Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කැමැත්ත උපදවාගත යුතු දහම

තථාගත ධර්මයේ සඳහන් වෙන පංච උපාදානස්කන්ධය, දුක ආදී වචන වලින් නම් කොට ඇති යම් තැනක් ඇත්නම් මෙන්න මේ තැනයි ගවේෂණය වෙන්නට ඕන. අප සියලු දෙනා විමසන්න ඕන බුදුරජාණන් වහන්සේ කියා දුන් පංච උපාධානස්කන්ධය පිළිබඳව කළ විවරණය මොකක් ද කියලා. එහි දී උන්වහන්සේ සම්මත හා පරමාර්ථ කියන ආකාර දෙකකින් දේශනාව සිදුකරල තිබෙනවා.

අතිශයින් ම භයංකර බිහිසුණු සසර ගමනකයි අප කවුරු කවුරුත් යෙදෙමින් ඉන්නේ. ඒ සසරේ සැරිසරන සත්ත්වයින්ට මහත් වූ සතුටක් සැපයක් ගෙන දෙනවා නම් ඒ සැපය ගෙන දෙන්නේ තථාගත ධර්මය යි. යම් කැමැත්තක් උපදවා ගත යුතු නම් ඒ කැමැත්ත උපදවාගත යුත්තේ ධර්මය කෙරෙහිම යි. මේ ලෝකයේ වින්ද යුතු යම් රසයක් ඇත්නම් ඒ රසය ධර්මය පිළිබඳව ම යි.

අපේ කැමැත්ත අපේ රතිය අප ලබන රසය විවිධ අතට යොමු වෙලා තියෙන්නට පුළුවන්. එහෙත් යම් දවසක තථාගත ධර්මය අප හැඳින ගත්තොත් අන්න එදාට අපට තේරෙනවා තථාගත ධර්මය තරම් රසවත් දෙයක් තවත් නෑ කියලා. කැමැති වෙනවා නම් මීට වඩා වෙනත් දෙයක් ලෝකයේ නැහැ. ඒ දහමේ මිහිර හඳුනා ගත් දවසට අපට තේරෙනවා ප්‍රත්‍යක්ෂතාවයෙන් වැටහෙනවා මීට වඩා සැපයක් ලෝකයේ නැහැ කියල

තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්මය තුළින් අපේ නිවෙන සාක්ෂාත් කරන මාවත අප සොයා ගන්න ඕන. එය වෙහෙසෙන්න වේවි. මහන්සි වෙන්න වේවි. මොනවා හරි දෙයක් කරනවාට වඩා වටින්නේ හරි දේ සොයා ගන්න එක හරි දේ සොයාගෙන හරි දේ කරන එක.

මේ සංසාර ගමනේ් උප්පත්ති ලබන ස්ථාන තිස් එකක් තියෙනවා. සතර අපායත්, මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝක හයවත්, රූපි බ්‍රහ්ම ලෝක දාසයත්, අරූපි බ්‍රහ්ම ලෝක හතරත්. එක්තිස් භවයක් උප්පත්ති ස්ථාන තියෙනවා. මේ ස්ථානවල උප්පත්ති ලබන සත්වයින් අතරෙන් ලෝකයට අතිශයින් ශ්‍රේෂ්ඨ චරිතය බවට පත් වෙනවා මහා බ්‍රහ්මයා. ඊළඟට ශක්‍රයා. ඊළඟට චක්‍රවර්ති රජතුමා, දේවත්වය, රාජ සිටු තනතුරු මෙබඳු පදවි තනතුරු වලට පත් වුණාම ලෝකය තුළ වින්ද යුතු මහා සැපයකට උරුමකම් කියන්නෝ බවට පත්වෙනවා. බ‍්‍රහ්ම රාජ්‍යයට පත්වුණොත් කල්ප ගණනක් ඒ සුව සම්පත් විඳින්නට පුළුවන්කම තියෙනවා. ඛ්‍රහ්මවත්වය ලබා ගත්තොත් චක්‍රවර්ති රාජ්‍යයට පත්වුනොත් ලැබිය හැකි විඳිය හැකි සැපය මහා ඉහළයි. හැබැයි, මේ ශාසනය තුළ ලෝකයට සාපේක්ෂව ඔය සැප පිළිබඳව ඇගැයීමක් කළත් එය සැබෑ සැපයක් හැටියට හඳුන්වන්නේ නම් නැහැ.

