Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බුද්ධ ධර්මය සහ මනෝ වෛද්‍ය විද්‍යාව - 3  ඉච්ඡාභංගය සහ අපසර්ජනය

බුද්ධ ධර්මය සහ මනෝ වෛද්‍ය විද්‍යාව - 3 

ඉච්ඡාභංගය සහ අපසර්ජනය

මීට බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිචාරය උන්වහන්සේගේ මහා කරුණාව සකල මනුෂ්‍ය සංහතියට ම විදහා පෙන්වන්නකි. පණ්ඩිත ගණේගම සරණංකර නායක ස්වාමින් වහන්සේ ලියූ “ බුදුහාමුදුරුවෝ” පොතෙහි එක් ඡේදයක මෙසේ දැක්වෙයි. “ සිදුහත් කුමරා මිනිස් මවුපියනට දාව මිනිස් සිරුරක් ඇති ව ඉපිද, බුදුවරයකුව ජීවත් ව සිට, මිනිස් ආයුෂ වළදා, උත්තරීතර මනුෂ්‍යයකු වශයෙන් පිරිනිවන් පෑවේ ය.

වියෝ දුකින් පෙළෙමින් හුන් යශෝධරාව බුදුරජාණන් වහන්සේ කිඹුල්වතට වැඩම කළ බව අසා, සී මැදුරු කවුළුව තුළින් උන් වහන්සේගේ රූප ශ්‍රී නරඹමින් සිටිය ද, උන්වහන්සේ හමුවීමට නො ගියාය. බුදුරජාණන් වහන්සේ පෑ යමක මහා ප්‍රාතිහාර්යය නැරඹීමට හෝ, ශුද්ධෝදන රජතුමා ප්‍රමුඛ ශාක්‍යවංශික නෑයින් සමග උන්වහන්සේ වැඳීමට හෝ , මල්වැස්ස බැලීමට හෝ, යශෝධරාව නො ගියාය.

එම ජාතකයේ වෙස්සන්තර රජතුමාගේ දුක සැප දෙකෙහිම නො වෙනස් ව හුන් සෙනෙහෙබර මද්‍රිදේවිය අන් කිසි ළඳක නොව යශෝධරාව ම බව බුදුරජාණන් වහන්සේ නෑයින් ඉදිරියේ හෙළි කළ බව, යශෝධරාවට සැළ වන්නට ඇත. එදින රාත්‍රි බුදුරජාණන් වහන්සේ, අසළ පිහිටි න්‍යග්‍රෝධාරාමයෙහි වැඩ සිටි බව යශෝධරාව දැන සිටින්නට ඇත. එහෙත් ඇය උන්වහන්සේ හමුවීමට නො ගියාය. පසු දින දාවල ශුද්ධෝදන රජතුමාගේ මාලිගාවේ බුද්ධ ප්‍රමුඛ මහා රහතන් වහන්සේලාට පිරිනැමුණු මහා දානයට හෝ අනුමෝදනා දේශනාවට හෝ යශෝධරාව සහභාගි නො වූවා ය. එහිදී ප්‍රජාපතී ගෝතමී දේවිය සහ මහාභිනිෂ්ක්‍රමණයට පෙර තෙළෙස් වර්ෂයක් මාලිගාවේ සේවය කළ නාටිකා කුමරියන් පැමිණ බුදුරජාණන් වහන්සේ වැන්ද බව යශෝධරාවට සැළවන්නට ඇත.

ඉහත සඳහන් අසාමාන්‍ය හැසිරීම් දෙස මනෝවෛද්‍ය විද්‍යා කෝණයෙන් බලන විට පෙනෙන්නේ දින දෙකක කාලයක් තුළ යශෝධරාවට මුහුණ පාන්නට සිදු වූ දැඩි ගැටුම් කිහිපයකි.

ගැටුම්

මනෝ වෛද්‍ය විද්‍යාවේ ගැටුම නමින් හැඳින්වෙන්නේ පරස්පර විරෝධී නොහොත් සමගාමී ව එක් වර කළ නො හෙන ආශා (Desires) හෝ ආවේග (Impulses) හෝ ප්‍රවණතා (Tendencies)  හෝ යුගලක් එළඹීම ය.අපේ එදිනෙදා ජීවිතයෙන් ගැටුම් පිළිබඳ උදාහරණ ඕනෑ තරම් සොයා ගත හැකිය. නාට්‍ය, නවකතා, ආදි කලා කෘතීන් බොහෝ විට පදනම් වී ඇත්තේ යම් ගැටුමක් මත ය.

