පරිමජ්ජසීති – ඔබ සකස් කරගන්නේ බාහිරයද?

යමෙකුගේ බාහිරය තුළ ඔහුගේ අභ්‍යන්තරය දැකිය නොහැකි බැව් මෙම ගාථාවෙන් ද පැහැදිලි වෙයි.

අප කිහිප අවස්ථාවක සඳහන් කර ඇති සුනක්‍ඛතත හිමි පිළිබඳ කථාව මෙහිදීද පැහැදිලි කිරීමක් ලෙස දක්වමි.

කලක් බුදුරදුන්ගේ උපස්ථායකයෙක් වශයෙන් පත්ව සිටියේ සුනක්‍ඛත්ත නම් හිමිනමකි. දිනක් බුදුරදුන් හා වඩින සුනක්‍ඛත්ත හිමි අතරමගදී කොණ්ක්‍ඛතතිය නම් මහා රළු චරිතයක් ඇති ආහාර වශයෙන් අශූ®චි අනුභව කරන, වෘත සමාදන් වන මිථ්‍යාදෘෂ්ඨික පුද්ගලයෙක් දැක ඔහු පිළිබඳව පැහැදීමෙන් “ස්වාමීනි, ඈත සිටින උත්තමයා රහත් වූවෙක් හෝ රහත් මගට පිළිපන් පුද්ගලයෙකියි” ප්‍රකාශ කළේය.

එවිට බුදුන් වහන්සේ,

“සුනක්‍ඛත්ත ඔහු රහත් වූවෙක් හෝ රහත් මඟට ප්‍රවේශ වූවෙක් හෝ නොවෙයි. මිථ්‍යාදෘෂ්ටිකයෙක්. ඒ පුද්ගලයා රහත් වූවෙක් යැයි සිතීම අවැඩක්. ඔබ මගේ භික්ෂුවක් හෝ ශ්‍රාවකයෙක් බවට නුසුදුසු තරම්.” යැයි කී සේක.

එහිදී තරහ උපදවාගත් සුනක්‍ඛත්ත හිමි මෙසේ පවසා ඇත.

“භන්තෙ භගවා අරහන්තස්ස මචඡරායතී ති
(පටිකසූත්‍රය)

“ඔබ වහන්සේ රහතන් වහන්සේලාට ඊර්ෂ්‍යා කරන්නේදැයි ඇසීය.

එවිට බුදුන් වහන්සේ මම රහතන් වහන්සේලාට ඊර්ෂ්‍යා නොකරමි. එහෙත් මොහු රහත් කෙනෙක් නොවේ’යැයි පැහැදිලි කළ සේක.

ඉහත සඳහන් හැම සාධකයකින්ම තහවුරු වන්නේ බාහිර ඔපය හරහා අභ්‍යන්තරික වටිනාකම තීරණය කළ නොහැකි බවයි.

නිර්වාණබෝධය සඳහා භාවනාව පමණක් සෑහේද?

මිගසාලාගේ පියා දෙව්ලොව උපත ලැබුවේ සිල්වත් බව හේතුවෙනි. එහෙත් නිර්වාණාවබෝධයට සීලය පමණක් ප්‍රමාණවත් නොවේ. සමහරු නිවන් දැකීමට භාවනාව අත්‍යවශ්‍ය බැව් කල්පනා කරති. එහෙත් එහිද යම් ගැටලුවක් වේ. නිර්වාණවබෝධය සඳහා සිල්වත් බව, බවුන් වැඩීම හේතුවන කාරණා බැව් සැබෑවකි.

සබබාසව සූත්‍රයේදී ආශ්‍රවයන් නැසීම පිණිස භාවනාව එක් කාරණයක් ලෙස පැහැදිලි කෙරේ.

පිළිපැදිය යුතු තවත් කාරණා රැසක් ඇත.

දස්සනා පහාතබ්බා
පටිසෙවනා පහාතබ්බා
පරිවජ්ජනා පහාතබ්බා
(සබ්බාසවසුතතං)

ආදි වශයෙන්, දැකීමෙන, සේවනයෙන්, පරිවර්ජනයෙන් දුරුකළ යුතු කෙලෙස් ඇත. ඒ හෙයින් භාවනාව තුළින් සියලු කෙලෙස් දුරුකළ හැකියැයි සිතීම සාවද්‍ය කල්පනාවකි. වසර ගණන් භාවනාවේ යෙදෙන පිරිස් අවබෝධයක් නොලබති. බුදුරදුන් දවස ද එවන් පිරිස් සිටි බවත්, එක් මොහොතින් අවබෝධය ලබා ගත් උත්තමයන් සිටි බවත් සඳහන් වේ.අවබෝධය ලබාගැනීම උදෙසා විවිධ ධර්ම කාරණා පුහුණු කළ යුතු බව ඉන් තහවුරු වෙයි.

එදා විසු එක් භික්ෂුවක් වනයේ වෙසෙමින් වසර ගණනක් බුද්ධ දේශනාව අනුව මහණදම් පුරමින් සිටි සේක. එහෙත් රහත් බව ලැබීමට භාග්‍යවත් නොවීය.දිනක් උන්වහන්සේ මුව දෙවීම පිණිස විලට ගොස් එහි සුපිපි නෙළුමක් දැක මල සිප සුවඳ ආඝ්‍රාණය කළ සේක. යළිත් සිය වාසස්ථානය වෙත ගමන් කරන කල්හි” මහණ තා සොරෙකි” යනුවෙන් පවසන හඬක් ඇසුණි. කිසිවෙක් පෙනෙන්ට නොසිටියේය. දෙවන දිනයේදීත් මේ සිදුවීම සිදුවිය. එවිට භික්ෂුව හඬනගා කවු ද මට හොරා යැයි පවසන්නේ යැ’යි හඬනගා විමසූහ. එහිදි එක් දේවතාවෙක් පෙනී සිට මෙසේ පවසයි.