තථාගතයන් වහන්සේ ලෝකයට සාපේක්ෂව මීට වඩා එතැන හොඳයි කියන ඉගැන්වීමක් කළා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ සතර අපායට වඩා මනුෂ්‍ය ලෝකය සැප ඇති තැනක්. මනුෂ්‍ය ලෝකයට වඩා දිව්‍ය ලෝකය සැප ඇති තැනක්. දිව්‍ය ලෝකයට වඩා බ්‍රහ්ම ලෝකය සැප ඇති තැනක්. ඇයි? බ්‍රහ්ම ලෝකයේ තිබෙන සැප දිව්‍ය ලෝකයේ නැති නිසා. දිව්‍ය ලෝකයට සාපේක්ෂව මනුෂ්‍ය ලෝකයේ සැපක් නැහැ. මනුෂ්‍ය ලෝකයට සාපේක්ෂව සතර අපාය දුගතියක්. නිවනට සාපේක්ෂව මේ හැම උත්පත්තියක් ම දුකක් වෙනවා. ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක මේ සියලු දුකෙන් නො මිදුණු බැවින් ‘දුග්ගති’ කියන එක වචනයෙන් මේ භවය ම බුදුරජාණන් වහන්සේ නම් කළා.

එතකොට මේ ලෝකයේ කෙනෙකු සතර අපායෙන් මිදිලා මනුෂ්‍ය ආත්ම භාවයක් ලබනවා කියන එකත් ලෙහෙසි කාරණාවක් නොවෙයි. මනුෂ්‍යත්වය ඉක්මවා දේවත්වයට යනවා කියන එක හරි මහන්සියෙන් මහා පුණ්‍යස්කන්ධයක් රැස් කර ගෙන එහි ප්‍රතිඵලය වශයෙනුයි ඒ ආත්මභාවය ලැබිය යුත්තේ. දේවත්වය ඉක්මවා බ්‍රහ්මත්වයට යනවා කියන එක ඊටත් වඩා අමාරු කාරණාවක්. මනුෂ්‍ය ලෝකය තුළත් සිටුවරයෙක්, රජෙක් වෙනවා කියන එක දුෂ්කර කාරණාවක්. ඊටත් වඩා අමාරුයි චක්‍රවර්ති රාජ්‍යයක් ලබනවා කියන එක. හැබැයි මේ අමාරුවෙන් නමුත් මේ ටික ලබාන්න අපහසු නැහැ කෙනෙකුට. මැනැවින් මේ සම්පත් ලබා ගත්තත් ඒ සැපත සැබෑ සැපතක් නම් නොවෙයි.

තථාගත ධර්මයේ සඳහන් වෙන පංච උපාදානස්කන්ධය, දුක මේ ආදී වචන වලින් නම් කොට ඇති යම් තැනක් ඇත්නම් මෙන්න මේ තැනයි ගවේෂනය වෙන්නට ඕන. එහෙනම් අප සියලු දෙනා විමසන්න ඕන බුදුරජාණන් වහන්සේ කියා දුන් පංච උපාධානස්කන්ධය පිළිබඳව කළ විවරණය මොකක් ද කියලා. එහි දී උන්වහන්සේ සම්මත හා පරමාර්ථ කියන ආකාර දෙකකින් දේශනාව සිදුකරල තිබෙනවා. අපට මේ ජීවිතය පිළිබඳව ජරා, ව්‍යාධි, මරණ, සෝක, පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස ගැන කථා කරන්න බැරි නැහැ. ඒ ගැන අපට හිතන්න බැරිකමකුත් නැහැ. ඒ ටික හෝ හිතුවානම් මේ රූපාධිස්කන්ධයන් යම් කලකිරීමක් නො ඇලීමක් විඳීමක් සිද්ධ නො වන්නෙත් නැහැ.