සත්තුභත්ත ජාතක කථාවේ බමුණා මුහුණ පෑ ගැටුම “(මග) සිටිම් දෝ, (ගෙදර) යම් දෝ” යනු ය. අපේ ජනකවියක බඩගිනි වෙලා පුතුගෙ ගෙට ගිය අම්මා මුහුණ පෑ ගැටුම “ගම් දෝ නො ගම් දෝ” යනු ය. ශේක්ස්පියර්ගේ හැම්ලට් දෘශ්‍ය කාව්‍යයේ ඩෙන්මාර්ක කුමරා මුහුණ පෑ ලෝක ප්‍රසිද්ධ ගැටුම, “වෙම් දෝ නො වෙම් දෝ” යනු ය. (To be or not to be)

යශෝධරාව මුහුණ පෑ එක් ගැටුමක් වූයේ, තෙළෙස් වර්ෂයක් තිස්සේ රාජාභරණ පැළඳ, ක්‍රීටය, හිසේ දරා ගෙන නගර සංචාරයේ යෙදුණු තම ස්නේහවන්ත සිද්ධාර්ථ රජතුමාගේ එම අතීත රූපය මෙනෙහි වී සිතෙහි රාග චේතනා ඇතිවීමට “ඉඩ දෙම්දෝ” සී මැදුරු කවුළුවෙන් දුටු කසාවත් හැද පාත්‍රය අතේ දරාගෙන පිඬු සිඟා ගිය බුදුරජාණන් වහන්සේගේ මෙම වර්තමාන රූපය දැකීමෙන් පසු එ වැනි රාග චේතනා ඇතිවීමට “ ඉඩ නො දෙම් දෝ” යනුය.

බුදුරජාණන් වහන්සේ බැහැ දැකීමට “යම් දෝ නො යම් දෝ” යන ගැටුමට ද යශෝධරාව මුහුණ පා සිටියාය. සිද්ධාර්ථ යශෝධරා ස්නේහය, කල්ප ලක්ෂ ගණනක් පුරා, භවයෙන් භවයට, දෙව්, මිනිස්, කින්නර, සා, මුව, ගව ඇත් වැනි විවිධ ජාතක රාශියක් මැදින් නො නැසෙමින් ආ, විශ්ව ඉතිහාසයේ වාර්තාවක් පිහිටුවන දීර්ඝතම මෙන් ම ශ්‍රේෂ්ඨතම ලෙස සැලකිය හැකි අන්‍යෝන්‍ය සම්බන්ධයකි. ගිහි සමයේ තම පේ‍්‍රමවන්තයා කලකට පසු තමාගේ පාළු මන්දිරය අසළට ම පැමිණ, එහෙත් නෙතට නෙත නො ගැටී කළ කී සියලු දේ ගැන අසමින් තැවි තැවී සිටියදී පසු කලක අර්හත් මෙහෙණියක වුව ද එ තෙක් පෘථග්ජන භාවයේ හුන් යශෝධරාවට, බුදුරජාණන් වහන්සේ වෙත යෑමට ආශාවක් ඇති වීම ස්වාභාවික ය. එ හෙත් ඊට පරස්පර විරෝධී සිතිවිලි රාශියක් එසේ යෑමට හරස් ව තිබිණි. මහාභිනිෂ්ක්‍රමණය නිසා හටගත් වියෝ දුක පිළිබඳ මතකයන් අලුත්වීම, බුදුරජාණන් වහන්සේ ඉදිරියෙහි තම හැඟීම් පාලනය කර ගැනීමට බැරි වෙතැයි සැකය සහ දානයට හෝ අනුමෝදනා බණට හෝ සහභාගි නොවූ නිසා ශුද්ධෝදන රජතුමා දෝෂාරෝපණය කරතියි බිය, මාලිගාවට නො යෑමට ඇයට බල කළ චිත්තවේග අතර විය. නාටිකාංගනාවන් පවා මාලිගාවේදී බුදුරජාණන් වහන්සේ වැන්ද අතර, ගිහි ජීවිතයේ සහකාරිය වූ තමා මාලිගාවේ කටයුතු වර්ජනය කරමින් රාහුල පුතු පමණක් අසළ ඇතිව කොන් වී සිටීම ගැන පශ්චාත්තාපයක් ද යශෝධරාවට තිබෙන්නට ඇත.

මෙවැනි ගැටුම් නිසා හටගන්නා මානසික තත්වය හැඳින්වෙන්නේ ඉච්ඡාභංගය (Frustration) නමිනි.

ඉච්ඡාභංගය

ආශාවක් ඉෂ්ට කර ගැනීමට ගනු ලබන ක්‍රියා මාර්ගයට විරුද්ධ ගැටුම්, බාධක සහ අඩුපාඩු නිසා මනසෙහි හටගන්නා සංකීර්ණ තත්වයයි මේ.