උපපතෙතනොචී විච්චති
ගන්‍ධකෙනොචි විච්චති

ඔබ සුවඳ හොරෙකි’ කියා කීවේය. එවිට භික්ෂූන් වහන්සේ ලජ්ජාවට පත්ව, සුළු වැරැද්දක් වුවද එහි බය දැක. එම කරුණ සිතට ගනිමින් බණ භාවනා කර රහත් බව ලැබූ සේක. ඒ හෙයින් යමෙක් කෙලෙස් නිවා ගැනීමේ වැඩ පිළිවෙළට යා යුත්තේ හුදෙක් බාහිර ක්‍රියාවලියක් මත නොව තමන් ඇතිකර ගන්නා ආධ්‍යාත්මික සංවර්ධනය සමඟිනි.

මිගසාලා සූත්‍රය ඇසුරෙන් ඉතා හොඳ පසුබිමක් පදනම් කර අපි ඉතා වැදගත් ධර්ම කාරණාවක් සාකච්ඡා කළෙමු. මෙම සූත්‍රයේ ‘පමාණ’ යනුවෙන් වැදගත් වචනයක් දැක්වේ. තර්ක ශාස්ත්‍රයේදී අප ප්‍රමාණය වන වදන පාවිච්චි කරනුයේ යමක් පිළිබඳ තර්ක ගොඩ නගා එම තර්ක තහවුරු කිරීමටය. එමෙන් මෙහිදී බුදුරදුන් වහන්සේ ‘පමාණ’ යන වචනය භාවිතකර ඇත්තේ පුද්ගලයා මැන ගැනීම පිණිස බාහිර ස්වරූපය මිම්මක් ලෙස නොසැලිකිය යුතුය යන්න පැහැදිලි කිරීමටය. පෙරකී ලෙස මිගසාලාගේ පියා පූර්ණ සීලය නිසා ආධ්‍යාත්මික දියුණුව ඇතිකරගත් මුත් ඔහුට අවශ්‍ය පමණට ප්‍රඥාව නොවීය. එහෙත් ඇයගේ සුළු පියා ඉසිදත්තගේ ප්‍රඥාව ඉහළ මට්ටමක පැවැතිමුත් ඔහුගේ සිල්වත් බව අවශ්‍ය පමණට පුහුණූ කර නොතිබුණි. ඒ හෙයින් මෙම දෙදෙනාම ‘එකඞ්ගහීනා හෙවත් එක පැත්තකින් ආධ්‍යාත්මය දුර්වල පුද්ගලයෝ වෙති. බාහිර ස්වරූපයට වඩා අභ්‍යන්තරය දියුණු කරගත් පුද්ගලයාගේ අගය වැඩිබව කල්පනාවට ගත යුතුවේ.

ඔබ බෞද්ධයෙක් ලෙස සීල සමාධිය සිදු කරයි. දන්දෙනු ඇත. විවිධ සමාජශීලි කටයුතුවල නියැලෙනු ඇත.මෙම ක්‍රියාවන් සිදුකිරීමේදි වඩා වැදගත් වනුයේ ක්‍රියාව නොව,එයට හේතුවන මානසිකත්වයයි. අද සමහරු ප්‍රාසාද වැනි නිවෙස් තනා පරිත්‍යාග කරන අවස්ථා අප දැක ඇත. එම ක්‍රියාව ඉතා වටිනා දෙයක් වුවද එහි කීර්තිය වැනි හැඟීම් පදනම් වී ඇත්නම් ඔහු කරනුයේ පරිත්‍යාගයක් නොව, වෙළෙඳාමකි. එම කාරණාව සද්ධමෙමාපායනයේ මෙසේ පෙන්වා ඇත.

එලාපේක්ෂාවෙන් දෙන දානය ජුගුප්සාජනක වෙළෙඳාමක් බවත් අදහස් කෙරේ. යමෙක් තමන්ට ඉතිරිවන ඉඳුල්ටික හෝ සතෙක්ට ආහාරයක් වේවා’යි! සිත් ඇතිව දෙන්නේ නම් එහි වටිනාකමක්, ආනිසංසදායක බවත් ඇත.මෙනයින් බලන කල්හි දුන් දෙයට වඩා වටිනාකමක් ඇත්තේ දෙන්නා තුළ පවතින ආධ්‍යාත්මික ස්වභාවයේය. කරන ක්‍රියාවට අනුව ඇතිවන ආධ්‍යාත්මික සංවර්ධනය යනු ගුණධර්ම පිරීමය. දානමාන දීම, සමාජ සංවර්ධන කටයුතු කිරීම නොවැදගත් යයි මෙයින් අදහස් නොකෙරේ. දානාදිය ගුණධර්ම ලෙස ලොව පිළිගනී. එමෙන්ම දායකයා ඇතුළතින් සංවර්ධනය විය යුතුය. පුද්ගල බාහිරට වඩා පුද්ගල ආධ්‍යාත්මය තුළින් පුද්ගලයා මැන ගත යුතු බැව් පැහැදිලිව අවබෝධ කර ගනිමින් ඒ හරහා අපි අපගේ ජීවිතය ගුණධර්මයන්ගෙන් පූර්ණ කර ගනිමින් යහපත් සංවර්ධනයක් ඇතිකර ගනිමු.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.