මන්ද, අප පංච උපාධානස්කන්ධය කියා කියන්නේ මොකක්ද කියලා ඇසුවාම අත දිගු කරලා පෙන්වනවා මේ තිබෙන්නේ රූපාධිකන්ධය කියලා තමන්ගේ් බඹයක් පමණ වූ සිරුරට. මේ තුළින් විඳිම් හැඳීනිම්, දැන ගැනීම් සතර නාමස්කන්ධය කියලා නම් කරනවා. ලියවූ පොතපත කරන දේශනාව සමස්තය විමසා බැලුවොත් මේ සීමාව තුළ තමයි නතර වී තිබෙන්නේ.

මේ සීමාව ප්‍රමාණවත් නැහැ. මීට වඩා එහාට අප යන්න ඕන. ඒ සඳහා නිදර්ශන, සාක්ෂි සාධක ත්‍රිපිටකයේ තිබෙනවා. නිදර්ශනය ලෙස මධුපිණ්ඩික සූත්‍රය, හත්ථිපදෝපම සූත්‍රය, රාහුලෝවාද සූත්‍රය වැනි සූත්‍ර දේශනාවන් විමසා බැලීමක් කළොත් එය ද ප්‍රමාණවත් වෙන්න පුළුවනි. ඒ දේශනාවන් විවරණය කර බලනකොට අපට හමුවෙනවා පංච උපාධානස්කන්ධය කියන එකත් මේ ජාති, ජරා, මරණ කියන මේ ධර්මතා මේ සම්මුතිය තුළ එක් ක්ෂණික මේ මොහොත තුළ යෙදුන ධර්මතාවයන් දැක ගන්න පුළුවන් වෙනවා. එහිදී උන්වහන්සේ පංච උපාධානස්කන්ධය නම් කරන්නේ අප මේ සම්මතයේ හඳුනා කථා කරන පිළිවෙලට නොවේ. ඇසයි, රූපයි කියන දෙක රූපස්කන්ධයට අයිති වෙනවා. චක්ඛු විඤ්ඤාණය විඤ්ඤාණ උපාධානස්කන්ධයට. චක්ඛු සම්පස්සයෙන් හට ගන්නා වේදනාව- වේදනානු උපාධානස්කන්ධයට. රූප සංඥාව- සංඥා උපාධානස්කන්දයට. රූප සංචේතනාව- සංඛාර උපාධානස්කන්ධයට. පංච උපාධානස්කන්ධ පිළිබඳව අප හිතුවාට වඩා, සිටි තැනට වඩා අමුතුª විවරණයක් බුද්ධ දේශනා තුළ අනුශාසනා වෙනවා. අපේ අවධානය අපේ විමසීම මේ පිළිබඳව වෙන්නට ඕන. එතකොට අපට හමුවෙනවා පුද්ගල වටපිටාවෙන් මිදෙන්න පුළුවන් තැනක්.

මේ බඹයක පමණ උස සිරුර රූපස්කන්ධයට අරගෙන ඒ තුළ ඇති වේදනාව සංඥා සංඛාර විඤ්ඤාණ නාමධර්ම ලෙස අරගෙන මැරෙනතාක් අපට පුද්ගලභාවයෙන් මිදෙන්න ආත්ම සංකල්පය මිදෙන්න අමාරුයි. ඒ ආත්ම වාදයෙන්, ආත්ම දෘෂ්ඨියෙන් සක්කාය දෘෂ්ඨියෙන් මිදෙන්න පුළුවන්කම තිබෙන්නේ අනාත්ම දහමක් ලෙස පංච උපාධානස්කන්ධය වර්තමාන ධර්මතාවයන් ලෙස හඳුනා ගැනීමෙන් පමණයි. ඒ හඳුන්වාදීම මේ සූත්‍ර දේශනා තුළ දකින්නට පුළ�ුවන්. ඒ ගැන හිතල කියවල විමසලා සාකච්ඡා කර බලන්න ඕන උන්වහන්සේගේ් අදහස කුමක් ද කියලා.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.