සෙල්ලම් බඩු කොටස් කිහිපයක් තිබෙන කාමරයකට යෑමට බාධා ඇති කර කුඩා ළමුන් පිරිසකට ඉච්ඡාභංගය ඇති කළ පර්යේෂණයකින් බාකර්, ඩෙම්බෝ සහ ලුවින් (Barker, Dembo and Lewin) එම තත්ත්වය පිළිබඳ වැදගත් මානසික කරුණු කිහිපයක් ඉච්ඡාභංගයට පත් ඇතැම් පෙර පාසල් වියේ ළමෝ ඊට වඩා බාල බිලිඳුන් මෙන් හැසිරුණහ. අතීත වියට මෙසේ යෑම ප්‍රතිගමනය (Regrqssion)  යනුවෙන් හැඳින්වෙයි. වැඩිහිටියෝ ද මෙසේ ප්‍රතිගමනය වීම නිසා ළාමක හැසිරීම් පළකරති. යශෝධරාව ශුද්ධෝදන රජතුමාගේ මාලිගාවේ කටයුතු වර්ජනය කළෙත් ප්‍රතිගමනයෙන් හටගත් ළාමක බව නිසාය.

උදාසීන බව

ළමුන් සමග කරන ලද පර්යේෂණයේදී ඇතැම් ළමුනට උදාසීන බව (Apathy) ඇතිවිය. ඔවුහු අනික් ළමුන් සමග නො සිට, තනි වී, බිම දිගා වී, සීලිම දෙස හෙළූ හිස් බැල්මෙන් පසු වූහ. යශෝධරාව තනි වී මාලිගාවේ අන් පිරිස් සමග එක්ව කටයුතු නො කර, ඕනෑකමින් ම කොන් වී සිටියාය.

ආතති

පර්යේෂණයට භාජන වූ ඇතැම් ළමුනට හටගත් ආතති ප්‍රකාශනය වූයේ නිය සැපීම, ඇඟිල්ල උරා බීම වැනි ක්‍රියාවලිනි. ආතති (Tensions) හට ගැනීමද ඉච්ඡාභංගයේ ලක්‍ෂණයකි. යශෝධරාවට පැරණි වියෝ දුක අලුත්වීම, හැඟීම් පාලනය ගැන සැකය,දෝෂාරෝපණයට බිය වැනි දැඩි චිත්තවේග නිසා ඇති වූයේ ද ආතතිය.

ගැටුම් නිසා හටගත් ඉච්ඡාභංගයෙන් පෙළෙමින් මාලිගාවේ සිටි යශෝධරාවට ශුද්ධෝදන රජතුමාගෙන් වැදගත් පණිවුඩයක් ලැබිණි. එතෙක් යශෝධරාවගේ වර්ජන ඉවසා හුන් ශුද්ධෝදන රජතුමා, මාලිගාවට අවුත් බුදුරජාණන් වහන්සේ වදින ලෙස කියා තම ලේලියට එවූ දැන්වීමයි ඒ. එහෙත් ඇය තම මන්දිරයේ සිට ශුද්ධෝදන මාලිගාවට පියවර කිහිපය යෑමට අදහස් නො කරන බව කියා, ඊට හේතු පහදා රජතුමාට පිළිතුරක් යැවුවාය. මාලිගාවේ වැඩ හුන් බුදුරජාණන් වහන්සේටත් රජතුමා හෙළි කළ එම පිළිතුර වූයේ අකාරුණිකව සිතක් ඇතිව, හිතවත් සහකාරිය ව සිටි තමාට නො කියාම මහ රෑ තපසට ගිය සිද්ධාර්ථ රජතුමාට, තමා එසේ හිතවත් ව සිටි බව සත්‍යයක් නම්, බුදුරජාණන් වහන්සේ තම මන්දිරයට වැඩම කරන සේක. එවිට තමාට උන්වහන්සේ වැන්ද හැකිය යනුයි.

මීට බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිචාරය උන්වහන්සේගේ මහා කරුණාව සකල මනුෂ්‍ය සංහතියට ම විදහා පෙන්වන්නකි. පණ්ඩිත ගණේගම සරණංකර නායක ස්වාමින් වහන්සේ ලියූ “ බුදුහාමුදුරුවෝ” පොතෙහි එක් ඡේදයක මෙසේ දැක්වෙයි.

“සිදුහත් කුමරා මිනිස් මවුපියනට දාව මිනිස් සිරුරක් ඇති ව ඉපිද, බුදුවරයකව ජීවත් ව සිට, මිනිස් ආයුෂ වළදා, උත්තරීතර මනුෂ්‍යයකු වශයෙන් පිරිනිවන් පෑවේ ය.”

මේ උත්තරීතර මනුෂ්‍යයා හෙවත් මහා කාරුණිකයාණන් වහන්සේ නිවන කරා ආ තම දීර්ඝ ගමනේදී පාරමිතා පිරීමට යශෝධරාව දුන් සහාය සලකා, වියෝ දුක, පිය වැනි දැඩි චිත්තවේග සම්භාරයකින් තැළෙමින් පෙළෙමින් හුන් ඇයට මානසික සහනය ගෙන දීමට ඇයගේ මන්දිරයට වැඩම කළ සේක. මානසික අසහනයෙන් ඇය නො මුදවා පිට මගම මල්ල දේශයට වැඩම කළ හොත්, ඇය ළය පැලී මියෙන්නට ඉඩ ඇතැයි සලකා පිය රජුට පාත්‍රය දී යශෝධරාවගේ මන්දිරයට යවා උන්වහන්සේ සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක මහ රහතන් වහන්සේලා සමග ඇය හමුවීමට වැඩම කළ සේක.

අපසර්ජනය

යශෝධරාව හමු වීමට පෙරාතුව බුදුරජාණන් වහන්සේ මහ රහතන් වහන්සේලා අමතා මීට ශතවර්ෂ විසි හයකට පෙර පැහැදිලි කර දුන් ප්‍රතිකාර ක්‍රමය වර්තමානයේද මනෝ වෛද්‍යවරුන් සහ මනෝචිකිත්සකවරුන් අනුගමනය කරන අපසර්ජනයයි. (Abreaction) ඉන් අදහස් කරනු ලබන්නේ චිත්තවේග ප්‍රකාශනයයි.

යශෝධරාව තවම ක්ලේශ සහිත නිසා තමන් වහන්සේ කෙරෙහි දැඩි පේ‍්‍රමයක් ඇගේ සිතෙහි පවතින බවත්, ක්ලේශ ප්‍රහාණය කරන තුරු, ඇගේ ආදර්ශමත් අතීත විස්තර ඇයට කියා දී හීන වූ ඇගේ ආත්ම ශක්තිය නැවත නංවා ලන්නට කරුණු, තමන් වහන්සේ ඇයට පවසන බවත්, ඇගේ මනසෙහි පවතින දැඩි චිත්තවේග ප්‍රකාශනයට මෙම අවස්ථාවෙහි ඉඩ නො හැරියොත් ඇය මිය යන බවත්, ඒ නිසා ඇයට රිසි පරිද්දෙන් හඬා වැළප චිත්තවේග ප්‍රකාශනය කිරීමට, කිසිවකු බාධා නො කළ යුතු බවත් බුදුරජාණන් වහන්සේ අග්‍රශ්‍රාවක රහතන් වහන්සේලාට වදාළ සේක. මානසික සුවය ලද පසු, අනාගතයේ ඇය නිවන් අවබෝධ කර ගන්නා බව ද, උන්වහන්සේ සඳහන් කළ සේක.

මෙසේ බුදුරජාණන් වහන්සේ යශෝධරාවට සහනය සැලසීමට වැඩම කළ ආකාරය පිළිබඳ විස්තරය ලියන්නේ, මා කුඩා කල සිට ශ්‍රද්ධාවෙන් නිතර කියවන, අග්ගමහා පණ්ඩිත අති පූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1928 දී (බුද්ධ වර්ෂ 2470 දී) පළ කළ කිසි දිනක වෙනස් නො කළ යුතු “ශාක්‍යසිංහාවදානය හෙවත් බු_ චරිතය” නම් ශ්‍රේෂ්ඨ ග්‍රන්ථයෙහි දෙ විසි සහ තෙ විසි වන පරිච්ඡේද ආශ්‍රයෙනි. ඉහතඡේදයේ සඳහන් කරුණු අතර, සියලු මනෝචිකිත්සක ප්‍රතිකාර තුළ සැඟවී තිබී, 1967 දී මනෝවෛද්‍ය ජෙරමී ෆ‍්‍රෑන්ක් (Jerome Frank) හෙළි කළ පොදු සාධක රාශියක් ගැබ් ව තිබේ. ඒ පිළිබඳ විස්තර සහ යශෝධරාව බුදුරජාණන් වහන්සේගේ මනෝචිකිත්සක ප්‍රතිකාරයෙන් සම්පූර්ණයෙන් සුවය ලත් ආකාරය, මී ළඟ පෝ දින ‘බුදුසරණ’ පත්‍රයෙන් විස්තර කිරීමට බලාපොරොත්තු වෙමි.


බුද්ධ ධර්මය සහ මනෝවෛද්‍ය විද්‍යාව - වියෝදුක

 


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.